;x.fõ¨
mú;%d wNhj¾Ok

සුජාතා කුස්සියට වී උයමින් සිටියේ සාලයට වී පාසල් වැඩ කරන පුතා දෙසද ඇස ගසාගෙනය. උදේ නවයට පාසල් ඇඳුමින් සැරසී ඔන්ලයින් පන්ති කාමරයේ පාඩමට සවන් දුන් ඔහු දැන් ගුරුතුමිය දුන් ගෙදර වැඩ කරයි. පැය දෙකක් ඇතුළත දී ඇති ප්‍රශ්න පහට පිළිතුරු ලියා ගුරුතුමියට යැවූ පසු ඇය ඒවා ලකුණු කර සවස් වෙද්දී නැවත එවයි. කොරෝනා බිය නිසා යළි පාසල් විවෘත වන දිනයක් පවා සිතා ගත නොහැකි බැවින් පාසල සකස් කර ඇති මේ ක්‍රමවේදය ප්‍රශංසනීයය.

අත්‍යවශ්‍ය සේවාවන්හි රාජකාරියේ යෙදෙන ප්‍රසන්නද සවසට පැමිණි පසු පැයක්වත් පුතාව වයිට් බෝඩය අසල තබාගෙන ඉංග්‍රීසි හා ගණන් ටිකක් කියාදෙයි. මේ වසරේ පාසල් විවෘත කළද පුතා නොයවන බව ඔහු නිතර කියන කරුණකි. තවමත් හතර වසරේ ඉගෙනුම ලබන රනුද් යන්නේ හොඳ පාසලකට බැවින් මරවා ශිෂ්‍යත්වය කරවීමටද අවශ්‍ය නැත. රටේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා වන තුරු ඔහු නිවසේම තබාගන්නට දෙමහල්ලෝ දැනටම එකඟතාවයකට පැමිණ සිටිති.

පුතා පෑනද කටේ ගසාගෙන කල්පනා කරන බව ඇය දුටුවේ ව්‍යංජනය ඒදා ලිපේ තබා තුන්වන වරටත් සාලයට එබෙද්දීය.

“ඔය ඉතින්, ලියනවද ඔය?” සුජාතා අසන විටම කල්පනාවේ සිටි රනුද් තිගැස්සී පෑන කටින් ඉවතට ගත්තේය.

ඔහුගේ මුහුණ අමුතු ආකාරයට වෙනස් වනු දුටු සුජාතා වහා ඔහු වෙතට ගියේ මවක සතු වන අන්තරාය හැඳින ගැනීමේ සහජ ඉවෙන් මෙහෙයවීමෙනි. ඇය එතැනට යන විට රනුල් නැගිට ගත්තේය. ඔහු කසින්නට තැත් කළද එය කරගත නොහැකි වූ බව දුටු සුජාතා කලබල වූවාය.

රනුද්ගේ අතේ නිල් පෑන තිබේ. එහි පිටුපස විල්ල නොමැති බව දුටු ඇයට ක්ෂණයෙන් සිදුවූ දෙය වැටහුණි. ඔහු හදිස්සියෙන් පෑන ගන්නා විට විල්ල ඔහුගේ උගුරේ සිරවන්නට ඇත.

වහා පුතු වෙතට පැන්න සුජාතා ඔහුගේ කට අරවා බලන්නට තැත් කළාය. ඇගේ ඇඟද ගැහේ. රනුද්ගේ දෑස්වලින් කඳුළු ගලන්නේ නොනවත්වා ය. නිල් පැහැ විල්ල පෙනෙන්නටවත් නැත. ඇය බොහෝ විට අසා දැක ඇති පරිදි පුතා ඔසවා හිස පහළට හරවන්නට තැත් කළා ය.

කිලො පනහක් බර ඇයට කිලෝ විසි හතරේ කොල්ලාව යන්තම් ඔසවා ගන්නට හැර වෙන යමක් කරන්නට බැරි විය. ඇඳිරි නීති කාලය බැවින් මාර්ගයද පාලුවී තිබේ.  

“පොල් කඩන්නේයි, අතු කපන්නේයි” ලතාවට කියන හඬ පටුමගේ කෙළවරින් මතුවූයේ එවිට ය. කුලී නිවසේ ඉඩමෙහි පොල් ගස් නොමැති බැවින් කිසිදිනක ඔහුට වැඩක් නුදුන්නද ඔහු පටුමගේ යනුද ප්‍රසන්න ඔහු හා කතා කරනුද සුජාතා දැක තිබේ.

වහා පුතා පුටුවේ ඉන්දවූ සුජාතා ගේට්ටු පලුවක් හැර එළියට පැන පැද්දි පැද්දී එන කෙසඟ මිනිසා දෙසට දුව ගියාය.

“අනේ මගේ පුතාගේ උගුරේ පෑන් විල්ලක් හිර වෙලා පොඩ්ඩක් එනවද?”

ඈත සිට ඒ නෝනා පිස්සියක මෙන් දිව එන විලාසය දුටු බැවින් තංගවේලුට පමා වන්නට කාලයක් නැති බව වැටහිණි. ඔහු වෙර යොදා නිවස දෙසට දුවන්නට වූයේ සුජාතා හඬ හඬා පසුපසින් දුවද්දීය.

ඔවුන් එන විට රනුද්ගේ මුහුණ නිල් පැහැ වී තිබුණි. මුවඟින්ද සෙම වැනි දියරයක් වැක්කෙරේ.

අඩියට දෙකට දරුවා අසලට ආ තංගවේලු ඔහු දෙකකුල් ඉහළට සිටින ලෙස හරවා ඔසවා ගත්තේ තත්පරයෙනි. ඉන්පසු ඔහුගේ රළු අතින් රනුද්ගේ පිට මැදට සැර පහර දෙකක් වැදිණි. පෑන් විල්ල ඉවතට විසිවූයේ දෙවියන්ද සිහි කර ඔහු දරුවාගේ පිට මැදට ගැසූ තුන්වෙනි පහරිනි.

කැස්සක් සමග කට බලියාගත් රනුද් ගිරිය යටින් හඬන්නට පටන් ගත්තේ එවිටය. දරුවා බදාගත් සුජාතාද හඬයි. වේලු වහා පෑන් විල්ල අතට ගෙන බැලුවේය. එය කැඩී නැති බැවින් උගුරේ තවත් කැබලි නැති බව ස්ථිරය.

“නෝනා, ලේන් එකේ පල්ලෙයාම ගෙදර දොස්තර මාතියාගේ. බේබිගේ උගුර තුවාලද දන්නේ නේනෙ. මං මාතියා එක්ක එන්නම්”

කුඩා පුතා හා එක්ව වත්තේ බතල පාත්තියක් සිටවමින් සිටි දොස්තර අතුල වේලුගේ කීමට වහා පැමිණියේ බිරිද එළියට ගෙනා කමිසය වතට දමා ගනිමින් ඉදිරිපස කාමරයේ තිබූ විදුලි පන්දමද අතට ගෙනය. නිවෙස් දෙක අතර මීටර් දෙසීයක් පමණ වූ දුරේදී වේලු සිද්ධිය විස්තර කළ බැවින් බොහෝ දුරට දැන් අවදානමක් නැති බව ඔහුට සිතිණි.

ඔහු යන විට දරුවාද මවද සෑහෙන සන්සුන් වී අවසන්ය. උගුර පරීක්ෂා කළ ඔහුට ලොකු ගැටළුවක් නැති බව වැටහිණි.

“මෙයා ආවේ නැත්නම් මොනවා වත් කරගන්න බෑ ඩොක්ටර්, මාත් කලබල වෙලානේ හිටියේ. මට පුතාව උස්සගන්නත් බෑ” සුදුමැලි වී සිටින දරුවාගේ මව කියන්නේ බියපත් හඬිනි.

“ඔව්, පුදුම වෙලාවක් තමයි පුතාට තිබිලා තියෙන්නේ. කර්ෆිව් අස්සේ කවුරුත් පාරේ වත් යන්නේ නෑනෙ.”

“ඒක තමයි”

“මම එහෙම නම් යනවා. බබාට බත් කන්න බෑ කිව්වොත් ඔය යෝගට් එකක්, කෙසෙල් ගෙඩියක් වගේ දෙන්න. උගුර පොඩ්ඩක් සීරිලා ඇති. මොකක් හරි ඕනි කමක් උනොත් කතා කරන්න මගේ නම්බර් එකත් ලියාගන්නකෝ කෝකටත්”

සුජාතා අංකය ලියා ගන්නා තුරු සිටි ඔහු හැරුණේ යන්නටය.

“වේලු එන ගමන් එහෙත් එනවද අන්න නෝනා අඹ ටික කඩාගන්න බලා ඉන්නවා”

“ෂරි මාතියා යං”

සුජාතා බුදු රුවට යටින් තබා තිබූ දාහෙ කොළ දෙක අතට ගත්තේ දොස්තර මහතා ගේට්ටුවෙන් පිටතට ගිය පසුය.

“අනේ මුකුත් හිතන්න එපා, මේක තියාගන්න” ඇය තංගවේලු දෙසට එය දිගු කළේ වෙලාවේ හැටියට ඔහුට කෘතගුණ දැක්වීමට කළ යුතු වෙන යමක් සිහි නොවූ නිසාය.

වෙනත් දිනක නම් ප්‍රසන්නද සමග සවසට තෑගි බෝග රැගෙන ඔහුගේ නිවසට යා හැකි නමුත් මේ කාලයේ එසේ කිරීමට හැකියාවක් නොමැති බව ඇයට සිතුණු බැවිනි. එදා වේල හම්බකරගන්නා මේ අහිංසකයා මෙයින් දරු පවුලට කන්නට හෝ යමක් ගනු ඇති බව ඇයට සිතිණි.

“අයියෝ චී නෝනා, මට ෂල්ලි එපා. බේබි සනීපයිනේ. ඒ ඇති”

තංගවේලු හැරී ගෙට ගොඩවන තැන බිම තිබූ පෝර කවරය හා අනිත් අඩුම කුඩුම ටික ගත්තේය.

“මං ඇඳිරි නීති දාපු දවසෙත් පොල් කඩන්න ඇවිදිනවා දැකලා මෙහෙ මාතියා තමයි අඬගහලා රුපියල් පන්දාහ දුන්නේ බඩු අරන් ඉක්මනට ගෙදර යන්න කියලා. අපිලා තාම කන්නේ ඒ හාල් නෝනා, මං යන්නං”

 

ජයග්‍රාහි කෙටිකතාව – සිංහල

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp