wd,jka;sh
fidkd,s rKisxy

ලොකු පුංචි ඕනෙම කතාවකට ආරම්භයක් තියෙනවා. ඉතිං අකිලගෙ කතාව පටන් ගත්තෙ එහෙම. අකිල කියන්නෙ දගකාර කොල්ලෙක්. එයාට හිත ගියේ මනීශට. මනීශගෙ හිත දිනාගන්න අකිල නොකරපු දෙයක් නැති තරම්. අන්තිමට අකිලගෙ උත්සාහය සාර්ථක වුනා. අකිල දිනුවා. ඔව් මනීශා කැමති වුනා. මනීශා වෙනුවෙන් අකිලට ලංකාවෙන් භාගයක් දුර යන්නත් වුනා. ඔව් අකිලට මනීශා හොයාගෙන බදුල්ලටම යන්න වුනා. ඉතිං මනීශගෙ හිතත් අරගෙන එදා අකිල බදුල්ලෙම නැවතුනා.

ඒක පුංචි හෝටලයක්. ඈතින් පුංචි දියඇල්ලක් පේනවා. ඉර පායනකොට ඒ පැත්තම ලස්සනයි. අහස රෝස පාට වෙලා. අකිලගෙ හිත ඉබේටම දිව්වෙ ඉස්සරම මතකෙකට, “රෝස කම්මුල් තියෙන ලස්සන කෙල්ල මගේ” අකිල එයාට කිව්වෙ එහෙම ඇත්තටම එයා රෝස මලක් වගේ ලස්සනයි මූණටත් වඩා හිත ලස්සනයි. ඒ සිතාරා, අකිලගෙ කලින් ගෑණු ලමයා.

අකිලට කෙල්ලන්ගෙන් කවදාවත් අඩුවක් තිබ්බෙ නෑ. යන යන තැන කෙල්ලො හිටියා. එක තැනක හිත තිබ්බෙත් නෑ. ඒත් සිතාරා විශේෂයි. ලස්සනටත් වඩා අමුතු ජීවයක් තිබුණා ඒ කෙල්ල ලග.

“පිරිමියෙක්ට පුලුවන් මල් ඇට ටිකක් ගෙනත් දෙන්න. ඒත් ගෑණියෙක්ගෙ ආදරේකට විතරයි ඒවයින් මල් වත්තක් හදලා දෙන්න පුලුවන්”

සිතාරා හැමදාම කිව්වෙ එහෙම. ඒක ඇත්ත. සිතාරා අකිලගෙ හිතම මල් වත්තක් කරා. ආදරේ, ගෞරවය විතරක් නෙවෙයි අම්ම කෙනෙක්ගෙ වගේ සෙනෙහසකුත් දුන්නා. ඒක තමයි පිරිමියෙක් ලබන්න පුලුවන් වාසනාවන්තම ආදරය. හැමෝම කිව්වෙ සිතාරා තරම් ආදරේ කරන කෙල්ලෙක් කවදාවත් ආයෙ ලැබෙන්නෙ නෑ කියලා. හොදටම බීව්ව දවසක පහුවදා උදේ නැගිටගන්න බැරි තරම් අමාරු වෙද්දී, “අනේ මැණිකෙ මට අමාරුයි වමනෙ යනවා” කියද්දි, සිතාරා එක හුස්මට බෝඩිමට දුවගෙන ආවා. දෙහි හදාගෙන, අසමෝදගම් අරගෙන කන්න පුලුවන් වෙයි කියලා හිතෙන හැමදේම අරගෙන කඩාගෙන බිදගෙන ඇවිල්ල, වමනෙ දානකන්ම පිටත් අතගෑවා. වචනෙකින්වත් සිතාරා බැන්නෙ නෑ. හොද වුනාට පස්සෙ කිව්වෙ එකම එක දෙයයි.

“මහත්තයා ඔයා බිව්වට කමක් නෑ. ඒත් ලිමිට් එක දැනගෙන බොන්නකෝ. මම අද ඉන්නවා ඔයාව බලාගන්න ඒත් මං නැති දවසක් ආවොත්”

සිතාරා ගොඩක් දේවල් අකිලගෙ ජීවිතේට එකතු කරා. අපිලිවෙල ජීවිතයක් පිලිවෙල උනේ ඒ ආදරෙන්.

කාලයක් ගෙවුනා, කෝවිඩ් කියන වසංගතය හැම හිතක්ම වැට්ටුව. සිතාරගෙ හැමදේම නැතිවුනා. ඉගෙනීම විතරක් නෙවෙයි පවුලෙ බර ඇදපු ආදරණීය තාත්ත පවා කෝවිඩ් මාරයා සිතාරගෙන් උදුර ගත්තා. සිතාරා අසනීප වෙන්න පටන් ගත්තා. මොන ප්‍රශ්නයක් උනත් ගහක් ගලක් වගේ හයිය කෙල්ල ටික ටික මලානික වුනා. ලස්සන හිනාව රෝස කම්මුල් දිය වෙලා ගියා. බලන් ඉද්දිම සිතාරා වෙනස් උනා. කෑම කන එක අඩු උනා. නිතරම ඇඩුවා. සිතාරට විශාදය හැදුනා. ඔව් පිළිකාවකටත් වඩා භයානකම ලෙඩක්. සිතාරට හැමෝම පිස්සියක් කියන්න පටන් ගත්තා. අකිලට සිතාරගෙ මේ වෙනස දරාගන්න බැරි වුනා. එයා දන්න සිතාරා නෙවෙයි ඒ. යකෙක්ටවත් බය නැති කෙල්ල ඇදක් උඩට වෙලා වකුටු වෙලා අඩන්නෙ කොහොමද.

“ඕක මහ කරුමයක් බං අතෑරපං රෙද්ද ඔහොම කෙල්ලෙක් මොකටද බං. මං උඹට ලස්සන කෙල්ලෙක් සෙට් කරලා දෙන්නං” අකිලගෙ හොදම යාලුවා ධනංජය එහෙම කියනකොට අකිල හිටියෙ කලකිරීමෙ අන්තිම සීමාවෙ.

“මං ඒකිව අතාරිනව බං, අම්මල කැමති නෑ දැන් කියනවා”

“එතකොට අම්මලට මොකද්ද උබ කියන්නෙ සිතාරා ගැන?” ධනංජය එහෙම අහනකොට අකිල දුන්නෙ අහස පොලව උහුල්ලනෙ නැති උත්තරයක්.

“ඒකි වෙන කොල්ලෙක් එක්ක ගිහින් මාට්ටු උනා කියනවා බං”

ඒ විදියට හැමදේම ඉවර උනා. අන්තිමටම සිතාරට කෝල් කරපු දවසෙ සිතාරා කිව්වෙ එකම එක දෙයයි.

“ඔයා දන්නව මට ඔයා නැතුව බෑ කියලා මහත්තයෝ.”

“මං මොන ලෝකෙ හිටියත් ඔයාව හොයාගෙන එනවා”

අකිලට සිතාරා ගැන ලැබුණ අන්තිම ආරංචිය සිතාරා මානසික රෝහලකට ඇතුලත් කරා කියලා විතරයි.

“ඒකි උබවම ඉල්ලලා අඩනවා බං තාම, පව් හැබැයි” සිතාරා බලන්න ගිහින් ආපු යාලුවෙක් දවසක් පාරෙදි හම්බවෙලා අකිලට එහෙම කියනකොට අකිලගෙ හිත ගැස්සිලා ගියත් කාලෙත් එක්ක සිතාරව අමතක වුනා. අකිලට විතරක් නෙවෙයි හැමෝටම එයා පිස්සු හැදුනා සිතාරා විතරක් වුනා.

දවස් සති වෙද්දි සති මාස වෙද්දි මනීශගෙත් අකිලගෙත් ආදරේ ලස්සනට ගලාගෙන ගියා. ඒත් අමුතු හිස් ඉඩක් ඒ හැම මොහොතකම තිබ්බා.

“ඔයා ආස අයිස් ක්‍රීම් එක කියන්නකො මැණික” අකිල මනීශගෙන් ඇහුවෙ දවසක් ෆුඩ් සිටි එකේදි

“චොක්ලට්, මනීශා පෙන්නුවෙ ගනන් වැඩිම අයිස් ක්‍රීම් එකක්”

සිතාරා එතන හිටිය නම්, අකිලට තප්පරේකට හිතුනා. අකිලගේ පර්ස් එකේ තියෙන ගාන අනුව ඒක වෙනස් වෙනවා. සිතාරා දන්නව අකිලට අමාරු දවස්. එදාට අහිංසක විදියට සිතාරා ඉල්ලුවෙ රුපියල් විස්සෙ පොඩි අයිස් පලම් එකක්. ඒත් සිතාරා ආසම බ්ලූබෙරි අයිස් ක්‍රීම් එකට. කොහෙ ගියත් ඒකට බැල්ම දානවමයි ඉතිං.

කාලෙත් එක්ක සිතාරාගෙත් මනීශාගෙත් ලොකු වෙනසක් අකිලට පේන්න ගත්ත. මනීශා එයා ගැනම වැඩියෙන් හිතද්දි, සිතාර අකිල වෙනුවෙන් කරපු කැපකිරීම් වල අඩුව අකිලට දැනුනා. ඒත් අකිල මනීශට මහ ගොඩක් ආදරේ කරා. මනීශා මත්තෙම නැහුනා. ඒ එක්කම අකිලගෙ බිස්නස් එන්න එන්නම වැටෙන්න පටන් ගත්තා. අකිලගෙ ඔලුව අවුල් වුනා. කාගෙන්වත් උදව්වක් ලැබුනෙ නෑ. මනීශත් ටික ටික වෙනස් උනා. කතා කරන එක අඩු උනා. ඇයි කෝල් කරන්නැත්තෙ අහන හැම පාරකම මොකක් හරි හේතුවක් කිව්වා. වැඩ කිව්වා. අකිල හැමදේම දරාගත්තා. ඒත් එක මූසල රෑක මනීශාගෙ ඒ අන්තිම කෝල් එක ආවා.

” මට මේක නවත්තන්න ඕනෙ අකිල. ඔයා දැන් වෙනස්. මට මේක ඇති වෙලා”

අකිලගෙ මුලු ලෝකයක් එක රෑකදි කඩන් වැටුනා. ජීවිතේ පතුලටම වැටුනට පස්සෙ ආයෙ වැටෙන්න තැනක් නෑ. අකිල ඇඩුවෙ නෑ ඒත් පියවි සිහිය ආවෙ සතියකට පස්සෙ මානසික වාට්ටුවෙ ඇදක් උඩ.

එදා හවස වාට්ටුවෙ කොරිඩෝවෙ අකිල ඇවිද ඇවිද හිටියා. අනිත් වාට්ටු වලට වඩා මානසික රෝග වාට්ටුව හරිම වෙනස්. මහ ලොකු නීති නම් නෑ. ඩොක්ටර්ස්ල න‍ර්ස්ල උනත් හරිම කරුණාවන්තයි. ඒක හරියට ලොකු මිනිස්සු ඉන්න පුංචි මොන්ටිසෝරියක් වගේ. හැබැයි තනි අපායක්. හිත් වල ගිනි ඇවිලිච්ච මිනිස්සු හැමතැනම. ඔහේ කල්පනා කර කර ඇවිද්ද අකිලට හුරුපුරුදු මූණක් පෙනුනා.

“සිතාරා!”

ඔව් ඒ සිතාරා, මේ තැන සිතාරගෙ අන්තිම ලස්සන බින්දුවත් උරාගෙන තිබ්බ. ඒක දැන් අවසිහියෙන් ඇවිදින රූපයක් විතරයි. අකිල හීනෙකින් වගේ සිතාරා ලගට ඇවිදගෙන ගියා. ඒ හීනි අතකින් අල්ලගනිද්දි සිතාරා ඔලුවත් කහන ගමන් අකිල දිහා ඔහේ බලාගෙන හිටියෙ කිසිම හැගීමක් නැතුව.

“සිතාරා මාව මතකද? මම අකිල”

“අනේ මට සමාවෙන්න දෙයියො ඔයාට මෙහෙම වෙලා ඇති කියලා හිතුවෙ නෑ. ඔයාට හොද වෙයි කියලා මම හිතුවෙ. මට සමාවෙන්න රත්තරනේ ඔයාට දුන්න දුකට” අකිල සිතාරගෙ අත් දෙකම ඉම්බා.

අකිල වෙච්ච හැමදේම සිතාරට කිව්වා. පැය ගානක් ගෙවුනා. මනීශා ගැන, බිස්නස් එක ගැන හැමදේම කිව්වා. පුලුවන් තරම් ඇඩුවා. සිතාරා ඔහේ බලන් හිටියා විතරමයි. ටිකක් වෙලා බලන් හිටපු සිතාරා පොඩි දරුවෙක්ගෙ පිටට තට්ටු කරනව වගේ අකිලගෙ පිටට තට්ටු කරන ගමන් සිංදුවක පොඩි කෑල්ලක් මිමිණුවා.

“රන්කද සේම පින්සර මාගෙ ඇතු නිදන

රන්මල් යාන හීනෙන් දකින පින පමණ

තුන්පත් රෑන වෙයිදෝ කෝම අප දෙදෙන

රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන”

ඒක…ඒක…සිතාරා ආසම සිංදුව…”පුන්සද රෑට ඇවිදින් හේනේ කලුව බිද”..අකිලගෙ හිතට දුකක් දැනුන හැමරෑකම සිතාරා ෆෝන් එකෙන් ඒ සිංදුව කියන්න පුරුදු වෙලා හිටියා. ඒ සිංදුවෙ තිබ්බ ලෙංගතුකමට අකිල ආදරේ කරා.

සිතාරා හිමීට නැගිටලා ඔහේ ආපහු වාට්ටුව ඇතුලට ගියා. ඒත් ඇස්වල ලොකු කල්පනාවක්.

අකිල හොද වෙලා යනකම්ම ඊට පස්සෙ කොරිඩෝවෙදි කවදාවත් සිතාරා දැක්කෙ නෑ.

අකිල හිතපු නැති විදියට හැමදේම හොද වෙන්න පටන් ගත්තා. මනීශා ආපහු අකිල හොයාගෙන ආවා. සමාව ඉල්ලුවා. අකිලට වෙනදටත් වඩා ආදරේ කරා. බිස්නස් වලට උදව් කරා. අකිලටත් පුදුම හිතෙන තරම් මනීශා වෙනස් වුනා. අර අමුතු හිස් ඉඩ අන්තිමේදි ඇහිරිලා ගියා. අකිලගෙ හිත ආයෙමත් මල් යායක් වුනා.

දවසක් අකිලටම හිතුනා සිතාරා බලන්න යන්න ඕනෙ කියලා. අකිලට සිතාරාට කියන්න ඕනෙ වුනා එයා ආයෙමත් සතුටින් කියලා. උදේම සිතාරා බලන්න ගිහින් ඊට පස්සෙ මනීශ හම්බවෙන්න යන්න ඕනෙ. අකිල එහෙම හිතලා සිතාරා ඉන්න වාට්ටුවට ගියා.

සිතාරා කොහෙවත්ම පේන්න හිටියෙ නැති නිසා අකිල නර්ස් කෙනෙක්ගෙන් සිතාරා ගැන අහන්න හිතුවා.

“මිසී, මේ සිතාරා මද්දුමගේ කියලා පේශන්ට් කෙනෙක් ඉන්නවද? වයස 26ක විතර ගෑණු ලමයෙක්. කෙට්ටුයි සුදුයි”

“ආහ් අර නිතරම පුන්සද රෑට සිංදුව කිය කිය ඇවිදින ගෑණු ලමය නේද? ඔයා එයාගෙ කවුද?”

“මං එයාගෙ යාලුවෙක්. එයා ටිකට් කපලා ගියාද” අකිල ඇහුවා

“නෑනෙ, එයා මැරුණා. සියදිවි හානි කරගත්තනෙ ඒ ලමයා. දැන් ටික කාලයක් වෙනව හැබැයි” නර්ස් එහෙම කියනකොට අකිලගෙ හිත කඩාගෙන වැටුනා.

“ඒ කොහොමද මිසී? මෙහෙ එහෙම වෙන්න බෑනෙ”

“එයා කෑම කන බෙලෙක් පිගාන කාලයක් තිස්සෙ නවලා නවලා කඩලා අත් දෙකේම නහර කපාගෙන තිබ්බ දවසක් අපි උදේ බලද්දි. ඒක පුදුම වේදනාවක් වෙන්න ඇති මොට්ට බෙලෙක් කෑල්ලකින් කපාගන්න එක. පව් කෙල්ල ඉතිං, අපි ගොඩ ගන්න සෑහෙන්න උත්සාහ කරා. ටිකක් හොද වේගෙන ආවෙ, ඒත් එක පාරටම ආයෙ අමාරු වුනා. අන්‍තිම කාලෙ කිව්වෙ වචන දෙකයි. “එයා දුකින්, එයා දුකින්” කියලා විතරයි කිව්වේ. පව් ඉතිං ආදරේ ඉස්සරහ ජීවිත කොච්චර අසරණද බලන්නකො ඉතිං”

“ඒක තමයි මිසී, ම්ම්ම් එහෙනං මම යන්නම්” එහෙම කියලා අකිල යන්න හැරුනේ දරාගන්න බැරි වේදනාවකින්.

සිතාරා එයාගෙ ජීවිතේ ගැන තීරණයක් ගත්තා. එයාට හොද ආත්මයක් ලැබෙයි. මම පුලුවන් විදියට දානයක් දෙනවා එයාට. එහෙම හිත හිතම අකිල ගියේ මනීශා හම්බවෙන්න.

“මොනාද සුදූ ඔයා කන්නෙ? චොක්ලට් අයිස්ක්‍රීම් නේද” අකිල එහෙම ඇහුවෙ මනීශ එක්ක අයිස්ක්‍ර්‍රීම් තෝරන ගමන්

“නෑ මං ආස බ්ලූබෙරි අයිස්ක්‍රීම් කන්න” මනීශා එහෙම කියද්දි අකිල මනීශා දිහා බැලුවෙ පුදුමෙන් මනීශා කවදාවත් බ්ලූබෙරි අයිස්ක්‍රීම් කන්නෙ නෑ.

ආසාවනේ ඉතිං කියලා අකිල බ්ලූබෙරි  අයිස්ක්‍රීම් එකක් අතට ගන්න හැදුවා විතරයි,

“මං මොන ලෝකෙ හිටියත් ඔයාව හොයාගෙන එනවා”

මනීශා අකිලගෙ කනට හිමීට කෙදිරුවා.

ඒ එක්කම අකිලගෙ කොදු නාරටිය දිගේ හීන් හීතලක් ගලාගෙන යනව අකිලට දැනුනා.

 

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp