හිමි අහිමි
කතෘ
හිරුණි ගමගේ


හවස ඉර බැහල යනවා, ඒ තැඹිලි පාට ඉර එළිය ලස්සනට වැව් වතුර උඩට වැටිලා, දිය රැළි එක්ක ලස්සන රටා මවනවා, ඒ හැඩතල ඇතිවෙලා නැති වෙලා යනවා, හරියට අපේ සිතුවිලි වගේ; අපේ ජිවීත වගේ. සාංසාරේ කොයිතරම් දේවල් නම් ලැබිලත් නොලැබී යන්න ඇති ද? මේ⁣ මොහොත දුකක් ⁣දැනෙන්න ඕන වේලාවක් වුණත්, පුංචි ම දුකක්වත් පේන තෙක් මානෙක නෑ. පන්සලේ ඝාණ්ටාර හඬත්, බෝ කොළවල හඬත්, මල්වල සුවඳ – හඳුන්කූරු  සුවඳත් එක්ක හිතට එන්නේ පුදුමාකාර සැනසිල්ලක්. හරියට ඔලුව උඩ තිබුණ ලොකු බරක් බිමින් තියලා වගේ පුදුමාකාර නිදහසක්, සැහැල්ලුවක්.

“ඇයි නංගී කල්පනා කරන්නේ? ඔයාට දුකයි ද?”

වැව් වතුරේ මැවෙන හැඩතල දිහා බලාගෙන හිටිය මගේ අවධානය බිදුනේ කනිෂ්ක කතා කරද්දී,

“දුක… නෑ අයියේ, මට දුක නෑ. අනිත් එක ඔයා මං ගැන හැම ඇත්තක් ම දන්නවා නේද? පොඩි කාලේ ඉඳල ම මට හොඳට දුක පුරුදුයි. මට පුදුම සැනසිල්ලක් දැනෙන්නේ. හරියට මං පෝරකයට නියම වෙලා ඉඳල ජිවිත් වෙන්න වාසනාව ලැබුණා වගේ නිදහසක්….”

ලොකු හුස්මක් අර ගත්ත කනිෂ්ක,

“එතකොට මේ බැඳීම පෝරකයට යනවා වගේ ද ඔයාට දැනුණේ ආහ්? කියන්න දිලිනි…”

“ඔව්… එහෙම හිතන්න අයියේ, ඒක ඔයාට ලේසි වෙයි හිත හදාගන්න…”

“හිත හදාගන්න?”

“ඔව් හිත හදාගන්න….”

“දිලිනි… මේක පන්සලක්, මගේ යකා අවුස්සන්න එපා…”

කියලා කේන්තියෙන් පඩිපෙළ බැහැල ගිහින් බෝ මලුවෙ වාඩිවෙලා ඇස් පියාගෙන. ඔව් ඉතින් බලෙන් ම ඉල්ලගත්ත ආදරයක් එපා කියන්නේ කනිෂ්ක ම තමයි. හැමදාමත් වගේ මට තියෙන්නේ බලාගෙන ඉන්න. මට මතක් වෙන්නේ හරියට ම අවුරුද්දකට කලින් මේ පිං බිමේදී ම, කනිෂ්ක මගෙන් ආදරය ඉල්ලපු විදිය. කසාදයක් කියන බැඳීමක් ඇති කරනවා කියලා දුන්න පොරොන්දුව.

අනුරාධපුරයේ ඉපදිලා, හැදිලා වැඩිලා, උසස් පෙළ සමත් වුණත්  විශ්ව විද්‍යාල වරම් ලබාගන්න තරම් ප්‍රතිඵල නැති නිසාත්, නැවත වතාවක් විභාගය ලියන්න තරම් උනන්දුවක් නැති නිසාත් මං කොළඹට එන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උසස් අධ්‍යාපනය ආරම්භ කරන්න. පවුලේ එක ම දරුවා වෙලා ඉපදිලා අම්මාගේ

තාත්තාගේ ආදරය නැති ව මට ලැබුණේ අත්තමාගේ ආදරය, උනුහුම විතරයි. අම්මා තාත්තා ගෙදර හිටියත් දකින්න වුණේ අඬ දබර විතරයි.

ඉල්ලන ඉල්ලන හැම දෙයක් ම වගේ, ඉගනීමට අවශ්‍ය හැම දෙයක් ම හොයලා බලන්න අම්මත් තාත්තත් දෙන්න වගබලාගත්ත නිසා ම, අත්තම්මාගේ හුරතලී වෙලා, යා⁣ලුවො එක්ක දඟ කෙල්ලෙක් විදියට ඉස්කොලේ හරි ම ප්‍රසිද්ධ  චරිතයක්.

“දිලිනි….. කරුණාකරල ඔය කොල්ලව අමතක කරපන්, අන්තිමට මේ තාත්තා නරකයි කියන්න එපා…”

“ඔව් දුව… ඒ ළමයා අපේ ෆැමිලි එකට මැච් වෙන්නේ නෑ…, අපේ වගේ වැදගත් පවුලකට ඒ ළමයා ගැළපෙන්නේ නෑ…. අපි කියන කෙනෙක් මැරි කරන්න හිත හදාගන්න….”

අම්මා තාත්තාගෙන් නොලැබුණ ආදරය, කරුණාව, රැකවරණය ලැබුණේ දේවකගෙන්. ලොකු වත්පොහොසත්කම් නැති වුණත් ඉස්කොලේ ම නපුරු කෙල්ල අහිංසක කාරුණික කෙල්ලෙක් වුණේ දේවක නිසා. ඒත් ගෙදරින් ආව තර්ජන නිසා ම, දේවක මරන බවට තාත්තා නිතර නිතර කියවද්දී ඒක එයාට කරන්න ලේසි ම දෙයක් නිසා ම මං තීරණය කළේ ගමෙන් පිටවෙලා යන්න. කොළඹට ගිහින් තව ඉගෙන ගන්න. අන්තිමට දේවක ම ඒ හැම දෙයක් ම හොයලා බලලා එයා ම මාව කොළඹට එක්ක ආවා.

 “දේවක… දැන් මාව මතක් වෙන්නේ නැද්ද?….”

“මතක් වෙන්න අමතක වෙලා නෑ  මට…”

“ඒක ද දැන් බලන්නවත් එන්නෙ නැත්තේ….”

“ඔයා දන්නව දිලිනි මට තියන ප්‍රශ්න…. අම්මා අසනීපෙන් ඉද්දි තනියම දාල එන්න බෑ  කියල ඔයා හොඳට ම දන්නවා…”

“හ්ම්…”

දේවකට ගෙදර ප්‍රශ්න එක්ක මාව බලන්න එන්න, වෙනදා වගේ හොයන්න වේලාවක් නැති වුණා. මේ ගහක් කොළක් පෙන්න නැති, ⁣උස බිල්ඩින් ගොඩක් මැද මං අතරමං වෙලා වගේ. යාලුවො එක්ක පාඩම් කරද්දී, ක්ලාස් යද්දී දේවක කියන නමත් මට අමතක වෙලා ගියා.

අප්‍රේල් මාසේ පටන් ගද්දී ම දවසක් අපේ බැජ් හතර ම එකතුවෙලා අවුරුදු උත්සවයක් ලෑස්ති කළා. පොඩි ම බැජ් එකේ වුණ අපිට වැඩ ගොඩයි. උදේ ගොඩක් ඉවෙන්ට්ස්වලට යන්න බැරි වුණත් හවස තිබුණ මියුසිකල් ෂෝ එකට යන්න අපි හැමෝට ම පුලුවන් වුණා. මියුසිකල් එකට අපේ කොලේජ් එකේ ළමයින්ට අමතර ව එළියේ ගොඩක් අය ඇවිත් හිටියා. දැන් මගේ හොඳ ම යාළුවා නිලුපුලි, එයා නුවර. එයාගේ යාලුවො කීප දෙනෙකුත් අැවිත් හිටියා ෂෝ එකට. ඒ එක යාළුවෙක් තමයි කනිෂ්ක කියන්නේ. එදා කනිෂ්ක මාව නොදකින්න අද මෙහෙම වෙන්වීමක් නැති වෙන්න තිබුණා.

“දිලි…. ඔන්න මට පාර්ටි ඕනි හරි ද කෙල්ල?….”

“ඇයි ඒ?…”

“ආහ් දැන් මට ද ඔය බොරු කියන්න හදන්නේ…”

“මොකද්ද බොරුව?…”

“මං බලාගෙන අර කනිෂ්ක ඔයා දිහන්මයි බලන් හිටියේ… එතකොට ඩාන්ස් කළේ දෙන්නා?…”

“ආහ් එයා ද කනිෂ්ක ද?…. එයානේ කන්න වගේ බලන් හිටියේ මං නෙවෙයිනේ, ඒක තේරුණාට පස්සේ මං ඩාන්ස් කරන්නේ නැති ව ගිහින් වාඩි වුණේ….”

“අපි බලමුකෝ කෙල්ලේ….”

“මොනා බලන්න ද නිලූ… මං ඔයාට කියල තියනව නෙහ් දේවක ගැන…”

“ඔකේ… ඔකේ…”

එහෙම දවස් ගෙවිල ගියේ අපේ එක්සෑම් ඉවර වෙලා අලුත් සෙමෙස්ටර් එකක්  පටන්ගද්දී. නිලූ එක්ක ටිකක් ඇවිදින්න ගියේ හිත නිදහස් කරගන්න. පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන ගියේ ඇති කියල හිතෙනකල්. ඒත් දෙන්නට ම ඇති වෙන්නෙ නෑ වගේ.

 “හායි නිලුපුලි…”

“හායි අයියේ… කොහෙද මේ යන්නෙ උඩරට මැණිකෙලා දෙන්නා…?”

කනිෂ්ක කතා කරන්නේ නිලූ එක්ක… හැබැයි ඇස් තියෙන්නේ මං ළඟ. එතන ඉන්න බෑ වගේ දැනෙද්දී නිලූටත් නොකිය ම මං ආයෙත් හැරිලා බෝඩිම පැත්තට ආවා. නිලූ එද්දී මං නාල කියලත් ඉවරයි.

 “දිලි …. අර කනිෂ්ක”

“මට එයා ගැන මුකුත් කියන්න එපා නිලූ…”

“ඇයි?…”

“ඇයි අහන්නෙ…. එපා නිසා එපා කියන්නේ…”

“එයා ඔයා ගැන ඇහුවා, මං ඔක්කොම කිව්ව…”

“මගෙන් අහන්නෙ නැති ව ඇයි මං ගැන කියන්න ගියේ…?”

කනිෂ්ක යන එන හැම තැනදි ම දකින්න හිටියා. ඒ හැම දවසක ම නිලූ මං තරහ වෙලා කතාව ඉවර වෙන්නේ. දැන් අවුරුද්දක් පුරාවට කනිෂ්ක මං එක්ක කතා කරන්න හදන්නේ. මං දිනුම්; තාම එක වචනයක් මං කතා කරල නෑ. ඒ තාමත් දේවක එයි කියල හිතන් ඉන්න නිසා. කොච්චර බලන් හිටියත් එයි කියල හි⁣තන්න පුංචි ම හේතුවක්වත් නෑ දැන්.

දැන් දැන් කොළඹ අහස යට තනි වුණ, අතරමං වුණ අසරණයෙක් වගේ. හැමදාමත් වගේ පොසොන් පෝයට අපි පන්සල් ගියා. ඒ අපි යන්න කැමති එක ම තැන. වැවත් එක්ක ම තියන පන්සල හිතට පුදුම තරම් සැනසිල්ලක්. එදත් කනිෂ්ක  මං ඉස්සරහ.

“නංගී… ප්ලීස් ටිකක් කතා කරන්න දෙන්න පුලුවන් ද?…”

දෙන්න උත්තරයක් නෑ, හොඳ හුස්මක් අරන් කනිෂ්ක දිහා බැලුවේ කතා කරන්න  අවසර දුන්නා වගේ, නිලූ බෝ මළුවට ගිහින් ⁣බෝධීන් වහන්සේ ධෝවනය කරනවා.

“නංගී ඔයා මං ගැන දන්නවා ද?… නිලූ කිව්වද?…”

“නිලූ කියන්න හදනවා, මට අහන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ…”

“ඒ කියන්නේ … දැන් අවශ්‍යතාවයක් තියනවා…?”

“උත්තරයක් ඕනි නංගී… දැන් කැමති ද මාව දැනගන්න…”

“බලමු…”

එදා එතනින් පටන් ගත්ත කතාව මේ පන්සල් බිමේදී ම, අද අපි ඉවර කරනවා හරියට ම අවුරුද්දකට පස්සේ මම නම්. කනිෂ්ක නම් අවුරුදු දෙකකට පස්සේ. එදා කතා කරල පටන් ගත්ත ඒ නමක් නැති බැඳීම තවත් එක ලස්සන කතාවක් විතරක් ම වෙනවා. කනිෂ්ක කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක ගුරුවරයෙක්. උඩරට පවුලක එක ම දරුවා. ඉතින් දේවකට අකමැති වුණ අම්මා තාත්තා කනිෂ්කට කැමති වුණා. මේ අවුරුද්දට ම අපි මුණගැහෙන්නෙ මේ පන්සලේ දී ම විතරයි. කනිෂ්ක මාව බලන්න එන හැම දවසක ම මට තෑග්ගක් ගේනවා, මුලදි මුලදි මං එපා කිව්වත් අන්තිමට මාත් බලන් හිටියා අලුත් තෑග්ගක් ලැබෙනකල්.

ඔව්… අද අන්තිමට ම හොඳ ම තෑග්ග මට ලැබෙනවා, විවාහය කියන බැඳීමට වෙන කෙනෙක් තීන්දු වෙලා තිබුණ කනිෂ්ක, අවුරුදු දෙකකට පස්සේ ඒ ගැන කියල යන්න යනවා. ඉතින් ස්තූතියි කනිෂ්ක කොළඹ පාළු මකන්න ළඟ හිටියට, දේවක තරම් ම මාව දරුවෙක් වගේ පරිස්සම් කළාට. ඔයාලට සුබ මංගලම්.

 

කතෘ – හිරුණි ගමගේ

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...