Èidmdfudla
kh.rd ùrisxy

ටවුමේ හොද ප්‍රසිද්ධ ඉස්කෝලෙන් ගමේ ඉස්කෝලෙට මාරුවක් ආව එක ගැන මට තිබුනේ කියාගන්න බැරි තරම් තරහක්. මුළු උසස් පෙළ පන්ති ඔක්කොගෙන්ම  හොදම ප්‍රතිඵල හැමදාම පෙන්නුවේ මම ඉගැන්නුව පන්තිය. එහෙව් මට මාරුවක් ආවම ලොකු සර් ඇස් කන් පියාගෙන  මට මෙහෙට එන්න ඇරිය එක ගැන ලොකු සර් එක්කත් තිබ්බෙ තරහක්.

අවුරුදු දාහතරක් දන්න දහං ගැට ඔක්කොම දාලා ඒ ඉස්කෝලෙම හිටියේ මම කරපු අමතර පන්ති ටික මට ලොකු ආදායමක් ගෙනාව නිසා. නැත්තම්  කොහොමද ගුරුවරියක්ට හම්බෙන සොච්චම් පඩි‍යෙන් ලෝකෙට ණය නොවී ඉන්නෙ.

අලුත් ඉස්කෝලෙට පත්වීම ගන්න ආව මට ඔක්කොම පෙනුනෙ නුහුරට. ඉන්න ගුරුවරු එක්කවත් ඇයි හොදයියක් තියාගන්න කැමති වුණේ නෑ. පැය බාගෙන් බාගෙට යන බස එකේ ඇවිල්ලත් තව විනාඩි දහයකට වඩා ගුරු පාරක පයින් බඩගාන්න ඕනි ඉස්කෝලෙට එන්න. ඒ එද්දි බෙල් එක ගහලා ගාථා කියන්නත් පටන් අරන්. මේ වගේ ඉස්කෝලවල උසස් පෙළට කොමස්  වගේ දේවල් මොකට කරන්න දෙන්වද මන්දා. හරිහමන් ප්‍රතිඵලයක්වත් නැතුව  මගෙ සබ්ජෙක්ට් එක කරන උන් නම් මට පේන බෑ. ඕකුන් නිසා තමයි මගේ ප්‍රතිඵල අඩු වෙන්නේ.

වැඩ භාර ගත්තත් හරි සති දෙකක්වත් උගන්නන්න වුණේ නෑ. කොරෝනා නිසා ඉස්කෝල වහන්න වුණා. ඇත්තටම කීවොත් ඒ සති දෙකෙනුත් දවස් හතරක් වගේ තමයි මට ඉස්කෝලේ යන්න වුණෙත්, නිවාඩු දාගෙන මම උත්සාහ කරේ ආයෙමත් මීට වඩා හොද ඉස්කෝලෙකට යන්න. ඒකත් හරි නොගිය තැන ලැබුණ නිවාඩුව මට ගෙනාවේ ලොකු සහනයක්. පරණ ඉස්කෝලේ කොවිඩ් හොදටම වැඩි කියලා දැන ගත්තම නම් මේ මාරුවීම ගැන මට ඇති වුණේ සතුටක්, කොහොමත් ටවුමේ තරම් ලොකුවට කොවිඩ් ගමේ පැතිරීමක් තිබුණ් නෑ.

වැඩි දවසක් නිදහසේ ඉන්න වුනේ නෑ. අලුත් ඉස්කෝලෙ ලොකු සර් කතා කරලා ඉල්ලුවේ, ළමයින්ට පුලුවන් නම් ඔන්ලයින් උගන්නන්න. ඒ මවද්දිත් මම අමතර පන්ති ඔන්ලයින් උගන්නන්න පටන් අරන් තිබ්බ නිසා සර්ට කිව්වේ මට සිග්නල් නෑ කියලා, පුලුවන් වෙලාවට කොහොම හරි උගන්නන්න බල්න්නම් කිව්වේ හොද හිත තියාගන්නත් ඕනි නිසා.

කොහොමත් ඒ ඉස්කෝලෙ ඉගෙනගන්න උවමනාවක් තියෙන උන් හිටියෙ එකයි දෙකයි. මග සබ්ජෙක්ට් එකට, ඒ කියන්නෙ ගිණුම්කරණයට හිටියේ ළමයි අට දෙනයි. සර් කියපු නිසාම දවස් දෙක තුනක් ඉස්කෝලේ ළමයින්ට ඔන්ලයින් කරත් ඒ ආවෙත් පස් දෙනයි. ඒ හින්දම ලොකු සර්ට කතා කරපු මන් ළමයින්ට උවමනාවක් නෑ කියලා ඔන්ලයින් කෙරුවාවෙන් ගැළවුණා.

අඩු නෑදෑ ආශ්‍රයක් වගේම සීමිත ගමන් බිමන් තිබුණ මම කොවිඩ් වසංගත කාලය පුරාවට ගෙදරට ම වෙලා හිටියේ හිතේ හැටියට. ඒත් ආයෙත් ඉස්කෝලේ පටන් ගන්නවා කියන ආරංචිය මාව පෙර තිබ්බ මානසික මට්ටමට මාව ඇදලා දැම්මා.

අකමැති ඉස්කෝලයක් වගේම ඉගෙනගන්න බැරි ළමයි ටිකක් මාව කේන්තියේ උපරිමයට ගෙනත් තිබුණා. ඉස්කෝලේ පටන් ගත්ත ගමන් මම කළේ ඔන්ලයින් පන්ති නාව තුන්දෙනා හේතු නොබලාම ලොකු සර් ළඟට යැව්ව එක. ඊට පස්සෙ ඉගැන්විය යුතුම හින්දා පාඩම්

පටන් ගත්තත් ගණන් හදන කොටස් කොයි තරම් කියා දුන්නත් ආයෙ වරද්දලා හදාගෙන එන ළමයි මගෙ ඉවසීමේ සීමාව පැන්නුවා.

කේන්තියෙන් පුටුවෙන් නැගිට්ට මන් කළු ලෑල්ලේ ගැටලුවක් ලිව්වා.

මම ආයෙමත් මේ පන්තියට උගන්නන්න ඕනි නම් මේක විසඳලා තියනවලා.. කියලා එළියට ආවේ කොහොම හරි මේ ඉස්කෝලෙන් යනවා කියලා හිතාගෙන.

හවස් වෙනකන් ළමයින්ගෙ සද්දයක් නැති නිසාම මම හිතාගත්තේ ආයෙත් නම් ඒ පන්තියට යන්නෙ නෑ කියලා. කොහොම නමුත් මම පහුවදා උදේ ඒ පන්තියට ගියේ නියමිත කාලච්චේද මඟ හරින්න බැරි නිසා.

ළමයි අට දෙනාම පන්තියෙ ඉඳගෙන කළු ලෑල්ල දිහා බලන් උන්නා. කැත නමුත් පිළිවෙළ අකුරින් ගැටළුව හරියටම විසඳලා තිබ්බ දැක්ක මට ආවේ සතුටක්. ඒ එක්කම මේක මගෙ අභිමානයට එල්ල කරපු පහරක් වගෙ මට දැනුණා.

නිහඬවම පාඩම උගන්වපු මන් අන්තිමට කළු ලෑල්ලේ කලින් දවසට වඩා අමාරු ගැටළුවක් ලියලා මුකුත් නොකියාම එළියට ආවා. අනිත් දවසෙදි කාලච්ඡෙද නැතුව වුණත් මන් උසස පෙළ පන්තියට ඔලුව දාලා බැලුවේ කළු ලෑල්ල දිහා.

 බලාපොරොත්තු වුණ විදියට කැත අකුරු පිළිතුර හදලා තිබුණා. ළමයි පන්තියට එද්දිත් ගණන් හදලා තිබුණ නිසා උත්තරවල අයිතිකාරයා කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.

සතියක් මේ සෙල්ලම සිද්ධ වුණා. ළමයිනුත් වෙන්දට වඩා උනන්දු මට්ටමක ඉන්න බවක් පෙනුණා. ළමයි අට දෙනා වෙනම අරන් හිතුවත් වැඩ පුලුවන් ඒකෙන් බාගෙකට විතරයි. ටික දවසක් යද්දි අකුරු හැඩ වෙනස් වෙලා ලස්සන හුරුබුහුටි අකුරු කළු ලෑල්ල පුරාම උත්තර බැඳලා තිබුනා. අකුරුවල ගැළපීමක් දකින්නත් නෑ. ඉතින් උත්තර ලියන්නා රහසක්ම වුනා.

තවත් දවසක උදේම බස් එක අල්ලගත්ත මම ඉස්කෝලෙට එන්නෙ උසස් පෙළ පන්තියේ කළු ලෑල්ල බලන්නමයි. ඊට කලින්දා හවස් වෙනකන් තිබුණ ගුරු රැසවීම නිසා හවස් වෙද්දිත් දීපු ගැටළුව හදලා නොතිබ්බ බව මට හොදටම විස්වාසයි.

හිමින් පන්තිය දිහාට අඩිය තිබ්බ මන් පන්තිය පෙනෙන නොපෙනෙන හරියෙදි දැක්කා ගැහැණු ළමයෙක් පිටුපස හරවාගෙනම කළු ලෑල්ලේ යමක් ලියනවා, තවත් ළං වෙලා බලද්දි දැක්කේ මගෙ පන්තියේ රුචිරා ඊයේ දුන්න ගණන හදද්දී මැද පේළියක ඉදගෙන දසුන් ඒ දිහා බලාගෙන ඉන්නවා. උදේම නිසා පන්තියේ වෙන කවුරුත් නෑ. ඒක දැක්ක ම නම් හිතට අමුතු සතුටක් මෝදු වෙනවා දැනුණා, හරිම දක්ෂ දරුවෙක්.. රුචිරා මේ දුෂ්කර ගමේ හිටිය ලොකුම මුදලාලිගෙ දුව. ඈත ඉඳන්ම බලාගෙන හිටිය මම හොරෙන්ම ආපහු විවේකාගාරයට ගියේ දවසේ වැඩ පටන් ගන්න අවශ්‍ය නිසා.

උගන්වන්න පන්තියට ගියත් වෙනසක් නොපෙන්වපු මන් රුචිරාගෙ අකුරු හොරෙන්ම පරීක්ෂා කළා. ඔව් ඒ බෝල අකුරු කළු ලෑල්ලෙත් ඒ විදියටම තිබුණා. පුරුදු රටාව ගලාගෙන ගියා,මම ලියන ගණන උදේ වෙද්දි හදලා තියන්න රුචිරා සමත් වුණා. කොවිඩ් තත්ත්වයත් එක්කම හිමින් පාසල්වල වැඩ කටයුතු වෙද්දි හදිසියේම කලාපෙන් ලියුමක් එවලා තිබුණා.

වසංගත කාලේ අධ්‍යාපන මට්ටම විමර්‍ර්ශනයට සැළසුම් කරලා. සෞඛ්‍ය හේතු නිසා හැමෝටම නොහැකි වුණත් ඉස්කෝලෙකින් ළමයි දෙන්නෙක් ගෙන්වලා සාධන ලබාගන්න, අපි දෙන්නෙක්ව නම් කරලා යවන්න ඕනි. ඉතින් මම ලේසියෙන්ම දෙන්නෙක් තේරුවා.

ඔව්…. මුලින්ම තේරුවේ රුචිරා. මන් දෙන ගණන් ලේසියෙන්ම හදන රුචිරට අමතරව තේරුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ගෙ දුවක්ව. දක්ෂකමට එක අවසථාවක් දුන්න මම අනිත් අවසථාව මන් වෙනුවෙන් වෙන් කරගත්තා. මේ තේරීම ඉසසරහට ඉල්ලන මාරුවීම්වලට උදව් කරගන්නයි මන් හිතුවේ. පවත්වන වැඩමුළුව ගැන පැහැදිලි කරලා දරුවන්ව දැනුවත් කළේ ඒ වැඩමුළුවට මට සහභාගි වීමට ඉඩ නොලැබෙන නිසා. රුචිරාට මන් නිතර මතක් කරේ ඇයගෙ ගුරුතුමිය මම බව අහන ඕනි කෙනෙක්ට පැවසිය යුතු බව.

සියලු කටයුතු අවසානයේ සුපුරුදු විදියට ගැටලුවක් කළු ලෑල්ලේ සටහන් කරේ උත්තර සපයන්නාව මන් දන්නා බව නොපෙන්වලා. පහුවදා උදේම තිබුණ උසස් පෙළ පන්තියට යන්න ගිය මගේ දෙපා අතර මඟ නැවතුනේ කළු ලෑල්ල දැකලා. එසැනින් ළමයි දිහා බැලුව මන් හෙව්වේ රුචිරාව. වැඩමුළුවට ගිය රුචිරා පන්තියේ නැති බව දැන දැනත් ඇස් ළමයි අතරේ යැව්වේ දැක්ක දේ ගැන අවිස්වාසෙන්. කටු අකුරින් ගැටලුව විසඳිලා තිබුණා.

ආපහු හැරිලා විවේකාගාරයට ආව ගමන් පොඩි දරුවෙක් අතේ දසුන්ට පණිවිඩයක් යැව්වේ මාව හම්බවෙන්න එන්න කියලා.මට වරදින්න විදියක් නෑ.. හරියටම දැනගන්න නම් රුචිරා ගණන් හදනවා දැක්ක දසුන්ගෙන් අහන්න හිත බල කළා. රුචිරාව විස්වාස කරලා වැඩමුළුවට යැව්ව එක ගැන දැන් තියෙන්නේ පසුතැවිල්ලක්.

“…දසුන් මට ඇත්ත කියනවා, අර කළු ලෑල්ලේ රුචිරා ගණන් හදද්දි තමුන් බලන් හිටියා මන් දැක්කා. රුචිරා නෙවෙයි නම් අද ගණන් හැදුවේ කවුද?..”

කේන්තියෙන් කෑ ගහපු මගේ සද්දෙට දසුන් ගැස්සෙනවාත් මන් දැක්කා.

බොරු කියලා බේරීමක් නැති බව තේරුණ නිසාදෝ දසුන් කටහඩ අවදි කළා.

“..ගණන් හැදුවේ මම මිස් …”

“….එතකොට රුචිරා? මං ඇස් දෙකටම දැක්කා..” තාමත් මට ඕනි වුනේ  මගේ මතේම එල්ලිලා ඉන්න.

“.මන් ගණන් හදනවා දවසක් උදේ රුචිරා දැක්කා. එයා කිවා ගණන් කියා දෙන්න කියලා. ඒකට එයා මට සල්ලි දුන්නා මිස් , දවසකට රුපියල් තුන්සීයක්… අපේ අම්මා වැඩ කළේ මුදලාලිගෙ කොහු මෝලේ. අම්මට කොරෝනා හැදුණා. ඊට පස්සේ වැඩ කරන්න බෑ මිස් , පපුවෙ හතිය ආවා.. තවම අම්මට අමාරුයි. ඒකයි මන් පන්ති නාවෙත්.”

කොල්ලා ඔහේ කියවනවා, මාත් ඔහේ අහගෙන හිටියා.

“…මං අපේ අම්මට හරි ආදරෙයි මිස් . හැමදේටම අම්මට ඉන්නෙ මං විතරයි. මන් කාලෙ ඉදන් අම්මා දුක් වින්ඳා. තවත් අම්මා දුක් විඳිනවා බලන් ඉන්න බෑ මිස් . ඒකයි එහෙම කළේ ..”

හිමින් මුමුණද්දි ඇස්වල පිරුණු කදුළු කම්මුල් දිගේ බේරෙනවා මම දැක්කා.

“..දසුන් දැන් පන්තියට යන්න…” දඬුවමක් බලාපොරොත්තුව සිටි නිසාද මන්දා කොල්ලා පුදුමයෙන් ඇස් ඉස්සුවා. ඊට පස්සේ පිටි පස්සවත් නොබලා පන්තියට දිව්වා.

හොද හුසමක් හෙලපු මන් ආයෙමත් පන්තියට යන්න පොත් ටික එකතු කරගත්තා. කළු ලෑල්ල තවම එහෙම්මයි. ඒක  මකලා දාපු මම කිසිම දෙයක් නොවුණ ගානට පාඩම උගන්වලා පන්තියෙන් එළියට එන්න හැරුණා.

ඒත් ආපහු කළු ලෑල්ල ළඟට ගියපු මන් ගාණක් ලිව්වේ යන්තමින් දසුන් දිහා බලලා. ඒ දිලිසෙන ඇස්වලින් මූනෙ තියන හිනාව මාස්ම් දාලා තිබුණත් මට අඳුර ගන්න අමාරු වුණ් නෑ. ඉතින් මමත් පළවෙනි වතාවට මේ ඉස්කෝලෙදි හිතට එකගව හිනා වෙලා පන්තියෙන් එළියට අඩිය තිබ්බා.

 

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp