w¨;a brla mdh,d
ksIdÈ fikaokdhl

ජනෙල් පියන්පත් ඇරෙන හඬින් තිගැස්සී අවදිවූ මම දෑස් පිස ඉදිරිපස බැලීමි සිනාමුසු මුහුණින් තේ කෝප්පයක් අතැතිව උන් මගේ බිරිඳ දෝතින්ම එයමාවෙත පෑවේය. ඇගේ සිනහ පිරි වත මා දුටුවේ බොහෝ කලකිනි. වෙනදාට දඩිබිඩියේ තේ එක උගුරට දෙකට බී දුම් රිය අල්ලාගන්නට ලහි ලහියේ දුවන මට ඇගේ මුහුණවත් බලන්නට වේලාවක් නොතිබුණි.

කොරෝනා වසංගතය උග්‍ර වී රට වසා තැබීම නිසා කාර්යාලද බොහොමයක් වසා දමා ඇත. අලුත් හිරුකිරණ මුහුණට වැටෙද්දී මම අලුත්  සුළං රැල්ලක පහස විඳගතිමි.

‘වෙලාව කීයද වත්සලා ‘

මම ඇගෙන් ඇසීමි. ‘දැන්නම් 9ත් පහුවෙලා.ඔයා හොඳටම නිදි නිසා මං ඇහැරෙවුවෙ නෑ.’

” බත් බෙදල තියෙන්නෙ  ඔයා කන්න මං රෙදි ටික හෝදන්න යනව.”…

‘පුතාල කෑවද ‘?

”ඔව් පුතාලට කැවුව.”…..

”ඔයා කෑවද?

”රෙදි ටික හෝදලම කනව.”

”ඉතින් කාල ඉන්නකො”

”පස්සෙ කන්න පුලුවන් රෙදිටික දැම්ම හේදුවෙ නැතොත් වේලගන්න බැරිවෙනව.

කොහොමත් මට පුරුදු 10 පහුවෙලා කාලනෙ. ”

” ඔයා හැමදාම කන්නෙ ඒ වෙලාවටද ? මම පුදුමයෙන් මෙන් ඇසීමි.

”ඔව් හැමදාම පුතාලව ඉස්කෝලෙට දාල ඇවිත් ගෙදර වැඩ ඉවර කරල කනකොට ටිකක් පරක්කු වෙනව.”

සැබවින්ම පසුගිය කාලය පුරාවට ඇය කන බොන වෙලාව ගැන සොයන්නට මට වෙලාවක් තිබුනේ නැත.

”උදේ කෑම එක ඒ වෙලාවට කාල වැඩක් නෑනෙ ”. මම කීවෙමි.ඇය මදහසක් නැගුවා පමණි.ආගන්තුකයෙකු ලෙස මෙසේ ඇයහා දෙඩීමට සිදුවීම ගැන මසිතේ සියුම් ලැජ්ජාවක් හට ගැනුණි. සැමියෙකු ලෙස පසුගිය කාලය පුරාවට මට ඇය මගහැරීතිබුණි. එහෙත් එය මගේ කාර්යබහුලත්වය නිසාමයැයි කිවහැකිද? කාර්යාලයේ වැඩ අතරතුර  ඔන්ලයින් චැට් කරන කාන්තාවන්ගෙන් උදේට කෑවද දවල්ට කෑවාදැයි මාවිසින් කීවරක් විමසා ඇතිද එහෙත් ඒ කිසිදු විටක මගේ බිරිඳ ආහාරගෙන ඇත්දැයි. මට මතක් නොවූ හැටි.

දහවල් වනතෙක් විසල් රෙදිකන්දක් සේදූ ඇය ඉන්පසු දවල්ට උයන්නටවිය. මම ජංගම දුරකතනය ගෙන පුටුවකට බරවීමි. නිවාඩු නිසාම බොහෝදෙනෙක් ඔන්ලයින් විය.

පුතුන් දෙදෙනා මා අසල දැවටෙමින් සෙල්ලම් කරන්නටවිය.

ඔහුන්ගේ කෑකොස්සන් හඬ මට කන්දොස්කිරියාවක් වුවද මම ඉවසාගෙන සිටියෙමි.

”තාත්තේ අයිය මට ගැහුවා.”

”නෑ මල්ලි තමයි මට ගැහුවෙ ”

”නෑ නෑ අයියයි මුලින් ගැහුවෙ”

මොකද්ද මේ කරදරේ නිවාඩුවටවත් ටිකක් නිවිහැනහිල්ලෙ ඉන්න නෑනෙ.

වත්සලා මේ බලන්න මටනම් බෑ මේ රණ්ඩු බේරන්න. වහා දිව ආ ඇය මෙහෙ එන්න පුතා තාත්තට වැඩ ඇති කරදර කරන්න එපා කියමින් දරුවන් ඈවෙත කැඳවා ගත්තාය.

මම හෙමිහිට කුස්සියට එබුනෙමි. ඇය තවමත් වැඩය. ‘මං උදවුවක් කරන්නද.’ මම ඇසීම්. ‘දැන්නම් උයල ඉවරයි තව ටිකකින් කන්න පුලුවන්.’ මම ඈ දෙස බලාසිටියෙමි.  ඇගේ ඇඳුම් පරණවී ඇතැයි මට සිතුණි. බොහෝ කලකින් ඇයට ඇඳුමක් ගෙන දෙන්නට මට නොහැකිවිය. ගිය සතියේ කෑම පැයේදී නර්මදා සමග ගිය සාප්පු සවාරිය මට සිහිවිය. ඒ ගමනේදී මගේ මුදල්වලින් නර්මදාට ඇඳුම් කිහිපයක් රැගෙන දෙන්නටද මට සිදුවිය. එහෙත් බිරිඳ සමග බොහෝ දිනකින් එවැනිගමනක් යන්නට අවකාශයක් මට තිබුනේ නැත.

“මේ කරදර ඉවරවුනාම දවසක අපි ශොපින් යමු නේද ඔයාගෙ ඇඳුනුත් දැන් පරණ වෙලා”

”අනේ මටනම් මේ තියෙන ඇඳුම් හොඳටම ඇති. ඕවට බොරුවට සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ ඔයා යන වෙලාවක පුතාලට ඇඳුම් ටිකක් ගෙනත් දෙන්න පොඩ්ඩො දෙන්න ගොඩක් ආසවෙයි.”

විවාහයට පෙර අපි පෙම්වතුන් ලෙස ඇසුරුකරද්දී අපි කීවරක් නම් සාප්පු සවාරි යන්න ඇතිද. විවිධ විලාසිතාවල ඇඳුම් මිලදී ගන්නට ඇය දැක්වූයේ දැඩි ආශාවකි. එහෙත් බිරිඳක ලෙස ඒ ආශාවන් ඇය යටපත්කරගෙන සිටින්නී මගේ පොකැට්ටුව ගැන සිතාය.

වසංගතය ඉවරවූ සැනින් ඇයද කැටුව විනෝදචාරිකාවක්වත් යායුතුයැයි මට සිතුණි. නිවසටම කොටුවී අපගේ කුදුමහත් කටයුතු නිසාම වෙහෙසෙන ඇයට ජීවිතය කෙතරම් ඒකාකාරී ලෙස හැඟෙනු ඇතිද.

 ”මේ දවස්වල හැමෝම කතාවෙන්නෙ වගා සංග්‍රාමයක් ගැන අපිත් වත්තෙ මොනව හරි හිටවමු නේද” මම ඇසුවෙමි.

”ඇයි තාත්තෙ අම්මගෙ එලවලු කොරටුව වත්ත පහල තියෙන්නෙ තව මොකටද හිටවන්නෙ.” අපේ කතාව ඇසුණු ලොකුපුතා කීවේය. මට පුදුම සිතුණි. ඇය ගෙදරටවී මොහොතක්වත් නිකරුණේ ගතකර නැත. සවස්වරුවේ මම ඇය සමග එකතුවී එලවලු පාත්ති සුද්ධකලෙමි.

සතියේ දිනවල ගොම්මන් කලුවරේ ගෙට ගොඩවී, ඉරිදා නිවාඩු දිනය පුරාම යහලුවන් සමග එකතුවී පාර්ටි දමමින්ද තරග නරඹමින්ද ගතකල මට වත්ත දෙස බලන්නවත් වෙලාවක් නොතිබුණි. ඇය අපූරුවට වගාව පවත්වාගෙන ගොස් ඇත.

“ඔයා නොදන්නවවුණාට මේ එලවලු පාත්ති නිසා ගෙදර අවශ්‍යතා ගොඩක් පිරි මැහෙනව” ඇය කීවාය. කාර්යාලය තුලදි සගයන් සමග එකතුවී කතාබහ කරන අවස්තාවලදී’අපේ වයිෆ්ලටනම් මොකද ගෙදරට වෙලා කාල බීල ඉන්න එක විතරනෙ. මාර සැප..” ආදීලෙස කියමින් මා ඇයව පහත්කොට කතාකර ඇති ආකාරය සිහිවී මගේ නෙතට කඳුලක් නැගුණි. නර්මදා වැනි කාර්යාලයේ සුරූපී කතුන් හා සසඳන කල මට මගේ බිරිඳ එදා දැනුනේ පරමලක් ලෙස වුවද  බිරිඳක ලෙස ඇය නිවස තුල ඉටුකරන කාර්යභාරය අද දෑසින් දකින මට කාර්යාලය තුල වැඩ මගහරිමින් නිතර ඕපදූප කතාකරමින් සිටින නර්මදා පෙනෙනුයේ සීනීබෝලයක්  ලෙසිනි.

හැම කලුවලාවකම රිදී ඉරක් ඇතුවාක් මෙන්ම වසන්ගතයක්සමග පැමිණි ආශිර්වාදයක් ජීවිතය දෙස ආපසු හැරී බලන්නට විරාමයක් සාදාදුන් සෙයකි.

මේ විරාමය නොවන්නට කාර්යබහුල ජීවන රටාව මැද සිතට එබුණු නර්මදා මට ඇය අහිමි කරන්නට ඉඩ තිබුණි. සාමාන්යයෙන් නිවසින් පිටවන වෙලාවට වඩා පැය බාගයක් පසුවී ගියත් කාර්යාලයට යාමට මාහට කාලය ප්‍රමානවත් නමුත් මා පාන්දරම පිටත් වන්නේ නර්මදායන දුම් රිය අල්ලාගැනීඉමට බව සිහිවෙද්දී ලැජ්ජාවක් මෙන්ම පසුතැවීමක්ද මට දැනෙන්නටවිය.

”ඇත්තටම මෙච්චර වැඩ ගොඩක් ඔයා කොහොම කෙරුවද කියල මටනම් හිතාගන්නත් බෑ… මට සමාවෙන්න මීට පස්සෙනම් මං ඉරිදටවත් කොහෙවත් යන්නෙ නෑ අපි එලවලු කොරටුවෙ වැඩ කරමු…” ඈ ලෙන්ගතු නෙත්වලින් මාදෙස  බැලීය. මම සෙනෙහසින්  ඈ වැලඳගතිමි.  ජීවිතයට අලුත් ඉරක් පායා ඇතැයි මට සිතුණි.

Share on facebook
Share on Facebook
Share on twitter
Share on Twitter
Share on whatsapp
Share on Whatsapp