රෝස බබාගේ කතාව
කතෘ
නිබන්ධිකා වන්නිනායක


“බබෙක්ව තියා ගන්න බැරි නම් ඉස්පිරිතාලෙම තියලා යන්න වැඩපිළිවෙළක් හදනවලු ඔන්න.”

අම්මා පත්තරේ බලන ගමන් අපිවත් දැනුවත් කරන එක මට මතක ඇති කාලේ ඉඳලා වෙන දෙයක්. ප්‍රවෘත්ති ලියාගෙන එන්න කියපු තුන හතර වසරෙදි නම් මේ පුරුද්ද අපි හරි ලොකු දෙයක් උනාට දැන් අම්මට කලින් නිව්ස් සයිට් වලින් ඔක්කොම නිව්ස් දැනගන්න අපිට ඒක වදයක් වෙන වෙලාවලුත් නැතුවාම නෙවෙයි.

“වැඩේ නම් හොඳයි අම්මේ. කැලෑවලටයි ටොයිලට් වලවල් අස්සටයි ළමයි විසිකරලා නොයා ඔතන තියලා යන්න හරි ගෑනු අයට පුළුවන්. දරුවෝ නැති අය ඊට පස්සේ ඔය බබාලාව අරන් හදාගයිනෙ.”

අම්මා එක්ක ඒ මාතෘකාව ගැන හරබර සංවාදයක් අරගෙන යන්න මටත් ඕනෑකම තිබුනා. ඒත් මගේ පුතා එක්ක කොහෙද ඒකට ඉඩක්. අහක බලන තප්පරේට බිම තියෙන කුණු කෑල්ලක් ඇහිඳලා කටේ දාගන්න ඉඩ තියෙන නිසා මම පුතාට වැඩි අවධානේ දෙන ගමන් තමයි අම්මා එක්ක කියවන්න ගත්තේ. ඒත් හදිස්සියේම නංගි කඩා පාත් උනේ අපේ නිස්කලංක සංවාදයට බෝම්බයක් අරගෙන.

“මිනිස්සු වැරදි කරනවානම් ඒවා බාරගන්න හයියක් තියෙන්න ඕනේ අම්මේ. දැන් හරි ලේසියෙන් ඔය වෝඩ් එකේ බබ්බු අතෑරලා යන්න ගෑනු පටන් ගනී. ඇයි ඉතින් ලිංගික අධ්‍යාපනයක් නෑ. සංවේදී කමක් නෑ. හදයි ,ඔතන අතාරියි.”

ෆේස්බුක් එකේ කමෙන්ට්ස්  කොටනවට වඩා වේගෙන් නංගි කෑගහනවා. මටත් කට පියාගෙන ඉන්න බැරි වුණා.

“ලිංගික අධ්‍යාපනය මේ රටේ නැති නිසා තමයි චූටි ඔය තීරණය වැදගත්. රේප් වුනොත් හරි රැවටුනොත් හරි ගෑනු ළමයෙක්ට තියෙන එකම ඔප්ෂන් එක සුසයිඩ් කරගැනිල්ල වුණු රටක් මේ. ජීවත් වෙන්න හිත හයිය කර ගත්තු ගැහැනුන්ටත් වෙන්නේ කොහේ හරි බබාව අතෑරලා දුවන්න . මේ අද ඊයේ ඉස්කෝලෙ ගිහින් ඉවර වුණු ඔයා හිතන තරම් ලෝකය ලස්සන නම් බැරියැ.

මගේ තර්කෙ පිළිගන්න නංගි ලෑස්ති නෑ. ලේසියෙන්ම වගකීම් අතාරින්න මිනිස්සු පෙළඹවීම නරක බව එයා තදබල විදිහට තර්ක කරනවා.

“තමන්ගේ බඩට දරුවෙක් ආවානම් ඒ ළමයා රැකගන්න එක අම්මගෙ වගකීම අක්කේ. දැන් ඔයාට වඩා අවුරුදු දහතුනක් බාලයි කියලා අම්මා මාව ඇබෝෂන් කරේ නෑනේ.  අන්න ඒක තමයි හයිය. අපේ අම්මට හයිය තිබ්බේ ඔය.”

අම්මත් මාත් අතර හුවමාරු වුණු බැල්ම එක්කම අම්මා නැගිට්ටේ මගේ පුතා වඩාගෙනමයි.

“අපි ඔයාව හදාගත්තේ අපිට පවුලක් තිබ්බ නිසා. පවුලක් නැති අය ගැන කතාවක් මේ.”

 අම්මා බබාව අරන් ගෙට යද්දිම නංගිත් මෙලෝ සිහියක් නැතුව ෆෝන් එක ඔබන්න පටන් ගත්තා. මම කරන්න කිසිම වැඩක් නැති නිසා නෙවෙයි නංගිගෙ පණ්ඩිත කතාවෙන් ඔලුව තෝන්තු කරගෙන අවුරුදු ගාණක් පස්සට විසි වුණා.

ඒ ඇත්තටම අපේ ජීවිතවල ලස්සනම කාලේ. අම්මා බණ්ඩාරවෙල පැත්තේ ඉස්කෝලෙක උගන්වපු අප්පච්චි ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙලා හිටපු කාලේ.  අක්කාත් මමත් වෙනද වගේම ඉස්කෝලෙ යන්න අත්අල්ලා ගෙන එද්දී වැඩි කලබලයක් නැති ස්ටේෂන් එක පුදුමාකාර කලබලයකින් ඇවිස්සිලා තිබුණු ඒ දවස මට තාම මතකයි.

“පොඩි එකෙක් ස්ටේෂමේ දාලා ගිහින්.”

දාලා ගිය පොඩි එකාගේ රෝසපාට මූණ දිහා අක්කත් මාත් එබිල බැලුවේ එකටමයි. ලස්සන කඳුකර මලක් පර වෙන්න ඔන්න මෙන්න. කවුරුහරි බබාව තුරුලු කරගෙන කිරි පොවනවත් මට යන්තමට මතකයි. ටිකක් එහායින් ලස්සන ගෑනු ළමයෙක් කෝච්චියට පැනපු කතාව පියාඹාගෙන ආවේ රෝස බබාට හිමි වෙමින් තිබුණු අවධානය සම්පූර්ණයෙන්ම ඒ මරණයට ලබාදෙමින්.  කතාව ඉක්මනින් ගලපගන්න කාටත් පුළුවන් වුණා. ඒත් රෝස බබා හිතපු තරම් අවාසනාවන්ත වුණේ නෑ.

අවුරුදු දහ නමයකට කලින් රටේ ලොකුවට නීති තිබ්බෙ නැති නිසාද නැත්නම් මනුස්සකමින් නීතියට සේරම පරාද නිසාද මන්ද රෝස බබා අපේ ගෙදර “චූටි මැණිකේ” වුණේ හරිම ඉක්මනින්.  ආපහු ගමට යන්න අම්මා හදිසි  කරේ රෝස බබාගේ කවුරුම හරි නෑයෙක් අපිව හොයාගෙන ක්වාටර්ස් එකට එනවට බයේ වෙන්නත් බැරි නෑ.

අක්කට අවුරුදු පහළොවක්, මට දහතුනක් වෙලා තියෙද්දි අම්මා ආයෙ බබෙක් හදාගෙන ඒ ගැන නොකියාම ඉඳලා හදිසියේම ගමට කඩාපාත් වුණ එක ගැන ප්‍රශ්න ඇති බව අපිටත් තේරුණා. ඒත් චූටි මැණිකේ ස්ටේෂමේ හිටිය රෝස බබා කියලා කියන්න අක්කටවත් මටවත් හිත දුන්නේ නෑ.

“මට ඇත්ත කියපන්, ඔය දරුවා උඹේ නෙවෙයි ලොකු කෙල්ලගේ නේද?” ඒ වැරැද්ද වහන්න නේද උඹලා ආපහු ගමට දුවගෙන ආවේ.”  දවසක් අත්තම්මා අම්මගෙන් එහෙම අහද්දී පවා රෝස බබා චූටි මැණිකේ වීම ගැන අපි මොකුත්ම කීවේ නෑ.

කාලය වේගයෙන් ගත වෙනකොටත් චූටි මැණිකේ අක්කාගේ දරුවෙක් බව මිනිස්සු හොරෙන් හොරෙන් කතා වුණා. අක්කාගේ සරසවි ප්‍රේමවන්තයා පවුල් පිටින් අපේ ගෙදර එන දවසෙ මග රැකලා හිටපු සුද්දවන්තයෙක් අක්කගේ දරුවෙක් අපේ ගෙදර චූටි දූ වෙලා හැදෙන බව මතක් කරලා . එදා ඒ අය මගින් හැරිලා ගියත් ඒ වේදනාවට දවස් ගානක් අඬන්න වුණත් චූටි මැණිකේ ස්ටේෂන් එකේ රෝස බබා විත්තිය අක්කා කාටවත්ම කිව්වේ නෑ.

අක්කා දැන් ඉන්නේ ඈත රටක කතන්දර විශ්වාස නොකරපු ආදරණීය මනුස්සයෙක් එක්ක හදාගත්තු පවුලක් එක්ක සන්තෝසෙන්. සමහරවිට ලොකු අයියා  “ස්ටේෂන් එකේ රෝස බබාගේ කතාව” දන්නවා ඇති. නැත්නම් මගේ පුතාගේ තාත්ති වගේ ඒ ගැන මොකුත්ම නොදන්නවා ඇති.

අසරණවීම තනියම දරාගත යුතු බවට තර්ක කරන නංගිට “ස්ටේෂන් එකේ රෝස බබාගේ කතාව”  කියා දෙන්න මට පුලුවන් තමයි. ඒත් එතනින් පස්සේ එයාට දරා ගැනීම ලේසි වේවි ද?

ඒ නිසා එයා ඔන්නොහේ තර්ක කරපුදෙන්!

 

කතෘ -නිබන්ධිකා වන්නිනායක

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...