Èkqu
wfkdaud Y%shd l=udß

එක දිගට නාදවන දුරකතනය නිසා මගේ නින්ද කැඩුණි.

“නංගි, පල්ලෙහා ගෙදර අය පොසිටිව්. අදට දවස් හතරයි. ඔයා දන්නෙ නැද්ද?”

මගේ මිතුරියකගේ හඬ සිහිනයෙන් මෙන් ඇසුණි. වෙලාව උදෑසන හය පසුවූවා පමණ කි. මම ඇඳෙන් පැන්නේ එකවරම ය. අසූහය හැවිරිදි මව පෙරේදා රාත්‍රියේ සිට උණ සහ කැස්ස ගතියක් පෙන්වූවා ය. මසිතේ නැගුණේ ගින්නකි. දොර කඩ ගසේ හැමදාම මල් කඩන ඔවුහු පෙරදාත් පැමිණියේ මුව ආවරණයක් නැතිව ය. අම්මා හුන්නේ සුපුරුදු පරිදි ය. නිවසටත් මුව ආවරණයක් දැමීම ඇයට තිබූ මහා ම කරදරය යි .ඒ නිසා ම ඇගේ  මුව ආවරණය තිබුණේ  ලාච්චුවේ ය.

“අම්මේ ඔයාට කොහොමද ?”

” තාම ටිකක් උණ වගේ.ඇඟටත් පණ නෑ. හෙම්බිරිස්සාව .මට අර බෙහෙත් වතුර එක හදල දෙන්න.”

අම්මා ට අසනීප වූ නිසා නිදාගන්නට සිදුවූයේ පාන්දර ය.රෑම කොත්තමල්ලි තම්බා අම්මාට පෙවූයෙමි.

දින දෙක තුනක් තිස්සේ ම   බුදු පහන පාලු ය. පාන්දර හතරට නැගිට පොල්කටු අවුලා දුම් අල්ලා ගේම සුවඳ කරවන ඈ පැය දෙකක්වත් ගාතා  කියා බුදුන් වඳියි.

“දුම් අල්ලාගමුද? ගොඩක් පහසු වෙනවා.සෙමත් අඩු වෙනවා.”

“මට බෑ.පාඩුවෙ නිදාගන්න දෙන්න.අමාරුවකට ඉන්න දෙන්නෙ නෑ.”අම්මා තදින් කියා රෙද්ද පොරවා ගත්තා ය.

වටේ ම පවුල් වසංගතයට මුහුණ දෙමින් සිටියෝ ය. මා සමග සිටින අම්මාටත් , අම්මාගේ නැගණියටත් වෙනත් රෝග කිහිපයක් ම වදදෙමින් තිබුණි.වසා තිබුණු නගරය මගේ තනිකම තීව්‍ර කළේය .

මම නැවත සිතා බැලුවෙමි. අම්මා කී රෝග ලක්ෂණ වසංගත රෝගයේ ලක්ෂණවලට සමානවීමත්, අල්ලපු නිවසේ තත්වයත් මගේ සැකය වැඩි කරයි. බෙහෙත් වර්ග කිහිපයක් එක් කර සාදන ලද දුම් මුට්ටිය ට බෙහෙත් නොදා ඇතැයි පෙරදින මැසිවිලි නැගූ බව මතක් විණි. ඉතා ම අනර්ඝ තත්ත්වයේ වූ දුම් අල්ලන සුවඳකුඩු එකට පවා දොස් කීවාය .

දෙවියනි! මට එකවරම යමක් තහවුරු විය . දැන් කළයුත්තේ කුමක් ද?

මගේ හිස ද කරකැවෙයි.

“මේ අර ලෙඩේ ද? කන්න බෑ .කට තිත්තයි. මේක ගෙනියන්න !” අම්මා උදේ කැම ප්‍රතික්ෂේප කළාය .

“ආ හෙලෝ.ඔවු දැන් කෑවේ.නෑ මට අසනීපයක් නැ.වහිනවනේ.පින්නට නහය බුරුල් වෙලා.”

අම්මා අක්කාට පිළිතුරු දෙනු ඇසේ.ඈ ඊළඟට අමතන්නේ මට ය.

“අර මොකද අම්මා අමුතු විදිහට කතා කරන්නේ? අසනීප වෙලාද “

ඇගේ තොරතෝංචියක් නැති ප්‍රශ්න රැසකි. බෝවෙන රෝගයෙන් අම්මා රැක ගැනීමට නීති රැසක් දුරකතනයෙන් දැමූ ඇයට කිසිවක් කීම පහසු නැත.

අම්මාට හුස්ම ගන්නට අපහසුවන බවක් දැනේ. රෝහල් සියල්ල  පිරී ගොස් ඇති බැවින් ඒ ගැන සිතා පලක් නැත.

“අම්මේ මේ දුම් ටික අල්ලගන්න. මටත් සනීප නෑ වගේ.”මා කීවේ සත්‍යයකි. මටත් රෝග ලක්ෂණ මතු වී තිබුණි .

ඇඳේ හුන් අම්මා එකවරම නැගිට්ටාය.

“අනේ පුතේ ඔයාට මොකද ? ඔයා නං ලෙඩ වෙන්න එපා.”

“නෑ නෑ ඒ හැටි අමාරුවක් නෑ.”

“ඒ වුණාට ඒ ලෙඩේ හැදෙන්න  හොඳ නෑ කියනවනෙ.”

“හරි, එහෙනම් අපි තුන් දෙනා ම දුම් අල්ලමු.”

අම්මා එකඟ විය.

මට ටිකෙන් ටික අමාරුකම් දැනේ. කිසිවක් කිසිවෙකුට කිව නොහැක .

“අම්මෙ මං මේ ලෙඩේ ගැන කියෙව්වා. මේ ඒක නෙවේ.”

මට අසත්‍යයක් කීමට සිදුවූයේ අම්මා ජීවිත ආශාව අතහැරුණු කතා කී නිසාම ය.හති දමමින් කතා කරන ඇය දුටු  මම මා අමතක කළෙමි.

” ඔයාට සනීප නැද්ද ? ඇයි ඔයා හති දාන්නෙ. ඇත්ත කියන්න. ඒ දන්නවද ඊයෙත් ගොඩක් මැරිලා.”

මගේ මිතුරියක් කතා කළා ය.

“අනේ වැඩ ගොඩයි. ඒකයි.    ලෙඩක් නෑ.”

මගේ කතා අම්මා ට ඇසෙන නිසා රෝගයට තනිවම මුහුණ දීමට මට සිදු විය.

“මේ දවස්වල මහන්සි වෙන්න එපා කියනවා. නිදිමරන්නත් එපා කියනවා. ඉක්මනින් කාල නිදියගන්න. චුට්ටක්වත් සෙම හදාගන්න එපා.”අක්කා කතා කරන ගානේ කියයි.

එතැන් සිට දින ගනිමින් අම්මා සනීප කර ගන්නට හැකි සෑම දෙයක් ම කළෙමි. නින්ද අමතක ම කළෙමි.

ඇගේ කාමරයේ සියලු රෙදි ඉවත් කර සේදුවෙමි. කපා ගත් ඉඟුරු කැබලිවලට මී පැණි දමා අම්මා කහින වාරයක් පාසා කටේ දැමුවෙමි. කැඳත්, කොත්තමල්ලි වතුරත් පෙවූයෙමි . රට වසා ඇති බැවින් පුරුදු දොස්තර මහතාගෙන්වත් බෙහෙත් ගැනීමට ක්‍රමයක් නැත .

රෝගයේ නරකම බලපෑමක් වන මානසික අවපීඩනය දෙදෙනාටම තදින් පහර දෙයි .තවමත් හොඳින් සිටින මවගේ නැගණිය කාමරයකට දමා වසා අම්මාට නිදහසේ ඉන්නට දුන්නෙමි.ඒ බෝවෙන රෝගයක් නොවන බව ඒත්තු ගැන්වීමට ය. දුරකතනයෙන් කතා නොකරන්නට සිතුවේ මගේ හති දැමීම මිතුරියන් විමසන බැවිනි. නිවසේ දී හිටි හැටියේ ම මිය ගොස් සිටි තවත් එකම පවුලේ දෙදෙනකු ගැන කීමත් සමග ප්‍රවෘත්ති බැලීම අත් හැර දැමුවෙමි. මට අවශ්‍ය වූයේ අම්මා ජීවත් කරගන්නට ය.

කඩවල් වසා ඇත. ඕනෑ කරන බඩු සියල්ල ලබාගත්තේ ඉතා අපහසුවෙනි. ඉතා සරල ලෙස ඔක්සිජන් මට්ටම ඉහළ දමන ආහාර සෙවුවෙමි. පලා කොළ, කැළෑ කොළවලින් ආහාර සැකසීමි. නිවස පිරිසිදු කර මොබ් කළෙමි.

රෝගය වැළ්ඳී දහවන දිනයේ අම්මා නැගිට්ටාය .

“අනේ ඔයා මහන්සි වෙන්න එපා. මට සනීප යි.මම රෙදි හෝදන්නම්.”

අම්මා ට ඕනෑවූයේ මා ගෙට ගැනීමට ය.

එකවරම ඇය බිත්තිය අල්ලා ගත්තා ය. “.මට ආයි අර මහන්සිය. ඉඟුරු කෑල්ලක් කෑව නං හරි යයි.”

“යන්න ,යන්න  ඔයා ගෙට යන්න .”

මම වහා අම්මා ගෙට යැවුවෙමි. රෝගයේ භයානක බව දන්නා නිසා ම මා සිටියේ බොහෝ බියපත්ව ය. එහෙත් මා නිසා ම ඈ මේ දහිරිය ගෙන නැගිට්ටේ දෙවන වතාවට ය. මහා අමරුකම් මැද නොවෙනස් වුණු අම්මාගේ ආදරය මා විස්මයට පත්කළේ ය.

අධික රුධිර පීඩනය , වකුගඩු ආබාධය, රුධිර සීනි මට්ටම ඉහළ යාම නිරන්තරයෙන්ම අම්මාට පීඩා කළ නිසා අවදානම තාමත් තිබේ .අම්මා නැගිටින්නේම නැත.

සුවපත් වීමට අවශ්‍ය එක් දෙයක් රෝගය විසින් සොරා ගෙන තිබුණි .ඒ ජීවත් වීමට අවශ්‍ය මානසික ශක්තිය යි. තවත් දින දෙකක් ම ගෙවී ගියේ මගේ ද මානසික ශක්තිය ටිකෙන් ටික සොරා ගනිමිනි.

දිනක් අම්මාට නැවත බුදු පහන තබා වන්දනා කරන්නට උවමනා විය. අදහාගත නොහැකි යමක් සිදුවෙමින් පැවතුණි.  පසුදා උදෙන් ම නුහුරු දුරකතන ඇමතුමකට ඈ මුහුණ දුන්නාය . සුවෙන් සිටිනා විට ඇගේ විනෝදාංශය වූයේ ලිවීම යි. වැඩිහිටියන්ටත් සහභාගී විය හැකි කෙටිකතා   තරගයකට ඇගෙන් නිර්මාණයක් ඉල්ලා සිටියාය .

ඇගේ රෝගය ඇගෙන් පලා ගියේ ය. ඈ පෑන අතට ගත්තා ය.

නිවසේ ඉදිරි දොර හැර දැමීමට මට හැකි විය. වසා දැමූ දොර නිසා මුලු ගෙය ම අඳුරු ස්වභාවයක් ගෙන තිබුණි     

අම්මා ලිපිය ලියා අවසන් කළා ය. තුන් මාසයකින් අම්මාගේ බලාපොරොත්තුව ඉටු විය.

“අම්මා ඔයා අර තරගෙන්  දිනලා. තෑග්ග ගන්න එන්නලු.”

“ඇත්තට!” අම්මා ගේ ඉහවහා ගිය සතුට මිළ කළ නොහැකි විය.,                  

 

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp