fldfrdkd fmu
rejka;s fjf,a.u

සිව් වසරක් නිමාවීමට ආසන්න දින කීපය… සතුට, වේදනාව, ජයග‍්‍රහණය, මෙතැන් පසු ජීවිතය ගෙන යා යුත්තේ කෙසේද? සිනමාපටයක සේයාරුවක් මෙන් පුරා සිව්වසර මැවි මැවී පෙනෙන්නට විය. අප්පච්චිගෙ අතේ එල්ලීගෙන ගමන් මල්ලත් රැගෙන නුවරට ඇවිත් මහකන්ද බස් එකේ කෙමෙන් කෙමෙන් රොබරෝසිය මල් අත වනන ගලහා හන්දිය පහු කරමින් විශ්වවිද්‍යාලයට පැමිණි පළමු දවස…  එතැන් සිට පුරා වසර හතරක් මිතුරු මිතුරියන් සමග ගතකළ යථාර්තයක් වූ සුන්දර හන්තාන සිහිනය… නැටුම්, ගැයුම්, වැයුම්, රැඟුම්, සතුට, සිනහව, විනෝදය, බාධක,  ජයග‍්‍රහණ, මේ සියල්ල ම මතකයට නැගුනි. ඇත්තටම අවුරුදු හතරම ගෙවුණ ද මේ තරම් ඉක්මනට හිත විමසන්නට විය. ඔව්! අපේ කාලය අවසන් පාරාදීසයක ගෙවුනු සුන්දර මතකයන් අප උප සංස්කෘතියෙන් මිදී මහා සංස්කෘතියට යාමට නියමිතයි. මතකයන් අතීතයට භාරකොට අනාගතය අලූත් පරපුරට දායාද කොට.

 

“ඒ බං නැගිටපං ඔන්න අදින් පස්සේ අපි නිදහස් ඉක්මන් කරපන්!

උඹ නැගිටලා ද නැත්නම් තාම හීන බලනවද

අදම මේ ඔක්කොම අස් කරගෙන ගෙදර යන්න බෑනෙ බං ටේ‍්‍රනින් එක අදින් ඉවරයි!

වෝර්ඞ්න් මැඩම්ට කියලා යමු අදින් පස්සේ තව දවස් දෙකකින් විතර ඇවිත් බඩු ටික අරන් යන්නම් කියල

ලියුමක් ලියල බාරදීලා යමු.”

 

ඇය නේවාසිකාගාරයේ මාත් සමග එකම කාමරයේ සිටි අනෙක් යෙහෙළිය, මගේ රූමි… ඇගේ කෑ ගැසීමෙන් පසුව නාන කාමරයට ගියෙමි. සාරියෙන් ලෑස්ති වී අනෙකුත් සගයන් ගේ කාමර වලට ඇසෙන ලෙස විශ්වවිද්‍යාලයට අදාල වූ ඔවුන්ගේ කාඞ් නාමයෙන් අමතා පහළට බැස ගියෙමු. නේවාසිකාගාර ආපනශාලාවෙන් උදේ ආහාරය රැගෙන බසයක් එනතුරු සගයින් සමග පාරට ගියෙමු.

 

“අද සාරි අඳින අවසාන දවස නේ? වරෙන් ෆොටෝස් ටිකක් ගන්න…” එක් මිතුරියක් කීවාය.

 

ඉල්ලීමෙන් පසු සියල්ලම නොයෙක් අයුරින් සෙල්ෆි ගන්නට විය. ප‍්‍රධාන දොරටුවක් නැති එකම විශ්ව විද්‍යාලය මෙයයි. ගලහ මාවත මෙන්ම උඩ පේරාදෙණිය මාවත දෙපස ඇත්තේ විශ්වවිද්‍යාල භූමියයි. කැම්පස් එක මැදින් ප‍්‍රධාන මාර්ගය පිහිටා තිබූ බැවින් මාර්ගයේ ගමන් කරන්නවුන්ටද අපව දර්ශනය විය. ක‍්‍රමයෙන් බසයක් අල්විස් පොකුණ ලඟින් එනු පෙනිණ. විජේවර්ධන ශාලාව ඉදිරියෙන් බසයට නැගගත් අපි සියලූ දෙනා ගලහ හංදියට ළඟා වීමු. හිතට මහා දුකක් පාලූවක් දැනී නෙතු අග කඳුළු බිඳු දැවටෙන්නට විය. වෙනදා මෙන් මිතුරු මිතුරියන් ගේ කටහඩ එලෙස ඇසෙනු නැත.

එකිනෙකා පුහුණුවට යොදා තිබුණේ විශ්වවිද්‍යාලය අසල වූ පාසල් කිහිපයකට පමණි.  එක් පාසලකට දෙතුන් දෙනා බැගින් විය සීමාවාසික පුහුණුවේ අවසන් දිනය අද විය. අදාල වූ පාසල් අසලින් මිතුරියන් බැසගන්නට විය.

 

“ස්වර්ණමාලි එක ලගින් බහිනවා”

 

අවසානයේ අපි කීපදෙනා බසයෙන් බැස ගතිමු.

ලහි ලහියේ පාසල වෙත පිය නැගූ පසු අදාළ පන්ති කාමරය වෙත පියමං කළෙමු. පළමු සීනුවෙන් පසු අදාල ශිෂ්‍යාවන් නාට්‍ය හා රංග කලා කාමරය වෙත පැමිණියහ. වෙනදා මෙන්ම ඔවුන් ආයුබෝවන් කියා ගුරුවරුන්ට වන්දනා කර සුපුරුදු ලෙස අදාල පාඩමට සූදානම් විය. මේ පුංචි මල් කැකුළු වලට ශිල්ප ලබා දෙන අවසන් දවස… හිතට මහා දුකක් ඇති විය.

 

“ටීචර් හෙටත් එනවද? ටීචර් හැමදාම අපිට උගන්නනවද?”

 

ඔවුනගේ කෙළිලොල් වදන් දෝංකාර දෙන්නට විය. ඔවුන් සමග එදින කාලය නිමා විය. ඉන් පසුව අදාළ ගුරු මෑණියන් ගෙන් ආශීර්වාද ලබාගෙන අප කණ්ඩායම ද පිටත් වන්නට විය. පාසල් වේලාවෙන් පසු අපි අසල තිබූ සාප්පු කිහිපයක් වෙත ගියෙමු. ඉන් අනතුරුව එකිනෙකා සමුගෙන නිවෙස් කරා පිය මැන්නෙමු.

කුරුණෑගල නුවර බසයට නැගගත් වහාම සිව් වසරටම සෙනෙහසින් ශක්තියක් වූ ඔහුට ඇමතුමක් ලබා ගතිමි. ඔබ ඇමතූ දුරකථනය කාර්යබහුලයි. කරුණාකර මද වේලාවකට පසු නැවත අමතන්න.  ටික මොහොතකින් නැවතත් දුරකථන ඇමතුමක් ගතිමි. ඔහුගේ කටහඬ අවදි විය.

 

“කොහෙද ඉන්නේ මැණික?”

 

හිත සතුටින් පිරී යන්නට විය. පාසල් කාලයේ දුරකතනයේ එල්ලී සිටීමට ඉඩක් නොමැත. එබැවින් පුහුණු කාලයේ ඔහු සමග කතා කිරීමට හැකි වූයේ උදේ සහ සවස් කාලයේ පමණි.

“අදින් ට්‍රේනින් ඉවරයි. මේකේ ලකුණු ටික කැම්පස් එකට බාර දෙන්න ඕනේ. ඒකත් බාරදීලා ඊළඟ දවසේ හොස්ටල් එකේ තියෙන බඩු ටිකත් අරන් එන්න ඕන.හොඳටම මහන්සි දැන් ඉන්නෙ කටුගස්තොට ට‍්‍රැෆික් එකේ. හරිම මහන්සි! මම ගෙදර ගිහිල්ලා ම කතා කරන්නම්.”

 

ඔහුගේ ඇමතුමට සමුදී ටික වෙලාවක් බසයේ නිදන්නට වීමි. ඉන් අනතුරුව ගෙවල් ආසන්නයට බසය සේන්දු වූ පසු නිවස වෙත පැමිණියෙමි. ලොකු නිදහසක් දැනුනි. ඇත්තටම අම්මා වගේ ටීච කෙනෙක් වෙන්න ලැබෙයිද? කාලයම එය තීරණය කරයි. මදක් ගිමන් හැර ඇඳට වී ඔහුට ඇමතුමක් ලබා ගතිමි. දවසේ විස්තර ඔහු සමග බෙදා ගතිමි.

පසු දින උදාවිය. නැවත විශ්ව විද්‍යාලය වෙත ගොස් අප දෙපාර්තමේන්තුවට ලකුණු සහිත ලියුම් කවරෙ ලබාදී නේවාසිකාගාරයේ තිබූ අනෙකුත් බඩු බාහිර ආදිය සියල්ල රැගෙන නිවස වෙත පිටත් වීමි. ටික දිනකට පසු රූපවාහිනි ප‍්‍රවෘත්තියක් විය. කෝවිඩ් 19 කොරෝනා වසංගතය මේ හේතුවෙන් සියලූම පාසල් වැසෙන බවත් සඳහන් වියලොව බිහිසුණු වසංගතය සීඝ‍්‍රයෙන් විවිධ පුවත් පැතිරෙන්නට විය.

ඒ අතර ඔහු කියා සිටියේ ඔහුගේ විශ්වවිද්‍යාලයෙන් අනුයුක්ත කළ පුහුණුවක් සඳහා යන බවය. දිනෙන් දින මොහොතින් මොහොත දුරස් බව දැනෙන්නට විය. වෛරසය පිළිබඳ දිනෙන් දින පුවත් මැවෙන්නට විය. ලොවපුරා මරණ සීඝ‍්‍රයෙන් පැතිරෙන්නට විය. ලෝක විනාශය ද එලෙස සිතුණ වාර අනන්ත ය. ලෝක විනාශ වීමේ කාලය ඇවිත් හීන යථාර්ථයක් වන කාලය ඈතට යනු ඇත. මට මගෙම ලෝකයද නැති උනොත් සිතුණ වාර අනන්තය. දිනෙන් දින ඔහු මගෙන් දුරස් වන බව වැටහිණි. දින කීපයකට පසු නිතර ඔහුගේ දුරකථනය කාර්යබහුල විය. කෙටි පණිවුඩ දුටුවද පිළිතුරු නොදේ. ගණනකට නොගන්නා මාගේ ඇමතුම්…

 

“ඇත්තටම මේක හීනයක්ද? මොකක්ද මේ වෙලා තියෙන්නේ?” මම කීවෙමි

 

ඔහු කතා කරන්නට විය. ඔහුගේ හඬින් හදවත ගැස්සිනි.

 

“ඔව්! මම ඔයාට කියන්න හිටියේ… ඔයාට දරාගන්න බැරි වෙයි කියලා මම නොකිය හිටියා. ඒකට මට කැමති දඬුවමක් දෙන්න! මට සමාවෙන්න සැවු!” ඔහු කීවේ ය.

 

“මොනවද ඔයා මේ කියන්න හදන්නේ?” මම ඇසීමි.

“මොන වගේ දෙයක්ද ඔයා මේ කියවන්නේ?”

 

“ඔව්!… ඔව්!… ඔයා ටිකක් තේරුම් ගන්න. හිත හදාගන්න බලන්න.මට වෙන සම්බන්ධයක් තියෙනවා. දැන් ටික කාලයක් වෙනවා.ඔයාට කිව්වේ නැත්තේ ට්‍රේනින්එකේ හිටිය නිසා.ඉතින් ඒ දවස් වල කිව්වා නම් ඔයා කොහොමත් අවුල් වෙනවා. ඒ නිසා මම නොකියා හිටියේ. ඒත් මම දැන් මේ හැම දෙයක්ම කියන්නම්. සැව්, මට සමාවෙන්න!”

 

ඔහු සියල්ල කියන්නට විය. මුළු ලෝකයක් හා ගැටෙන්නට විය. සිව්වසරක් පුරාවටම දරාගත නොහැකි සෙනෙහසක් රැකවරණයක් ශක්තියක් වුණු නැටුම්, ගැයුම්, වැයුම්, වලට දිරි දුන් ඔහු අද වෙනත් කෙනෙකුගේ ළඟ. මාසයක් පුරා කඳුළු කැට දෝරේ ගලන්නට විය. මා සිත සනසා ගතිමි.

 

“ආදරය යනු අතින් අල්ලා නවත්වන්නට බැරි දෙයක්! හිත හදාගෙන ඉස්සරහට යන්න… සැව් ජයවේවා!”ඔහුගේ අවසන් කෙටි පණිවිඩය විය.

 

ඔව්! ඇත්ත!… ලැබීම්, නොලැබීම් මේ හැම දෙයක්ම වෙන්නේ අපිට. සිව්වසරක සෙනෙහස් කතාව එසේ නිමා විය. සියලූම මතකයන් හන්තාන අහසට සිතින් විසි කළෙමි. ඔහු වෙනුවෙන් පුවත්පතකට ලියැවුණු කවි පෙළකි.

 

සිව් වසක පෙම හදින් උදුරා – ජපුරාහසේ සිරකළ ද නුබ

නුවර අහසත් හිඳිනු බැරිතැන – හඬා වැටුණේ කඳුළු සඟවා

දිගු නිවාඩුව මටත් හොරැහින් – නුඹේ සෙනෙහස උතුර ගත් කල

කුමක් නම් මා කරන්නද සඳ – ඇයයි නුඹ ගේසිහින ලෝකය

ඇඳිරිනීතිය නොමැති හදවත –  දිවා රෑ ඇය වෙතට යන කළ

මහට මිතුරිය වෙන්නේ කියූ විට –  කඩා වැටුණේ මගේ හදවත

 

ඔහු පෙර කී වදන් සැණින් මතක් විය

 

“මැණික ඔයා නළු නිළියන්ට ආදරෙයි නේ… ඒත් එයාලා ඔයාව අඳුරන්නෙවත් නෑ. සැබෑ ජීවිතේ ඒ අය ඔහොම නෑ. අපේ සැබෑ වීරයෝ එයාලා නෙමෙයි. අපි ඇත්තටම ආදරේ කරන්න  ඕන අපිට ඇත්තටම උදව් කරන අයට. බලන්න කැම්පස් එකේ අපි වෙනුවෙන් ව වැඩ කරන අය. අනධ්‍යන කාර්ය මණ්ඩලය මොනතරම් මහන්සි වෙනවද? මල් තණකොළ හදල ලස්සන කරන්න… තවත් දෙයක් සැව්… අපි මොන තරම් 1st class ගත්තත් වැඩක් නෑ… මනුස්සකමට ක්ලාස් එකක් ගත්තේ නැත්නම්. අපි කැම්පස් අවුට් වෙලා ගිහින් අපි ගත්තු දැනුම අපේ ගමේ පොඩි අයට දෙන්න ඕනි.ඔයාට ඒක කොහොමත් කරන්න පුළුවන්!”

 

ඔව්! මම ඒකත් පටන් ගත්තා. දන්න කියන හැමෝටම නොමිලේ පන්ති කළා. කැම්පස් යන්න පාස් වෙන්න උදව් කළා. ඇත්තටම නිහතමානීව සතුටු වෙන්න පුළුවන් ඔහු මගෙන් වෙන් වුවත් තනියම මම මගේ ගමන හදාගත්ත. නැටුමෙන්, ගැයුමෙන්, වැයුමෙන් ඉදිරියටම යන්න උනන්දු වුණා. නොගැලපීම් ගැළපීම් කරගන්න බැරි බව ඔහුම තේරුම් කළා. ස්තුතියි කොරෝනා! ආදරණීය හදවත් එකතු වුණු නොගැලපෙන හදවත් ඈත් වුණු කාල පරිච්ඡේදය…

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp