Èlalidoh
fÉ;kd iqNdIsKS

දුලීනා තම නිවසේ ගේට්ටුව ඉදිරියේ නතරවූ කාර්යාලීය වෑන් රථයෙන් බැසගත්තේ මිතුරියන්ට සමුදෙමිනි. වේලාව රාත්‍රී අටත් පසුවී තිබූ නිසා සිතට දැනුනේ තිගැස්මකි. සහිරුගේ මෝටර් බයිසිකලය දෙසට බැල්මක් හෙලමින්ම දුලීනා නිවස තුලට ගොඩවෙද්දීම ඉදිරියට ආවේ සහිරුගේ මව කරුණාවතීය.

“යසයි ගෙවල්වල ගෑනු ගෙදර එන වෙලාව… ගෑනු ඉන්නෙ ගෙදර වැඩපල කරගෙන දරුවො හදාගෙන ඉන්න මිසක් රස්සාවල් කරන්න නෙවෙයි… “

සුපුරුදු ආඩපාලි සවන් වැකෙද්දී දුලීනාට දැනුනේ දවස තිස්සේ දැනුනු විඩාව තව තවත් වැඩිවන බවකි. කිසිත් නොකියාම කාමරයට වැදුනේ ඇයත් සමග එල්ලි එල්ලී තර්ක කිරීමෙන් ඵලක් නොවන වග දෑවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ තේරුම් ගනිමින් උන් නිසාවෙනි.

” අපේ කාලෙ අපි මනුස්සයා ගෙදර එනකන් මග බලන් හිටියා තේකත් හදාගෙන… ඒකට දැන්… මිනිහත් ආවට පස්සෙනෙ ගෑනු ගෙදරට එන්නෙ… අනේ අනිච්චං අබුද්දස කාලේ… “

කරුණාවතී කෑගෑවේ කාමරයේ උන් දුලීනාට ඇසෙන්නටමය. දුලීනාගේ මුවින් සුසුමක් පිටවූයේ ඉබේටමය. සහිරුගේ මව සාම්ප්‍රදායික නැන්දම්මාගේ චරිතය මොනවට රඟදක්වද්දී මුලදී තමා ඒ සියල්ලට පිළිතුරු දුන්නේ සිනහවකිනි. සහිරුගේ සිත රිද්දන්නට වූ අකමැත්ත නිසාම ඇයගේ ආඩපාලි බොහෝමයක් ඔහුගෙන් සඟවාගෙන උන්නාය. එහෙත් දැන් දැන් ඇය තම ඉවසීමේ සීමාව නැත්තටම නැති කරමින් උන්නාය. නාන කාමරයේ සිට කාමරයට පැමිනි සහිරු දුටුවේ යහන මත උඩු අතට වැතිර බර කල්පනාවකට වැටී උන් තම බිරිඳය.

” දුලී… “

දුලීනා කල්පනාවෙන් මිදුනේ තම ඉහ අද්දරින්ම ඇසුනු තම සැමියාගේ හඬටය.

” ඇයි මේ…? “

ඇයගේ මුහුනේ වූයේ විඩාබර බවකි. දෙඇස් මත තුනී කඳුළු පටලයකි. දුලීනා නැගිට යහන මතම ඉඳගත්තේ දෙඇස් සඟවමිනි.

” අනේ මට තවත් මේ ගෙදර ඉන්න බෑ සහිරු… ඔයාගෙ අම්මට මං කෑවත් වැරදියි බීවත් වැරදියි… ඉව්වත් වැරදී… ලුණු මදියි කියලා හරි අඩුවක් කියනවා… අසනීපයක් නිසා හරි උයන්නෙ නැතුව හිටියොත් ඔහොම සැප ගන්න කුමාරිහාමිට අතට පයට වැඩකාරයො ඉන්නවද අහනවා… වැඩට ගිහින් මාත් එන්නෙ මහන්සිවෙලා… මාත් මනුස්සයෙක් සහිරු… මාත් යකඩ නෙවෙයි… “

අවසන් වචන කීපය සමග පිටවූයේ ඉකියකි. සහිරු ඇය අසලින් ඉඳගත්තේ සුසුමක් හෙලමිනි.

” අම්මා කියන ඒවා ගනන් ගන්නෙපා දුලී… “

ඉතින් ඔහුට දෙන්නට ඇත්තේ ඔය පිළිතුර පමනද? කවදා වනතුරු ඉවසන්නද? ප්‍රේමයෙන් බැඳී විවාහයක් වෙනුවෙන් සුබ සිහින දුටු යුගයේ පැතුවේ මෙවැනි ලෝකයක් නොවේ. යථාර්ථය සිහින තරමටම සුන්දර නොවන වග සැබෑය. එහෙත් සිතෙහි සැනසීම හෝ නොමැතිව ගෙවන විවාහ ජීවිතයක ඵලය කුමක්ද? දුලීනා සිතුවේ තවත් ඉවසිය යුතු නොවන බවය. දෑවුරුද්දක් තිස්සේ ඉවසුවා මදිද?

” අනේ අපි මෙහෙන් යමු සහිරු… “

” අම්මව තනියම දාලා යන්න බෑ දුලීනා… ටිකක් තේරුම්ගන්න… “

සහිරු පවසාගත්තේ පහත් හඬිනි. අම්මා වදන්වලින් පහරදී දුලීනාගේ සිත රිදවන බව සහිරු නොදන්නවා නොවේ. එහෙත් ඇයට ඉන්නේද තමා පමනකි.

” හැමදාම මේ විදියට ජීවත්වෙන්නද කියන්නෙ සහිරු…? “

ඔහු නිහඬය.

” ඔයා තීරණයක් ගන්න සහිරු… එක්කො අපි මෙහෙන් යමු… නැත්නම් ඔයාගෙ අම්මට ඔයා කියන්න අපිට අපේ පාඩුවෙ ජීවත්වෙන්න දෙන්න කියලා… එහෙමත් නැත්නම්… “

දුලීනා කියන්නට ගිය දේ වළකාගත්තේ හැඬුම් හඬ අතරිනි.

” එහෙමත් නැත්නම්…? “

” අපි ඩිවෝස් වෙමු සහිරු… “

සහිරුගේ දෙඇස් විසල් විය. දික්කසාදය… ඇය එවැන්නක් ගැන සිතුවේ පවා කෙසේද?

දුලීනා කාමරයෙන් පිටව ගියේ වේගයෙනි. දික්කසාදයක් ගැන සිතීමම පවා හද හිර කරවන්නකි. එහෙත් ඔහු අඩුම තරමේ ඔහුගේ මවට එය පැහැදිලි කරන්නට හෝ සිතට ගනීවි යැයි දුලීනා සිතුවාය. ඇයට අවැසි වූයේ දික්කසාදය ගැන කියා ඔහුට තම හැඟීම් තේරුම් කරවන්නට මිස ඇත්තටම දික්කසාද වන්නට නොවේ.

කාලය ඔහේ ගතවී යද්දී නැන්දම්මාගේ ආඩපාලි අඩුවනවා වෙනුවට තමන් හා සහිරු අතර දුරස්ථ බවක් ඇතිවන බව දුලීනාට වැටහී ගියේ දින කීපයක පටන්මය. කාර්යාලයේ රාජකාරීන්වලදී පවා සිත එකලස් කරගන්නට අසමත් වෙද්දී දුලීනා පෑන කරකවමින් ලිපිගොනුවකට හිස පහත් කරගෙන උන්නේ මිතුරියගේ උපදෙස් සිහිකරමිනි.

“උඹේ නැන්දම්මා එක්ක ඔය පවුල සතුටින් කන්න හම්බෙන්නෑ… සහිරුට ඔය තරමට කොන්ද පන නැද්ද දුලී…? එක්කො අම්මව සයිලන්ට් කරලා තියන්න ඕන… නැත්නම් උඹ කියනවා වගේ රෙන්ට් එකට හරි වෙනම ගෙයක් අරන් යන්න ඕන… ලංකාවෙ වැඩිපුරම පවුල් ප්‍රශ්න වැඩිවෙන්නෙ ගෑනිගෙයි මිනිහගෙයි ප්‍රශ්නවලට දෙමව්පියො අත දැම්මම… උඹලගෙ ගෙදර ඒකෙත් අනිත් පැත්ත… “

දුලීනා පෑන ලිපිගොනුව මතට අතෑරියේ සහිරු ගැන උපන් කේන්තියෙනි.

” චීනෙ වෛරස් එකක් නිසා හෝ ගාලා මිනිස්සු මැරෙනවලු බං… “

කල්පනාව බිඳීගියේ කාර්යාල මිතුරෙකුගේ හඬිනි.

” සිරාවට… “

ඒ තවත් මිතුරෙකි.

” සතෙක්ගෙන් බෝවෙලා කියලා කියන්නෙ… බයෝ වෙපන් එකක් කියලත් කියනවා බං… මේ මේක බලපන්කො… “

ඔහු පෙන්වූයේ ඔහුගේ දුරකථන තිරය මත ක්‍රියාත්මක වන වීඩියෝ පටයකි. හුස්ම ගන්නට අසීරුවෙන් දඟලන චීන ජාතිකයා දකිද්දී සියල්ලන්ගේම දෙඇස් නතරවූයේ නළලතේය.

” චීනයෙන් මතුවූ කොරෝනා වෛරසය වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි… “

” කොරෝනා ආසාධිත පලමු ශ්‍රී ලාංකිකයා අද හඳුනාගනී… “

” උද්ගතව ඇති තත්වය මත අත්‍යවශ්‍ය ගමන් බිමන්වලට පමනක් නිවසෙන් පිටතට යන ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලයි… “

” මිනිසුන් නොමරා රට වසන්න… විපක්ෂයෙන් රජයට චෝදනා… “

දිනෙන් දින අලුත්වන පුවත් සමගින් එදිනෙදා ජීවිතය ගලා ගියද සහිරු හා දුලීනා අතර වූ විරසකය තවමත් එලෙසම පවතිද්දී කරුණාවතී ඇවිලෙන ගින්නට පිදුරු දැමුවා විනා එය නිවන්නට වෙහෙස නොවුනාය. වෙනදා රාත්‍රී කෑම වේල එකට ගන්නා දෙන්න දෙමහල්ලන් දෙපසකට වී රාත්‍රී ආහාර ගනිමින් උන්නේ රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයට සවන්දෙමිනි.

” උද්ගතව ඇති තත්වය මත නැවත දැනුම් දෙනතුරු අද රාත්‍රී දහයේ සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය දැනුම්දෙයි… “

සහිරු හා දුලීනා මුහුනට මුහුන බලාගත්තේ අතට ගත් බත් කට මුව තුලට ඔබාගන්නට අමතකව ගොසිනි.

එදින පටන් සිදුවූයේ නිවසට කොටුවී උදේ හවා ප්‍රවෘත්තිවලින් ඇසෙන අසුබ පුවත් අසාගෙන ඉන්නටය.

” හැම නිතරම නිව්ස් දාගෙන ඕවා දිහාම බලාගෙන ඉන්න එපා සහිරු… ඩොක්ටර්ස්ලා උනත් කියන්නෙ මානසික මට්ටම යහපත්ව තියාගන්න කියලා… “

දවස තිස්සෙ කොවිඩ් වසංගතය ගැන අලුත්වන තොරතුරුවලට කන්දීගෙන ඉන්නා සහිරු දෙස බලා දුලීනා කීවේ නොරිස්සුමෙනි.

” දැන් මේ ගෙදර මිනිහා නටන්න ඕන ගෑනිගෙ පදේටද…? “

සුපුරුදු පරිදි මැද්දට පැන්නේ කරුණාවතීය.

” අම්මා… “

සහිරු එපමනක් පවසා රූපවාහිනිය ක්‍රියාවිරහිත කරදැමුවේ නොපහන් බැල්මක් තම මව වෙත පා කරමිනි. දැනුනු අලස බව නිසාම තම දුරකථනයෙන් යූටියුබ් චැනලයක් පිරික්සූ දුලීනා මුළුතැන්ගෙට වැදුනේ අලුත් කෑමක් සාදන්නට උත්සහයක් ගන්නටය. පැය කිහිපයක් ගතකොට සාදාගත් කෙටි ආහාරය පීරිසියක් මත තබා තේද වක්කොට සහිරුගේ හා තමාගේත් හා නැන්දම්මාගේ කෝපපවලට දැමූ දුලීනා සහිරු ඇමතුවේ තෘප්තිමත් හැඟීමක් සිතට දැනෙද්දීය.

” සහිරූ… සහිරූ… “

දුලීනාගේ හඬට සහිරු මුළුතැන්ගෙට දිව ආවේ කලබලයෙනි.

” ඇ… ඇයි දුලී… “

” තේ බොන්න… මේ මේවත් ගන්න… මේක අම්මට දෙන්න… “

ඇය සහිරු අතට පෑවේ කරුණාවතීගේ තේ කෝප්පය හා කෑම පීරිසියයි.

” අපිට ටොයිලට් එකේ පදිංචි වෙන්න වෙයිද දන්නෑ… “

සහිරුට අවැසි වූයේ ඇයව අවුස්සන්නටය. ඇය ඔහුට රවා ඉවත බලාගත්තේ සිනහව සඟවමිනි.

” ඔයාම ඕක අම්මට දෙන්න දුලී… “

සහිරු කියද්දී මොහොතක් ඔහු දෙස බලා උන් දුලීනා තේ කොප්පයත් කෑම පීරිසියත් රැගෙන කරුණාවතී සොයායන්නට විය.

” අම්මා… තේ බොන්න… “

කරුණාවතී උන්නේ යහන මත ඉඳගෙන තෙල් කුප්පියක් පියන අරිමිනි.

” ඔහෙන් තියන්න… “

” ආයෙත් කොන්දෙ අමාරුවද අම්මා…? “

” න්… නෑ… මේ පොඩි කකුල් කැක්කුමක්… “

කරුණාවතී පිළිතුරු බැන්දේ ඕනෑවට එපාවටය.

” දෙන්න මං ගාන්නම්… “

දුලීනා කියද්දී කරුණාවතී විසල්ව ගිය දෙනෙතින් ඇය දෙස බැලුවද එය ගණනකට නොගත් දුලීනා ඇයගේ දිගු සාය ඉහලට ඔසවා තෙල් ගා දෙපා අතගාන්නට විය.

 

********************************

 

” අල්ලපු ගෙදර දර්ෂි අක්කා සති තුනකින් ගෙදර ඇවිත් නෑ… කොවිඩ් ලෙඩ්ඩු නිසා හොස්පිට්ල්වල නිවාඩුවක් නැතුවම වැඩ… ඒ නැතත් ගෙදර එන්නෙ ඇඟේ කොහොමද… කරුමෙටවත් ලෙඩේ තිබිලා පොඩිවුන්ට හැදුනොත් හෙම… “

දුලීනා සහිරු හා දොඩමළු වූයේ කෙටි තාප්පයෙන් පෙනෙන අල්ලපු ගෙදර මිදුලේ උන් දරුවන් දෙදෙනා හා ඔවුන්ගේ තාත්තා දෙසට දෙඇස් හෙලාගෙනය.

” හ්ම් නිලන්ත අයියා උදේ මං එක්ක කිව්වා… පොඩිවුන් රෑට අඬනවලු අම්මා ඕන කියලා… වෙනදට නයිට් ඩියුටි කරාට සති ගණන් ගෙදර නෑවිත් හිටිය පලවෙනි වතාවනෙ… “

” මේ කරුම වසංගතේ කවදා ඉවර වෙයිද මන්දා… “

සහිරුගේ හා දුලීනාගේ හඬට සවන්දීගෙනම කරුණාවතී දොර උළුවස්සට හේත්තුවූවාය.

” සමහර පිරිමි නර්ස් කෙනෙක්ව කසාද බඳින්නවත් කැමති නෑ… වෙලාවක් අවේලාවක් නැතුව වැඩ නිසා… ඒත් බලන්න මේ වගේ තත්වෙකදි ඒ මිනිස්සු නිසා කොච්චර සේවයක් වෙනවද කියලා රටට… ගෙවල්වලවත් නෑවිත් ඒ මිනිස්සු අපේම මිනිස්සු වෙනුවෙන් කැපවෙද්දි ගෙදර අයත් ඒ තරමටම කැපකිරීම් කරනවා… ගෑනු රස්සාවට නොයා දරුවො බලන්න ඕන කියලා එකක් නෑ…පිරිමින්ටත් පුළුවන් දරුවො බලන්න… ඔය දැන් නිලන්ත අයියා ලස්සනට දරුවො බලාගෙන ඉන්නෙ… “

දුලීනා එවදන් පවසාගත්තේ සහිරු සමග වුවද ඒවා ඉඳිකටුතුඩු මෙන් ඇනීගියේ කරුණාවතීගේ හදවතේය. තමා විසින් තමාගේ වර්ගයේම ගැහැනුන් පහත හෙලමින් තමා සිතාගෙන උන් සියල්ල නිවැරදි නොවන බව දැනී ඇය නිහඬවම නිවස තුලට වැදුනාය.

උදෑසන මිදුලට වී මල් පැලවලට වතුර දමමින් උන් දුලීනා එළවළු පැළ වගයක් සිටවමින් උන් සහිරු දෙසට වතුර බටය ඇල්ලුවේ යන්තමටය.

” එපා මෝඩ ගෑනියෙ… “

සහිරු කෑගෑවේ බොරු තරහවක් මවාගනිමිනි. මේ සති කිහිපයට දුලීනාගේ සාත්තුව නිසාම මල් පැල නෙක නෙක වර්ණයන්ගෙන් මල් දරාගෙන උන්නේ මුළු මිදුලම වර්ණවත් කරමිනි. සහිරුගේ හා දුලීනාගේ සිනාහඬට කරුණාවතී තම කාමරයේ ජනේලයෙ තිර රෙද්ද මෑත්කර මිදුල දෙස බැලුවාය. ඇයගේ ඇස් නැවතුනේ එකිනෙකා වැලඳ සිනාසෙමින් කතාබහ කරමින් උන් සහිරු හා දුලීනා මතය. ඒ ඔස්සේම ඇස් ගෙනිගය ඇය කඳුළු පිරි දෑසින් බැලුවේ ගස පිරෙන්නට මල් දරාගෙන උන් අඹ ගස දෙසය.

” වඳ ගෑනු ගෙවල්වල ඉද්දි වත්තෙ පිටියෙ තියෙන ගහක් කොළක්වත් ඵල දරන්නෙ නෑ… “

සිහිවූයේ තමු පුතු හා විවාහ වී පැමිනි තම ලේලියට අවුරුද්දක් ගතවන විටත් දරුවෙකු වදන්නට නොහැකි වූ නිසා අඹ ගහ පිට තබමින් තමා කියූ වදන්ය. කරුණාවතී වහා තිර රෙද්ද වසාදැමුවේ සිතට දැනුනු වරදකාරී හැඟීමෙනි.

ගෙවීගිය කාලය තුල තම නැන්දණියගේ යම් වෙනසක් දුටු දුලීනා තව තවත් උනන්දුවෙන් ඇයගේ හැසිරීම දෙස බලා උන්නේ පුදුමයෙනි. පෙර මෙන් ඇය දැන් විටින් විට තමාට ආඩපාලි නොකියයි. කෑමවල අඩුපාඩු ඇති බවට බොරු චෝදනා නොකරයි. දුලීනා කම්මැලිකමට හදන අලුත් අලුත් කෑම වර්ගවලට රසයි යැයි නොකීවද ඒවාට වදනකින් හෝ අඩුපාඩු නොකියයි. ඇයගේ ඒ හැසිරීම ලඟ දුලීනාද ඇයට තව තවත් ලෙංගතුවන්නට වූයේ සහිරුද මේ සියල්ල දෙස බලා සිත යටින් තුටුවෙද්දීය.

මාස කිහිපයක් ගතවී ගියේ රට සාමාන්‍ය තත්වයට පත්වෙද්දීය. සහිරු හා දුලීනා නැවතත් සාමාන්‍ය පරිදි රැකියාවන් සඳහා පිටත්විය. එක් උදෑසනක දුලීනා ඇඳෙන් නැගිටගත්තේ ඔක්කාරය සමග කුස දෙසින් දැනුනු කලත්තන ගතියත් සමගිනි.

 

********************************

 

දුලීනාගේ කුස දිනෙන් දින මෝරන විට ඇයට සියළු ආවතේව කළේ කරුණාවතීගේ දෙඅත්වලිනි. කාලය ගතව දුලීනාගේ කුසින් පුංචි පුතු පැටියෙකු බිහිවූයේ සහිරුගේ මුහුනුවර දරාගෙනය.

” මං හිතුවෙ ජොබ් එකෙන් අයින්වෙන්න කියලා සහිරු… දරුවත් එක්ක ජොබ් එකකුත් කරන්න අමාරුයිනෙ… “

දුලීනා කීවේ ලැමට තුරුළුව කිරි උරන දරු පැටියා දෙස බලමිනි.

” දරුවා කිරි බොනකන් රස්සාවට නොගිහින් හිටියම ඇති දුවේ… ඊට පස්සෙ මට බැරියෑ කොල්ලව බලාගන්න… දුව රස්සාවෙන් අයින්වෙන්න ඕන නෑ… “

කරුණාවතී එපමනක් පවසා එතැනින් ඉවත්ව යද්දී දුලීනා කඳුළු පිරි දෑසින් බැලුවේ සහිරු දෙසය.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp