Table 54
කතෘ
යසිත සංඛජය යාපා බණ්ඩාර


දුර සිට පැමිණි තිරෝද රිය අවන්හල ඉදිරියේ නතර උනා. පිරිමියෙක්  සහ ගැහැණියක් එක සැරේ දෙපැත්තෙන්ම බැස්සා.

“මං දෙන්නම්”  ඔහු පර්ස් එක ඇද්දා.

නෑ ඉන්න මං දෙන්නම් ඇය බෑග් එක ඇරියා.

තිරෝද රියේ රියදුරා දෙදෙනා දිහාම බැලුවා. පිරිමියාගේ අතේ 100 දෙකක්, ගැහැණිය අතේ 50 කොළ තුනක්.

“මෙහෙම ගත්තම නෝනගෙයි මහත්තයගෙයි දෙන්නගෙම හිතට හොඳයි” කියමින් පිරිමියාගෙන් 100 කුත් ගැහැනියගෙන් 50කුත් ගෙන ගනුදෙනුව හමාර කළා. තිරෝද රථය පිටත්ව ගියේ ය.

අවන්හලේ කෙළවරම මේසය වෙත දෙදෙනාම පැමිණ නතර විය.

“මෙතන පුරුදු තැන” ඔහු ඇසුවා.

“හ්ම්” ඇය පුටුවක් ඇද වාඩි වී වටපිට බැලුවා.

පිරිමියා ගැහැණියට ලංවී “ඔයාට දැන් බඩගිනි ද?” ඈ ගැන හොඳින් දන්නා ඔහු ස්ථිර හඬින් ඇහුවා.

“මට ඒ කාලේ හවසට ශෝටිස් කමු කියන්නේ ඔයානෙ…”

ඒ උනාට වැඩියෙන් කන්නේ ඔයා, වේටර් කෙනෙක් එනතුරු දෙදෙනාම අතීතයට ගියා.

ආප්ප කමුද? “හ්ම්” ඔහු ආප්ප ඇනවුම් කළා.

ඈ ලේන්සුව අරගෙන දාඩිය පිහදාගත්තා

ඔයාට ගොඩක් මහන්සිද?

ඔහුගේ වචන වල ඇති ආදරය තේරුණු හෙයින් මහන්සි අරන් වෙහෙසක මුහුණ  හිනැස්සුවා.

“ඇයි?” කියන්නකෝ ඉතිං ආයිමත් මං හොයාගෙන ආවේ? (හවස 06 ට තත්පර කිහිපයක් ඇති ඔරලෝසුව දෙස බලා ඇය කෙළින්ම ප්‍රශ්ණ කරා) 

“මන්දා” ඇයගේ ප්‍රශ්න හමුවේ බිය උණු ඔහු බිම බලන් උත්තර දුන්නා.

ඈ කුපිත උනා.

“මගේ පස්සෙන් පන්නලා ආදරේ ඉල්ලලා අවුරුදු 3ක් ලව් කරලා බැඳලා වද ගෑනි, මූසල ගෑනි කියලා මාව දික්කසාද කරලා කලින් love කරපු මෙතෙන්ට ඇවිල්ලා “මන්දා” කිව්වම හරිද?

ඔහු හිනා උනා. ඇගේ මූණ තවත් රත්වුණා. පුටුව පස්සට දමමින් නෑ නැගිට්ටා.

“මං යනවා”

ඈ හැරෙන්නට පෙර විදුලි වේගයෙන් නැගිට්ට ඔහු PLZ වාඩි වෙන්නකෝ යන්න එපා. ඔහු වදෙන් පොරෙන් ඈ වාඩි කරගත්තා.

ඈ වේගෙන් හුස්ම ගන්න බව ඔහුට පෙනුනා.

ඔහු කියපු ඒ හැම අත්පුඩියක්ම මම තනි අතින් ගහපුවද?

ඔහුගේ නිවුණු හඬට ඈ නිරුත්තර උනා.

ඒත් සමගම දුම්දාන ආප්ප පිඟානක් මේසෙට ආවා. සුදු පිඟන් දෙක මේසය මත තබන දෙන්නම මූණෙන් මූණ බලාගත්තා.

ගොඩක් කාලෙකට පස්සේ ඔවුන් මේ අවන්හලට ආවත් කවමදාකවත් පිඟන් දෙකක කාලා තිබුනේ නෑ.

ඔහු ඈ දිහා නොබලා රිදුනු හිතින්ම පිඟන් දෙකට සම්බෝල බෙදුවා.

“අපි දෙන්නෙක් වෙලා” ඈ දිග හුස්මක් පිට කළා.

“තුන්දෙනෙක් වෙන්න බැරි නිසා” ඔහු මිමිනුවා.

උණු ආප්පයක් අරන් ඔහු තනියම කන්න පටන් ගත් විට ඈ පුදුමෙන් බලා හිටියා.

“ඉස්සර නම් පලවෙනි ආප්පේ  දෙකට බෙදෙනවා”  හිතේ අමාරුව ඇගේ මුවින් පිට උනා.

“’අපි දෙන්නෙක් වෙලා ඉඳලා එක්කෙනෙක් වෙන්න උත්සහ කරලා පස්සේ තුන්දෙනෙක් වුණේ නැති නිසා දැන් ආයෙමත් දෙන්නෙක් වෙලා.”

ඈ ආප්පයක් අරන් අරියාදුවට වගේ කන්න පටන් ගත්තා.

“මට ඕනේ ආයෙමත් ඔයා එක්ක එක්කෙනෙක් වෙන්න”

“මොකක්”  ආප්ප කෑල්ලක් හිරවෙනවා වගේ ඇයට දැනුණා.

“මාව මෙතන්ට එක්කරගෙන ආවේ ඒක කියන්නද”

“හ්ම්”…

මං වඳ ගෑනියෙක් ඔයාට මතක නැද්ද ඉස්සර ඔයා උදේ හවස පාඩම් කරා.

ඇගේ ඇසින් කඳුළු බේරුණා.

කාලෙකට ඉස්සර බීගෙන ඇවිත් ගහපු තද පාරවල් වලට ඈ අඬපු හැටි ඔහුට මතක් උනා.

පරාජිත හඬින් ඔහු කතා කරා.

“දරුවෙක් නැති උනාම දොස්තරවරු හොයාගෙන ගිහින් එපා උනාම අපි දඹර ඇගිලි උලුක් කරගෙන ගහ බැනගත්තා.  ඔයා මට, මං ඔයාට කියපු කතා මතක් කරන්න එපා.

මට…. හ්ම් මට දැන් තනියම ඉදලා ඇතිවෙලා.

“සර්වන්ට් කෙනෙක් ගත්තෙ නෑ”  ඈ කඳුළු පිහදාගත්තා.

මිනිහෙක්ගේ තනිකම මකන්න සර්වන්ට් කෙනෙක්ට පුළුවන්ද?

ඇයි ඔයා ආයෙමත් නොබැන්ඳේ ?

මාත් ඒකම ඔයාගෙන් අහන්නද?

මේ ලෝකෙ තව පිරිමියෙක්ගේ කටින් මට නම් ආයෙමත් වඳ ගෑනි කියලා අහගන්න ඕන නෑ.

ඒ කියන්නේ තාමත් ඔයා මා එක්ක තරහින්ද? ඈ ඔහුගේ ඇස් වලට එබුණා. බෝල්ට් ඇණ බුරුල් වුනු වචන ගොඩක් ඔහුගේ මූනේ හෙලවෙනවා ඈට පෙනුනා. ඒත් ඒ වචන ගැලවිලා වැටෙන්න ටික වෙලාවක් ගියා.

අපිට දරුවෙක් නැති වුනේ අපි දෙන්නගෙම වැරදි තිබුන නිසා බව අපි හොඳටම දන්නවා. ඒත් අපි පොඩි උන් වගේ රණ්ඩු වුණා. ගහ මරා ගත්තා. අන්තිමට වෙන් වුණා.

ඩිවෝස් වුණු අලුත මට හිතුණේ  ජීවිතේම හිර ගෙදර ඉදලා නිදහස් වුණා කියලයි.

එහෙනම් මං ඔයා හිර කරගෙන ඉඳලා.

වෙන්න ඇති !

දැන්?

ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්නවා.නිදහස් ඒත් පාලුයි. ගෑනියෙකුට මිනිහෙක්ගේ ආදරයක්, රැකවරණයක් ඕන තමයි. ඒක නෙවෙයි ඇයි ඔයා කා  එක වික්කෙ?

“අම්මෝ! ඔයා ඒවත් දන්නවද? ඔයා ගියාම මගේ බීම වැඩි උනා. කෑම අඩු උනා. මගේ බිස්නස් වැටුණා. පස්සේ මට කා එකක උවමනාව අඩු උනා. බයික් එක ගත්තෙ ඒකයි. වැඩියෙන් බිස්නස් කරල කාට හම්බ කරන්නද? ගෑනියෙක් දරුවෙක් නැති මට අම්මත් නැති වුණා.

අම්මගෙ මළගෙදරට මං ඒවි කියලා ඔයා හිතුවද?

“නැන්දම්මයි ලේලියි දරු ප්‍රශ්නෙට රණ්ඩුඋන හැටියට මං එහෙම හිතුවේ නෑ.”

“මට නම් එන්නම හිතුනා.. ඒත්… මන්දා..”

එක ගෙදර ඉඳගෙනත් කාලයක්, කතාවක් බහක් නැතුව, බුම්මගෙන කෑම කාපු විදිහට පිරිමියාත් ගැහැණියත් ටික වෙලාවක් නිහඬවම ආප්ප කෑවා.  හදිසියේම යමක් සිහිවුණු නිසා  පිරිමියා ආයිමත් ගැහැනිය දිහා බැලුවා.

“ඔයා මේ අවුරුද්දට එවපු නිව්යඉයර් කාඩ් එක මට ලැබුණා.’’

ඉතිං ? ඈ මුව අයා ගත්තා…

තෑන්ක්ස් ….! ඒක, මං ඔයා මට ඉස්සෙල්ලම දීපු ප්‍රසන්ට් එක ලඟ තියලා ඇති.

ඔයාට පිස්සු අනේ…..!

ඒ කාඩ් එකෙන් තමයි මං දැනගත්තේ දැන් ඔයාගේ හිතේ මං ගැන තරහක් නැතුව ඇති කියලා.

ඔයාගේ කන ළඟ ඩයි කරගත්තනම් නරකද? ඔය රැවුල කපාගන්නකො!

ඔහු මූණ අත ගෑවා. “දවල් වෙලා ඇහැරෙන්නේ. ගිහින් රෑ එකට  දෙකටනේ ඇඳට වැටෙන්නේ”

ඔයාට හොඳට නින්දවත් යනවා. මට ඒකත් නෑ.

“ගෙදර තත්වෙ කොහොමද?”

“හොඳයි අහල පහල තත්වෙ තමයි නරක!”

“ඇයි?”

“ගෑනියෙකුට පොට වරදිනකන්නේ මිනිස්සු බලා ඉන්නේ. ඒ ගෑනි මස් කරන්න!  ගෙදරින් වැඩේ මොනවා හරි කරගන්න කියලා.

“ඉතිං?”

“මං කිව්වා, මේ කරගත්ත ටික මේ ආත්මෙට හොඳටම ඇති කියලා. අම්මා ඔන්න පත්තරේට දැන්වීමක් දාලා තිබුණා.”

බයවෙන්න එපා ඔයා ඉස්සර වගේම ලස්සනයි!

“ඔයාගේ දිව උස්සල බලන්න තව දිවක් ඇති! ඩිවෝස් උනාට පස්සේ ඔයා ගෑනු කී දෙනෙක්ට ඔහොම කිව්වද?”

උන් සමනල්ලු වගේ. පර්ස් හිස්  වෙනකොට ඉගිලෙනවා. ඔයාගේ ආදරේ මට ඊට වඩා වටිනවා.

“එක අතකට අපිට නැත්තේ දරුවෙක්ම විතරයි. තව කොච්චර දේවල් නොලබපු අය මේ ලෝකෙ ඉන්නවද?

“නොලබපු දේවල් වලට ම පොරබදන එක වෙන්නැති මිනිස් ගතිය.”

අපි අර කඩෙන් ගත්ත පොඩි එකාගේ පින්තූරේ, තාම සාලේ  බිත්තියේ තියෙනවද?

“ඔව්, ඔයා ලස්සනයි කියලා එල්ලපු තැන ම. දූවිලි ටිකක් බැදිලා ඇති. අම්මා නැති උනාට  පස්සේ.”

“ඔයා එදා බීගෙන ඇවිත් ඔයා පොළොවේ ගහපු වෙඩින් ෆොටෝ එක ඉවරෙටම ඉවර උනාද?”

ඔව්, ඒත් ඇල්බම් එකේ තිබුන පොඩි එකක් මං මේ ලඟදි එන්ලාර්ජ්  කළා. දැන් මං උදේට එළියට බහින්නෙ ඒක දිහා බලලා.

ඔහු ආදරේ ප්‍රකාශ කළ අලුත හිතේ ඉපදුන හිරවීමක් ගැහැණිය තුළ මෝදු වුණා. ඈ කල්පනා බරිත උනාම, අවන්හලේ භාජන ගැටෙන හඬ ඔහුට පැහැදිලිව ඇහුණා. පසුතැවෙන ස්වරයෙන් ආයිමත්  කතා කළේ ගැහැණියමයි.

“ඇයි අපි උසාවි ගියේ?”

“මිනිස්සු අපිව උසි ගැන්නුවා. නෑයො, යාලුවෝ උන් යක්කු….!

“අපේ වැරදි වලට මිනිස්සුන්ට බනින්නෙපා.”

 “මොකෙක් හරි එකෙක් අපිට කිව්වද මේ ලෝකෙ දරුවෙක් නැති පළවෙනි හරි අන්තිම හරි ජෝඩුව උඹලා නෙමෙයි කියලා?

ඇත්ත අපිට නීතියෙන් වෙන් නොවී ඉන්නයි තිබුනේ. ඈ පරාජිත ස්වරයෙන් හීල්ලුවා. “කවුද ඩිවෝස් එක ඉල්ලුවේ?” ඔහු මතක නැතුව වගේ ඇහුවා.

“ඔයා යෝජනා කලහම මං එකපාරටම මෝඩ වෙලා ස්ථිර කලා.  ඒකනෙ උසාවියේදි සභා සම්මත උනේ!

ඔහු තේ ඇනවුම් කලා. ඔරලෝසු මූණ බලපු ඈ වට පිට බැලුවා. ඊට පස්සේ නාහෙන් ඇඩුවා.

“අනේ ! මට පරක්කු වෙනවා.

මේසෙ උඩ තිබුණ ඇගේ අතක් මිරිකමින් ඔහු ඇගේ ඇස තුල කිමිදුණා.

“මං ඔයාට ගෙදර යන්න දෙන්නේ නෑ”. ඔහු එක හඬින් කිව්වා.

“මං කෑගහනවා ! දැන් මට යන්න ඕන. තව ටිකක් හිතලා බලලා, ගෙදරටත් කියලා මං ඔයාට කෝල් කරන්නම්.”

“ඔච්චර කරදර වෙන්න එපා මං ඔයා අදම අරන් යනවා.!

“විකාර ! ඇයි මේ කලබලේ ?”

“හෙට ඔයා නිවාඩු දානවා !”

 “ගිහින් මං අඳින්නෙ ඔයාගේ කලිසම් ද? අම්මා මාව හොයාවී.”

“බොරු එපා බබා ! අම්මට කෝල් කරමු. මමත් කියන්නම්.

“අම්මගෙ හාට් ඇටෑක් එක වැඩි වෙන වැඩක් ඒ…

“අම්මා කාලෙකට පස්සේ හොඳට නිදාගනිවී. අපි රෑට කන්නේ මොනවද කියන්නකෝ.

“මං ගිහින් මොනාහරි උයන්නම්!

“එපා ඔයාට මහන්සියි කෑම අරන් යමු.

“නෑ මං උයන්නම්.

මාර ගහ යට අවන්හලෙන් පිටවුන ගැහැනියකුත් පිරිමියෙකුත් පාළු අඳුරට මුහු උනා. උනුහුමට තුරුල් වෙලා ගියපු දෙන්නා වටරවුම ලඟදි හමුඋන ත්‍රීවීල් එකට ගොඩ උනා, ගෙදර යන්න.

 

කතෘ -යසිත සංඛජය යාපා බණ්ඩාර 

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...