.ia l;dj
mú;%d wNhj¾Ok

ඉස්සෙල්ලම වෙනසක් තේරුණේ කොස් මුත්තම්මාට. උන්දැ තමයි උසම, ඊටත් ගෙට නැවිලා ඉන්න නිසා සිරිමෙවන්, කාන්ති ජෝඩුව ගෙයි ඇතුළේ හිමින් කියන දෙයක් උනත් මුත්තම්මට ඇහෙනවා.

“බොලල්ලා, මොකක් නමුත් අමුත්තක් තියෙනවා. පාරේ සද්දෙකුත් නෑ නෙවද වැඩිය?” උන්දැ අනිත් ගස්වලින් ඇහුවේ ජෝඩුව ගෙදර නැවතිලා දවස් එක දෙක යනකොටමයි.

මුත්තම්මා ඔය කතා කළේ සෑහෙන කාලෙකින්. දවසක් සිරිමෙවන් වඩුවෙක් එක්ක ඇවිත් මුත්තම්මාගේ ගණං මිමි කතා කළාට පස්සේ මුත්තම්මා ගොලු උනා වාගේ උනා.

“හුළඟේ එන දුං ගතියත් ටිකක් නං අඩුයි තමයි’ අත් ගසා දාන ගමන් පොල් මාමා කිව්වේ ඈත බලන ගමන්.

ළමයයි ජොඩුවයි ගෙදරම නැවතුණාට පස්සේ දවසේ මැගිලින්ගෙ තාත්තා ඇවිත් පාන්දරින්ම උන්දැව ගෙදර එක්ක ගියා.

“යන එකමයි කාරිය, මිදුලක් අතුගාන්න තේරෙන්නැති එළදෙන, බළල්ලු පහුරු ගානවා වගේ තැන් තැන් වලට කුණු ගොඩ කරනවා” ගස්සලා කිව්වේ කරපිංචා හාමිනේ. අතු ටිකක් පාත් කරලා ඉති දෙක තුනක් හෙමිහිට කඩාගෙන තියාගන්නේ නැතුව හොදි හට්ටිය ලිපේ තියලා දුවගෙන ඇවිත් කොළ ටික හූරගෙන යන නිසා කරපිංචා මැගිලින් එක්ක තරහයි.

පැත්තක ඉදපු නෙල්ලියා හිකි හිකි ගාලා හිනා උනා.

“ඇත්තෙන් මුං කොහොම ඔය ගෑනි උයන ඒවා කෑවද හැබෑට. මූණක් කටක්වත් හරියට හෝදනවද දන්නෑ”

——-

“කොර උනා, කොර උනා කියලා කියනවා නම් ඇහුනා ගෙවල් පැත්තේ” ඒ කිව්වේ පැපොල්. වහලෙටත් එහාට නැමිලා ඉන්නවනේ. ඉතිං කියන ඒවා ඇහෙනවා.

“අප්පච්චියේ මහ තැනද දන්නෑ, කොරවෙලා තියෙන්නේ, අනේ අපූරු මනුස්සයා” පොල් මාමා කිව්වේ ඇත්තටම සෝකෙන්.

මහතැන කිව්වේ සිරිමෙවන්ගේ අප්පච්චිට. අපරාදෙ කියන්න බෑ උන්දැ ආවම මිදුල හොඳට අතුගාලා, වැඩිපුර තියෙන අතු කපලා පෝර ටිකක් හොයලා දාලා ගස් ටිකට සාත්තුවක් කරනවා.

“නෑ බොල, එහෙමනම් කලබලෙන් පිටත් වෙනවනේ. දැන් දවස් ගානකිං කාර් පෙට්ටිය එළියට බැස්සුවේ නෑ”

ඒ කිව්වෙත් මුත්තම්මා. වයස උනාට හරි කල්පනාව හැම දේම ගැන.

——

ටික දවසක් යද්දියි ගෙදර කට්ටිය ගෙදරටම කොටු වෙලා කියලා ගස් ගොල්ලට තේරුණේ.

කඩේ යෑමක්, පන්ති යෑමක් නෑ.

“අනේ පිංචියා ඇද බදාගෙන බුදියගෙන ඉන්න තාලෙ. දුකේ බෑ. එළිය වැටෙනකම් බුදියගන්නවමද කොහෙද කොල්ලා” පැපොල් කිව්වේ වා කවුළු අස්සෙන් දිමුතුගේ කාමරේට එබෙන ගමන්. ඉස්කෝලයි පන්තියි නැති නිසා දිමුතුට දැන් ටිකක් දවල් වෙනකම් නිදාගන්න හම්බෙනවා. නැගිට්ට වෙලේ ඉඳන් කපුටා වගේ මොන මොනවා හරි කන්න හොයන නිසා කොල්ලා ටිකක් නිදාගන්න තරමට කාන්තිත් කැමතියි. කඩවල් වහල නිසා කඩචෝරු කිසි දෙයක් නෑ. තියෙන පාන් පිටි සීනි ටිකත් පරිස්සම් කරගන්න ඕන.

——

මැගිලින් යවපු දවසේ උදේම කාන්ති මිදුල අතුගාන්න පටන් ගත්තා.

දැන් ඉතිං කොස් පොල්වල පිහිට තමයි. කාන්ති වට පිට බල බලමයි අතුගෑවේ. කවද ඇඳිරි නීතිය අයින් කරයිද දන්නෑ. එළවළු, මාලුවත් විස්වාස නෑ ඉස්සරහට. දෙන්නට කොහොම වෙතත් කොල්ලාගෙ බඩ පුරවන්න එපැයි.

‘ඉස්සර බිමට එනකම් ගෙඩි තිබිච්ච කොස් ගහ, දැන් එක ගෙඩියක්වත් පේන්න නෑනේ සිරී” කාන්ති කිව්වේ මිදුල පැත්තක උදලු ගගා හිටපු සිරිමෙවන්ට.

“මේකිට දැන් තමා ගෙඩි බලන්න හිතිලා තියෙන්නේ. වෙනදට කහ පාට වෙලා තියෙන කොළ ටිකත් හෙට හැළෙයි කියලා බැන බැනමයි මා දිහා බලන්නේ” කොස් මුත්තම්මාට හිතුනා. උන්දෑ දරුවෝ හැදුවේ නැත්තේ හිතලමයි.“කවුරුවත් කටේ වත් තියන්නේ නැතුව බිම දොක්කං වෙලා කුණු වෙන්න දරුවෝ හදන්න ඕනෑයි. “දැන් තමයි කොස් කන්න හිතිලා තියෙන්නේ.”

“පොල් නං ඇතිවෙයි කාලෙකට, ඒකත් ලොකු දෙයක් නේ. සම්බෝලයි බතුයි හරි කෑවහැකි.”

“බබාට තමයි. සොසේජස්, චීස්, යෝගට්, චොක්ලට් මුකුත් නැති වෙන්නේ.”

“තව කවපං පොඩි එකාට වහ” කොස් මුත්තම්මා හිතනවා. “හැමදාම ගහ යට පුච්චන කුණු ගොඩේ තියෙන්නේ සොසේජස් පැකට්, අයිස් ක්‍රීම් කොළ, චොකලට් කොළ. එව්වා කාලා තමයි කොල්ලගේ ඇට කටු ටිකත් පෑදිලා තියෙන්නේ. කොස් පොළොස් ටිකක් එකක් බත් කටක් කැව්වා නම් ඇඟ පිරිලා එනවා”

——-

මහ ජෝඩුව මිදුල පිළිවෙළක් කරලා ගියාට පස්සේ ගස් ටික එක විඩේට කතාකරන්න ගත්තා.

“මොකක් නමුත් සාගතයක් එනවා ඇති. කොස් පොල් කන්න කතා උනේ”

“අපිට ඇහුණා වැරදියි. කොර උනා නෙවෙයි. කොරෝනා කියලා වසංගතයක් ගැන නෙවද කතා උනේ?”

“අප්පේ ඉක්මන් කරලා දරුවෝ දෙතුන් දෙනෙක් හදපං මුත්තම්මේ. පිංචියා බඩගින්නේ තිව්වැහැකෑ අපිට.” ඒ කිව්වේ දෙල් අත්තා. උන්දැ පොඩි දරුවන්ට හරි මනාපයි. දිමුතු මිදුලට බැස්ස ගමන් බලන්න ඕනි දෙල් අත්තා හුළඟෙ කැරකි කැරකි නටන නැටුම.

“දෙල් ගහ වැනෙනවා, ගෙටමයි එන්නේ. තාත්තිට මතක් කරන්න ඕන ඇඳලා බන්දන්න බැරිනම් කප්පලා හරි දාන්න කියලා” කාන්ති නෝනා දිමුතුට කියනවා ඇහුණම තමයි නැටිල්ල ටිකක් සැර බාල වෙන්නේ.

“මට ඕනි නම් කොළ ගානට දරුවෝ හදන්න පුලුවන් බොල. උඹලා දැක්කද කාන්ති නෝනා පොල් අත්තේ රටාව හිටින්න මිදුල අතුගාපු ලස්සන? ඔච්චර සුරුවමට වැඩ කරගන්න පුලුවන් එකේ මොකට වැඩකාරියන්ට සල්ලි පුදනවද මම දන්නෑ” ඒ මුත්තම්මා.

‘නෝනලා කන්තෝරු ගිහින් එනකං පිංචියා බලාගන්න කෙනෙක් නැතුවටනේ ඔය වැඩියම”

“ඒකත් හැබෑව. දැන් ඉතිං උන්දැලා වවාගෙන කන්න පටන් ගන්නවා නං අපිට තියෙන්නේ පුලුවන් තරං ඒකට උදව් දෙන එකයි. පුලුවන් තරං රහ ගුණ වැඩි වෙන්න දරුවෝ හද හද දීපල්ලා. උඹලා කොළ ටික බිම දාපල්ලා හුළං එන වෙලාවට ගිහින් අර පැත්තේ කුණු ගොඩට වැටිලා පෝර වෙන්න. අතුගාපු මිදුලේ කොළයක්වත් නොවට්ටා තිබුබොත් කාන්ති නෝනටයි ලේසිය.”

මුත්තම්මා දන්නවා මැගිලිනුත් නැතුව ගෙදර සුමේ කරන්න කාන්ති නෝනට අමාරු විත්තිය.

‘අනේ කාමරංගා, රඹුටන්, නමිනං දරුවෝ හදද්දි පිංචියාට කඩාගන්න පුලුවන් උසින් හදහල්ලා. කොයිතරම් ආසද දරුවෙක් ඇවිද ඇවිද ගෙඩි කඩන් කනවා බලන්න”

“ඒක නේන්නං, මගේ දරුවෝ රතට රතේ බිමට වැටිලා කුණු වෙනකොට පිංචියාට එක එක වස කුඩු ගෙනත් දිය කර කර පොවනවනේ හැබෑට ටෑං, හැලිබොරේන්ජ් කිය කිය’ කුස්සියේ ජනේලෙන් වෙන හැම දේම බලාගෙන ඉන්න පැපොල් මලයා දන්නවා ඔක්කොම විස්තර.

“කවුරුත් ‍එහෙමනම් උදව් වෙයල්ලා. තුන් දෙනාම බඩගින්නේ නොතියන්න අපි බලාගන්න ඕන. මහත්තයා මිදුලට ආව වෙලාවට කොළ හොළවලා හොදට පවන් ගහපල්ලා, කොයි තරම් හිතේ ගින්දරෙන්ද ඇත්තේ හැබෑට දරු පවුල ගැන. අනේ අපේ කඳ මුල් පණ තියෙනකං තුන්දෙනාටම බඩගින්නෙ ඉන්න දෙන්නෑ කියන ටික කියලා හිතේ බය අඩුකරන්නවත් හැටියක් නැති හැටි”

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp