fvdakÜ
mú;%d wNhj¾Ok

විජේසිංහ හාමිනේ ඉස්තෝප්පුවෙ පඩිය උඩ වාඩි වෙලා සිරිකත පත්තරේ අතට ගත්තෙ මිණිබිරී එතනම මිදුලෙ බිම වාඩි වෙලා සෙල්ලම් බත් උයන අතරේ. සෙල්ලම් බත් කිව්වට කෙල්ල කවදාවත් බත් උයන්නේ නෑ.

කප් කේක් කියලා කෝම්පිට්ටු වලට මල් වැඩ දානව, පිට්සා කියලා මැටි රොටීවල මල් කොළ අලවනවා, බ්ලූ බෙරි කේක්, මෆින්, කුකීස් කිය කිය එක එක විච්චූරණ තමයි හදන්නේ. කොළඹ ඉන්නකම් ආස වුණේ ඒවටනේ. කොරෝනා කාලෙන් පස්සේ ගමට කොටු වුනායින් ඒවා දකින්නවත් උනේ නෑ. උදේ හවස කොළඹ යන පුතයි ලේලියි කියන්නෙත් තාම කොළඹ කෑම කඩ එහෙම කලින් ගානට ඇවිත් නෑ කියලයි.

පොඩි කෙල්ලට හිත වැටිච්ච කෑම නැති එකට හාමිනේට හිතට අමාරුයි. ඔය එකක්වත් හදන්න දන්න ඒවා නෙවෙයි. ගමේ වෙන කෙනෙක්වත් නෑ දීල හදවන්න. ලේලිත් උදේ ගිහින් රෑ වෙලා පණ ගිහින් එන්නෙ කොයිවෙලේද ඇඳට වැටෙන්නෙ කියලා බලාගෙන.

පොඩි එකී බලන කාටුන්වල‍ තියෙන්නෙත් ඒවමනෙ. මොන දේට හරි “මොනවද පුතේ ඕන?” කිව්වොත් ඉල්ලන්නෙම ස්ට්‍රෝබෙරි, ඩෝනට්, කප් කේක්. ලැවරිය, වැලිතලප, හැලප, අලුව මාරුවට හදල දුන්නත් කන්න වැඩි ආසාවක් නෑ.

පුතායි ලේලියි බස් එකේ ගියා ආව මිසක් කෙල්ලට ඕනි ඒවා හොයන්න යෑමකට ඉඩක් නෑ. කොරෝනා නිසා කොළඹ අතන මෙතන යන්නත් බයයිනේ.

හාමිනේ කල්පනාවෙන්ම සිරිකතේ පිටු පෙරළද්දියි එක පාරට “නිවාඩු කාලෙට රස කෑම” පිටුව පෙරළුණේ. මෙන්න ඩෝනට් හදන හැටි ඒකෙ.

හාමිනේට දෙයක් ඕන වුනොත් ඔහොම මයි. ඉස්සර මහත්තයා ඉන්න කාලෙ කිව්වෙ අපේ හාමිනේට හිතූ පැතූ සම්පත් ලැබෙන පිණ තියෙනවා කියලා. කිරි රොටියක්, පැණි ආප්පයක් කන්න ආසාවක් ආවොත් කියලා හැරෙන්න හම්බෙන්නෑ ගමේ කවුරුහරි පංගුව අරගෙන ගෙට ගොඩවෙනවා.

හාමිනේ ඩෝනට් වලට ඕනෑ ජාතියි හදන විදිහයි බැලුවා. අමාරුවක් නෑනේ. සුවාරිස්ගෙ කඩෙන් කමලාවතී යවලා ගෙන්නන්න තියෙන්නේ ඊස්ට් ටිකක් විතරයි. පිටි බිත්තර ඔක්කොම ගෙදර තියෙනවා. හාමිනේගේ හිත සතුටු උනේ අදවත් කෙල්ල ඉල්ලන දෙයක් හදලා දෙන්න පුලුවන් නිසා.

———————-

ළිඳ ළඟ පැය බාගයක් විතර කෙල්ලව නාවලා, කවලා තමයි නිදි කරන්නේ. පහළ ළිඳේ වතුරට කොන්ඩෙ ඇදෙනවා. කොරෝනා එද්දි කොටට තිබ්බ කෙල්ලගෙ කොණ්ඩෙ දැන් පිට මැදට දිගයි.

හාමිනේ ඩෝනට්වලට පිටි අනලා තියලයි දවල්ට කෑම කන්න ගත්තේ. හිතාගෙන හිටියේ ඩෝනට් කිව්වම අවන් එහෙම ඕන වෙන මහ අමාරු කෑමක් කියලා. අතිරසක් කොකිසක් තරංවත් අමාරු නෑනෙ බලනකොට.

කෙල්ල පැය තුනකට විතර පස්සේ ඇහැරෙද්දි අත්තම්මා උණු උණු රත්තරං පාට ඩෝනට් පිඟානක් මේසෙ උඩ තියාගෙන හිනා වෙවී ඉන්නවා.

“ඩෝනට්!!” පැංචිගෙ කට කනේ. ඊළග දවසේ බුද්ධ පූජාවට තියන්න එකක් අයින් කරන පමාවට කෙල්ල තුන හතරකට වග කියලා ඉවරයි. පත්තරේ තිබුණ පින්තූරවල වගේ උඩ අයිසින් සැරසිලි නැති නිසා හාමිනේ කිතුල් පැණි ටිකක් උඩින් වක්කරලා දුන්නා.

——————-

“තාත්ති තාත්ති, අද අත්තම්මා ඩෝනට් හැදුවා, ඩෝනට් හැදුවා” කෙල්ල ගිහින් පුතාගෙයි ලේලිගෙයි ඇඟේ එල්ලුණේ පඩිපෙළ ගොඩවෙන්නත් කළිං. කොරෝනා නිසා ඇඟපත හෝදගෙන එනකම් ළඟට යන්න එපා කියලයි කියලත් තියෙන්නේ. කෙල්ලට අම්මලා දැක්කම ඒවා මතක නෑ.

“ආ ෂෝක් නේ චූටි” පුතාගෙ කටහඬ මහන්සි පාටයි. සතියට දවස් පහක් බස් එකේ කොළඹ ගිහින් එනවා කියන්නෙ පණක් ඉතුරු වෙනවයැ. කොම්පැනියේ බිස්නස් අඩුයි කියලා පඩිය අඩු කරපු නිසා කාර් එකේ යන්නෙ දාරාණිපාත වැස්ස දවසක විතරයි. ‍

හතට විතර එන දෙන්නා මහන්සි යන්න හොද තේකක් බීලා නවය දහය වෙලා තමයි රෑට කන්නේ. හාමිනේ තේ කෝප්ප දෙකත් එක්ක ඉතුරු ඩෝනට් හතරකුත් ගෙනිහිං තිබ්බා.

පුතා තමයි ඉස්සෙල්ලම එකක් කෑවෙ.

“කිරි අම්මා හදලා තියෙන්නේ ඩෝනට් නෙවෙයි නේ චූටි. උළුඳුයි ලුණුයි නැති උළුඳු වඩේනෙ” පුතා පොඩි කාලෙ ඉදන් විහිළු කාරයා. අප්පච්චි වගේමයි. අම්මත් ඕනි දේකට ඔට්ටු නිසා කොල්ල අම්මට නොකියන දෙයක් නෑ.

“මං ඉතිං කාල තියනවැයි ඕවගේ රහ ගුණ දැනගන්න. පත්තරේ තිබුණ රූපෙ බලාගෙන ඒ කියලා තිබුණ විදියට තමයි හැදුවේ” හාමිනේ උත්තර දුන්නෙ හිනාවෙන්මයි.

ඒ වුණාට පුතාගෙ මූණ එකපාරම වෙනස් වුණා හාමිනේට පෙනුනා. කතාව වෙනස් කරලා පන්සලේ කඨිනෙ ගැන කතාවක් පටන් ගත්තෙ ඒකයි.

—————–

සුරංග කලින්ම කාලා ඇඳට වැටුණා. මොකද්ද අම්මට කියපු මෝඩ කතාව. තමන්ටම තරහයි. මේ ගමේ ගොඩේ ඉන්න අම්මා කොහෙන් කන්නද ඕවා. පිට්සා, බර්ගර්, බුරියානි, වටලප්පන් සතිය ගානේ කෑවා, ගමේ එද්දි අම්මට සිල්ලර බඩු මිසක් ඒ වාගේ දෙයක් නිකම් රහ බලන්න වත් ගෙනත් දෙන්න මතක් උනේ නෑ කියලා හිතෙද්දි ලැජ්ජාව ඉහින් කණින් පිටවෙනවා.

අම්මා කොළඹ ගෙදර ආවමත් නාලිට විවේක ගන්න කියලා අම්මමයි ඉව්වේ. කැම්පස් යාලුවෝ ඔෆිස් යාලුවෝ ආව දවසට දාස් ගණං වියදං කරලා චයිනීස් ඩ්‍රැගන්, බර්ගර් කිං, ලෙමන් ග්‍රාස් ගියා. නැත්නම් ඕඩර් කලා.

අම්මා ආව දවසට අම්ම ගේන පොළොස්, ඇඹුල් තියල්, අච්චාරු එක්ක තව මොනව හරි හදාගත්ත මිස විශේෂයක් කරේ නෑ කවදාවත්.

ටික වෙලාවකින් කාමරේට ආව නාලිකාට තේරුණා සුරංගගෙ වෙනස.

“අප්සෙට් වෙන්න එපා අනේ. අම්ම ඕව හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයිනේ.” නාලි සුරංගගෙ උරිස්ස අත ගෑවා. ඔෆිස් එකේ යාලුවන්ගේ නැන්දම්මලා එක්ක බලද්දි සුරංගගෙ අම්මා දාහෙන් සම්පතයි. රෑට රෑ වෙලා එද්දි මූණ එල්ලගෙන නැතුව හිනා වෙලා ඉන්න එකම මදැයි.

සුරංග මේ පැත්තට හැරෙද්දි කම්මුලේ තෙත නාලිගෙ අතේ ගෑවුණා.

——————-

ඊළග දවසේ ගෙදර එනකොට සුරංගගෙ අතේ කාර්ඩ්බෝඩ් පෙට්ටියක් තිබුණා.

කෙල්ල ගිහින් අතේ එල්ලෙද්දි, “මේක කිරිඅම්මටයි චූටිටයි දෙන්නටම හොදේ” සුරංග කිව්වේ පෙට්ටිය කෙල්ලට උදුරන්න බැරිවෙන්න උස්සලා අම්ම අතේ තියන ගමන්.

පෙට්ටියෙ පියන උස්සපු හාමිනේ දැක්කෙ ඊයෙ හදපු ඩෝනට් වල හැඩේ තියෙන උඩින් අපූරු මල්කම් ලියකම් කරපු ඩෝනට් හයක්. ඒ පෙට්ටියට යටින් තද දම් පාට මල් වැටිච්ච චීත්තයකුයි ලා දම් පාට රෙද්දකුයිත් නමලා.

“ඔන්න අම්මා කාල නෑ කිව්ව කෑම කාලා බලන්න ගෙනාව’ හිනාවකින් කිව්වට සුරංගගෙ ඇස් එතකොට වේලිලා.

ඒත් “පිං සිද්ද වෙනවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි මගෙ අප්පට” කියපු හාමිනේගෙ ඇස් දෙකේ තෙතක් යන්තමට දිළිසුණා.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp