සතර පෙර නිමිති
කතෘ
දසුන් සිල්වා


ජයග්‍රාහි කෙටිකතාව - සිංහල

වේගයෙන් ඇදී ආ දුම්රිය දෙවන වේදිකාව දකිත්ම හති ලමින් තම ගමන් වේගය බාල කරන්නට විය. වේදිකාව හා සමාන්තර වෙත්ම එහි වේගය ඉතා බාල වූ මුත් තවමත් නතර නොවී ඉදිරියට ඇදේ. දුම්රිය නතර වෙන තෙක් ඉවසාසිටීමට නොහැකි පිරිමින් තම බෑග් මලු සමග සටන් කරමින් දිව ගොස් පාපුවරුවට පනී. ඔවුන්ගේ අරමුණ කෙසේ හෝ අසුනක් අල්ලා ගැනීමය. ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත්  කොළඹ දක්වාම සිටගෙන යාමට සිදුවන බව ඔවුන් දනී. දනි පනි ගා නැග ගත් පිරිසෙන් වාසනාවන්තයන් කිහිපදෙනෙක්ට පමණක් දුම්රියේ දොරවල් අසල හිස්ව තිබූ ආසන හිමිවිය. ඉඳගැනීමේ වාසනාව අහිමිවූවෝ සුසුම් ලමින්, හිටගෙන යාමට හිත හදා ගති. පිපුණු රෝසමල් මෙන් මුහුණු පාට කරගත් තරුණ ගැහැණු බුම්මාගෙන සිටින්නේ ආසනයක් හිමි කරගැනීමට නොහැකි වූ නිසාවෙනි. ඔවුන් දුම්රිය මැදිරියේ එහා කොනේ සිට මෙහා කොනටම වේගයෙන් ඇවිදින් යන්නේ කොහේ හෝ මුල්ලක ඉතුරුවූ ආසනයකට ඉව අල්ලමිනි. නමුත් ඒ බුම්මාගැනීම වැඩි කාලයකට නොවේ. තව ටික වේලවකින් මේ සියලුදෙනා තම තමන්ගේ ජංගම දුරකතන වලට මුහුණ ඔබාගනිමින් සිත් සැහැල්ලු කරගනු ඇත. අවසන් වශයෙන් දුම්රියට ගොඩවුනේ මැදිවියැති භික්ෂුවකි. ඊට පිටුපසින් ‘චන්දන’ ය.

භික්ෂුවගේ ගොඩවීම නිසා සීට් ඇල්ලීමේ තරඟයෙන් ජයගත් වාසනාවන්ත තරඟකරුවෙක්ට තම අසුන පූජා කිරීමට සිදුවිය. තම සීට් අත්පත්කරගැනීමේ වාසනාව මිනිත්තු කිහිපයකට වඩා නොරැඳුනු බැවින් ඔහුගේ මුහුනේ ඇඳී තිබුනේ පරාජිත පෙනුමකි. චන්දන, භික්ෂුවගේ අසුන සමීපයේම සිටගති. දුම්රිය හෙමිහිට තම ගමන ආරම්භ කරයි. මග දෙපස ඇති ගස් කොලන් ටිකෙන් ටික වේගය වැඩිකරමින් තමන් පසුකර දුවන්නට ගන්නා අයුරු චන්දනට පෙනේ. 

භික්ෂුව සිය ගමන් මල්ල තුල ඇති පසුම්බියක් ආදරයෙන් පිරිමදිනු චන්දන දුටුවේය. ඒ තුල ඇත්තේ පෙරදින රාත්‍රියේ ධර්ම දේශනාවකට වැඩම කර, දේශනා පඬුරු ලෙස උන්වහන්සේ ලැබූ මොණර කොල සමූහයක් බව දැනගන්නට චන්දනට හැකියාවක් නැත. දේශනා පඬුරු වලට අමතරව උන්වහන්සේ රචනාකල මයිත්‍රී භාවනා පොත් පිංචවල් රැසක්ද දායක සභාව ලවා අලෙවි කරවූ බැවින් ඒ පසුම්බිය තරමට වඩා පිම්බී තිබුණු බව චන්දන්ගේ දෑසට හසුවුනා වියයුතුය.

හචෑචෑචෑස්ස්ස්ස්…..

හාමුදුරුවන්ට එහා අසුනේ වූ තරුණයා මහ හඬින් කිමුහුමක් පිට කලේය. පලවෙනි හචෑස් එකෙන් නතර නොවුනු එය කිමුහුන් පූජාවක් බවට පත්වෙමින් හචෑස් , පචෑස් , හුචෑස් ශබ්ධ නංවමින් දිගට හරහට පිටවන්නට විය. ලේන්සුවක්වත් නහයට නොතබමින් තරුණයා  තම කිමුහුම් පූජාවේ වූ ඛේට අංශු දස දහස් ගණනක් නිදහස් වාතලයට මුදා හරී. හාමුදුරුවන් වහන්සේ ඔහු දෙස ඔරවා බලනු තරුණයා නුදුටුවේ ඒ මොහොතේම ඔහුට පැමිණි දුරකතන ඇමතුමක් නිසාවෙනි. තවත් හචෑස් එකක් පිටකමින්ම තරුණයා “හෙලෝ….” කීවේය. නාසයෙන් පහලට බේරී එලියට එන්නට වලිකන තම සෙම්සොටු දහරාව විටින් විට ඉහලට අදිමින් ඔහු ඇමතුමට උත්තර බඳින්නට විය.

සිය කණ වැකෙනුයේ හචෑස් කොලුවා පවසන දේ පමණක් වුවත් දුරකතන සංවාදයේ සමස්ත අන්තර්ගතය චන්දනට අවබෝධ කරගත හැකිය. ඊට අනුව හචෑස් කොල්ලාට ලෙඩ අනූ කෝටියකි. ඔහුට ‘හචෑස්’ නම යෙදීම කෙතරම් සාධාරණ ද කියා ප්‍රශ්න කලයුතු තරමට ඒ ලැයිස්තුව දිගය.

මේ තරුණ වයසේදීම ඒකාට කොලෙස්ටරෝල්ය,

 ජිම් යාමට ගොස් උලුක්කු වූ දකුණු උරහිසට මාසයක් තිස්සේ බෙහෙත් බැඳේ, 

blood-pressure එකද වැඩිව ඇති බව දොස්තර කියලාය.

බඩේ පැත්තක් රිදෙන එකට සැත්කමක් කරන්නට වෙලාය. සමහරවිට appendicitis වෙන්න ඇති.

නිමක් නැති පීනස නිසා කොණ්ඩය සුදු වේගෙන එන්නේ තරුණ බව මකාලමිනි.

තවත් මොකක්දෝ ලෙඩක් ඇති බව කොල්ලා දුරකතනයට පැවසුවත් චන්දනට එය හරිහැටි ඇසුනේ නැත. පැකින් එක හොඳ වුනත් ඇතුල සවුත්තුය. හාමුදුරුවන් නම් හිතින් වදාරණවා ඇත්තේ ඕවා පූරුවේ කල කරුම දෝස වල වර්ථමාන ශේෂ පත්‍රය කියා වෙන්නට ඇත.

“ලොක්කගෙන් නිවාඩු ඉල්ලුවා බන් ඊලඟ දවස් දෙක. ……කොහෙද ඌ දෙන්න බෑ කිව්වනේ.  යකෝ ලෙඩකටවත් නිවාඩුවක් දෙන්න බැරි කාලකන්නියෙක් නේ……”

තරුණයා දුරකතනයෙන් ආඩපාලි කියයි.

කතාවට කන්දීගෙනම චන්දන වටපිට බැලීය. භික්ෂුවට පිටුපා ඇති අසුනේ සිටියේ මහලු මනුෂ්‍යයෙකි. ඔහුගේ වම් අත වෙව්ලයි. කොණ්ඩය සුදුම සුදු වෙලාය. ඇට ගැහුණු ගෙලෙහි නහර පවා ඉල්පී ඇත. මහල්ලා පෙනුමේ තරමට නාකි නොවිය යුතුයැයි චන්දනට සිතුනේ ඔහුගේ දකුණු මහපට ඇඟිල්ලෙන්  ඉහල පහල යන ජංගම දුරකතන්යේ තිරය දුටු විටය. මහල්ලා සිටියේ මුහුණු පොතේ සැරිසරමිනි. මුහුණු පොතේ ඇති සරාගී නිළියන්ගේ පිටුවක ඔහු උඩ පහළ ගමන් කරයි. යට ඇඳුම් වලින් පමණක් සැරසී සිටින ඉන්ගිරිසි නිලියන් හා නිරූපිකාවන් ගේ රූ එකින් එක ඔහුගේ පිරික්සීමට ලක්වේ. කෙමෙන් කෙමෙන් පෙනීම අඩුවීගෙන යන දෑස නිසා මහල්ලාට සමහරක් පින්තූර නිසි ලෙස පෙනෙන්නේ නැතුවා විය යුතුය. එබැවින් ඔහු සමහරක් පින්තූර බලන විට තම ජංගම දුරකතනය තුලට මුහුණ ඔබාගන්නට මෙන් එහි තිරයට වඩා වඩා කිට්ටු වේ. වඩ වඩා කිට්ටුවෙද්දී  හොඳ සරුවට හැදුණු පියයුරු යුගල් මුහුණේ වදින්නාක් මෙන් හැඟෙන හෙයින්දෝ මහල්ලා මුහුණ සොලවයි.  ටික වේලවකින් ඔහු තවත් පිටුවකට මාරු විය. එය හින්දි ගැහැනුනුගේ රූ රැගත් පිටුවක් විය. එහි වූ කෙල්ලන්ගේ නම් වැඩියෙන්ම පෙනුනේ සුදු පැහැති බඩවල්ය. මහල්ලාගේ දුරකතන තිරය දෙස හොරෙන් බලා සිටි චන්දනට තමන්ගේ සිත ගත රත් වීගෙන එනවා දැනුනි. පෙරදින රැයේ නැරඹූ අසැබි චිත්‍රපටය වහා ඔහුගේ මනැස මත නැවත තිරගත වන්නට පටන් ගති.

චන්දනගේ රාගී දැහැන බිඳුනේ ලෙඩ තරුණයාගේ හචෑස් එකකින් කෝච්චි පෙට්ටිය දෙදරුම් කෑ බැවිනි. මෙවර නම් ඔහු කොහෙන්දෝ ලේන්සුවක් සොයාගෙන තම නාසයත් පපුවත් දෙකම ලේන්සුවට ඉදිරී එන තරම් වේගයෙන් තම සෙම් සොටු දහරාව ලේන්සුවට ඇද දැම්මේය. තරලමය සෙම් සොටු දහරාව ඇතිල්ලීමේ ශබ්ධයෙන් අප්පිරියාවක් ඇති වූ චන්දන නැවත හික්ෂුව දෙසට එබුණි. උන්වහන්සේ තම මුහුණු පොත් ගිනුමට වැඩ හුන්සේක. 

“පර හම්බයන්ගෙන් මේ සිංහල දීපේ ගලවාගන්න සුජාත හෙළයිනි එකතු වෙව්…..”

හාමුදුරුවෝ මුහුණු පොතේ දේශනාවක් කොටා ඇත.

චන්දන, හාමුදුරුවන්ගේ නම කියවාගන්නට උත්සහ කලද “ඥ”, “ඤා ” වලින් සැදි නමක් ඉන්ගිරිසියෙන් දමා තිබූ නිසා හරියට කියවාගත හැකිවූයේ අන්තිමට තිබූ “Thero” කෑල්ල පමණි.

දුම්රිය නැවත හතිලමින් තම වේගය අඩුකරන්නට ගෙන ඇත්තේ ඊලඟ නැවතුම ආසන්න  නිසා විය යුතුය.ටික වේලාවකින් යකඩ ගැටෙන බරාස්ස්ස්ස්ස් සද්දය නංවමින් දුම්රිය නතරවිය. චන්දන දුම්රිය දොරටුවෙන් පිටත පෙනෙන කොන්ක්‍රීට් පාර දෙස බලා සිටින්නට විය. පාර පටන් ගන්නා තැනට දෙපස වූ කණු දෙකක් අතරට ගැට ගැසුනු ලණුවක, සුදු කොඩි දෙකක් එල්ලී මද සුලඟට ලෙලදේ. කලකින් නොවැටුනු වැසි නිසා වේලී කරකුට්ටන්ව ගිය කොන්ක්‍රීට් පාරටත් වලාකුලින් තොර වූ නිල්ම නිල් අහසටත් මැදි වූ හිස් අවකාශය තුල සුදු කොඩි දෙක තනි වී ඇත. කොන්ක්‍රීට් පාරේ මීටර් 25ක් පමණ යද්දී තරමක් ලොකු වංගුවක් ඇති බැවින් පාරේ මදක් දුරට යනකල් පමණි චන්දනට දැකිය හැක්කේ. ඒ පෙනෙන කොටස සම්පූර්ණයෙන් පාලුවට ගිහිල්ලාය. වැසි දිය නොලැබ කේඩෑරි වී ගිය තණකොල ගොල්ල දුඹුරු පැහැයට හැරෙමින් පවතී. මෙහෙම ගියොත් කොන්ක්‍රීට් පොළවේ පැහැයත් ගස් වල පැහැයත් සමානව පෙනෙනු ඇත. එවිටම වංගුවෙන් මතුවූයේ සුදු හැඳගත් තරුණයෙකි. ඔහු වේගයෙන් පාර දිගේ පැමිනෙමින් සිටී. ඔහුගේ අතේ සුදු කොල කැබැල්ලකි. සමහරවිට එහි ඇත්තේ මුද්‍රණය පිනිස ගෙනයන මරණ දැන්වීමයැයි චන්දනට සිතේ. එහි දෙපසක උපත හා විපත සඳහන් දින වකවානු ලියවී ඇති. මැදට වන්නට මැරුණු කෙනාගේ රූපයක් ඇති. තේජාන්විත ජීවයෙන් යුතු බැල්මක් රූපයෙන් එල්ල වුනත් සැබවින්ම තවදුරටත් ඒ බැල්මට මෙලොව හසු වෙන්නේ නැත. මන්ද වංගුවෙන් එහා කොහේ හෝ ගෙදරක සාලයක් මැද සදහටම පියවුනු දෑසක් ඇති මෘත කලේබරයක් බවට ඒ බැල්මේ අයිතිකරුවා රූපාන්තරණය වී ඇති බැවිනි. 

“කවුද දන්නෑ මැරිලා තියෙන්නේ”….චන්දන තාමාගෙන්ම ඇසීය. 

මැරී ඇත්තේ මහල්ලෙක්ද? නැතිනම් ලෙඩෙක්ද?…..කොහොම උනත් ඒ භික්ෂුවක් විය නොහැක. භික්ෂුවක් උනානම් කොන්ක්‍රීට් පාර මීට වඩා ලකයක් ඇතුව දුක්වනු ඇත.සුදු පාට වෙනුවට තැඹිලිපාට වෑස්සෙනු ඇත.

මියගිය කෙනා එතරම් ධනවතෙකුද විය නොහැක.එසේ වුනා නම් පාර දිගට ලොකු ලොකු වාහන නවතා තිබෙණු ඇත, මීට වඩා ගාම්භීරෙට මග දෙපස හැඩ වනු ඇත……ඒත් මැරුණු කෙනාට ඉන් ඇති ඵලය කිම ?….ගුණ වැයුම් ගොඩක්, බෙර වාදන පෙලක්, පාවඩ උඩින්, නිල් අහස යටින් ඔහු හෝ ඇය අවසන් ගමන යනු ඇත. සැබවින්ම එය ගමනක් වන්නේ පණ තියන උන්ට මිස  මෘත දේහයට නොවේ. මිනියක් අවසන් ගමනක් ඇවිද්දවන පණ තියන උන්ගේ කඳුලු ගොඩක් බිම වැටීමෙන් මහ පොළව යාන්තමින් තෙමෙණු ඇත. නමුත් පොලවට අවසානයේ වැදගත් වන්නේ කඳුලු නොව පොළවට පස්වී පොහොර වන මැරුණු එකාගේ සම්, ඇට  සහ ඕජස්ය. 

තම අසුනට යාබද අසුනට ගැබිණි කතක් පැමිණි බැවින් මහල්ලාගේ අඩ නිරුවත් නිළි රාගය බිඳී ගියේය. හෙතෙම වහාම දුරකතය තම කලිසම් සාක්කුවට ඔබා ගත්තේ කිසිවෙක් දැක්කාදැයි සැක හැර දැනගැනීමට මෙන් වටපිට බලමිනි. වටපිටාව සිසාරන ඔහුගේ දෑසට පිටුපස අසුනේ සිටි භික්ෂුව යාන්තමට දර්ශනය විය.

“අපේ ශ්‍රේෂ්ඨ ජාතිය බේර ගන්න වෙලා තියෙන්නේ අවජාතක සිංහල පොන්නයන්ගෙන්මයි…”

හාමුදුරුවෝ  තම මුහුණුපොත් පෝස්ටුවකට කමෙන්ටුවක් දමයි. 

“මේ වගේ පොන්න වේ..”

” මේ අපේ හාමුදුරුවෝ නෙව”….මහල්ලා භික්ෂුව දෙසට හැරී ඇමතීය. 

“අහ්…. මේ අපේ උපාසක මහත්තයනෙ….මම මේ ඊයේ රාත්‍රියේ බණකට වැඩලා එන ගමන්…..පුදුම සෙනග කන්දරාවක් එකතුවුනා බණ දේශනාව අහන්න. “

“මයිත්‍රී භාවනාව පිලිබඳ ලියවුණු මගේ පොත ගැන දේශනාවකුත් කලා”……..හාමුදුරුවෝ බාගෙට කෙටූ කොමෙන්ටුව මකා දැමමින් පැවසීය.

“අපිට ඉතින් නිවාඩුවක් පාඩුවක් නෑ උපාසක මහත්තයෝ. මිනිස්සුන්ට මයිත්‍රිය වඩන්න කියාදිදී රට වටේ වඩිනවා…”

“අනේ සාධු…!! මාත් මේ හාමුදුරුවන්ගේ දේශනාවක් පෝන් එකෙන් අහන ගමන් හිටියේ ……..”එය කියන විට මහල්ලාගේ ඇස් නැටවිනිදැයි චන්දනට කුහුලක් ඇතිවිය.

“මටත් නිවාඩුවක් කලාවක්  නෑ අපේ හාමුදුරුවනේ. ගෑනි මලත් හරි දැන් දරු මුණුපුරන්ගේ රාජකාරි මට පැවරිලා.ඒවා අපෙන් කෙරෙන්න ඕනි යුතුකම්නෙ. මම මේ පුතාලාගේ ගෙදර යන ගමන්. ඉස්කොලේ නිවාඩු කාලෙ නිසා ළමයා බලාගන්න විදිහක් නෑ කියල මට එන්න කිව්වා.”

“බොහොම හොඳයි….බොහොම හොඳයි” හාමුදුරුවෝ නැවත තම පසුම්බිය අතගානගමන් කවුලුවෙන් ඉවත බලාගති.

අනෙක් පස ඉඳගත් ගැබිණි කත ඒ ටිකට නින්දට වැටී ඇති බැවින් මහල්ලා නැවත තම ජංගමය ගෙන තවත් මුහුණු පිටුවකට පිලිපන්නේය. එහි වූයේ අලුත විවාහ වූ ජෝඩුවකගේ පින්තූර සමූහයකි. මනාලිය තම යෙහෙලියන් සමග කෙටි කිමෝනාවලින් සැරසී ගත් පින්තූර දෙස මහල්ලාත් මහල්ලාගේ ගෙලට ඉහලින් චන්දනත් බලා සිටී. කෙල්ලන්ගේ නිරුවත් දෙපා අමුතුම දීප්තියකින් දිලිසේ.මහල්ලා එකින් එක පින්තූර තිරය මත දිග හරී.

මගුල් ඇල්බමයේ අවසානය ලඟාවෙමින් පවතී. එහි අවසාන පින්තූරයේ මනාල ජෝඩුව පිටත්ව යන වාහනයේ වීදුරුව මත “අද ඉඳන් අතට නිවාඩු” කියා මොනවායින්දෝ ලියා තිබුණි. කාරය වටා රැස් වූ තරුණ තරුණියන්ගේ මුහුණු සිනාවෙන් පිරී ඇත. තරුණියන්ගේ මුහුණු දෙව්ලොවින් බට සුරඟනන්ගේ මෙනි. මනාල ජෝඩුව ජයට පහට සරසා ඇති මාර්ගය දෙස ප්‍රීතියෙන් බලා සිටිති. හැඩැති වැඩති මාර්ගයක් ඔස්සේ ජීවන සහකරුවකු සමග දිගු ගමනකට   මුල පිරීමට ඇත්තේ මොහොතක් පමණක් නිසා වෙන්න ඇති.

දුම්රිය පිටත්වීම ඇරඹීය. චන්දන නැවතත් කොන්ක්‍රීට් මාර්ගය දෙස බැලීය. දුම්රිය සෙමෙන් ඉදිරියට යත්ම පාරේ වංගුවෙන් එහා කොටස ඔහුගේ නෙත ගැටුණි. වංගුවෙන් එපිට කලු පැහැති දිගු කාරයක් නවත්වා තිබේ ඒ වටා රැස් වූවන් ලේන්සු වලින් තමන්ගේ දෙනෙත් පිසිණු පෙනේ.  ඒ කිසිඳු මුහුනක් දිදුලන්නේ නැති බවනම් සහතිකය. කාරයත් ඊට මදක් ඔබ්බෙන් ඉහළට ඉදි කර ඇති අවමංගල තොරණත් වටා මිස ඉන් එහාට පාරෙහි මිනිස් පුලුටක් නැත. පේන තෙක් මානයක් දක්වා දුර්වර්ණව ගිය කොන්ක්‍රීට් පාරය.තොරණේ කිසියම් පාඨයක් සඳහන් කර ඇතත් චන්දනට එය පැහැදිලිව පෙනෙන්නේ නැත. එහි කුමක් සඳහන් කලානම් හොඳද? …..”අද ඉඳන් හැමදාම නිවාඩු” එහෙම ගැසුවානම් එහිද වැරැද්දක් නැතැයි චන්දනට සිතුණි.

හචෑඊස්ස්ස්ස්……..

කිමුහුමත් සමග තවත් call එකකි…

“සර් …අනේ සර්….. අද දවසට විතරක්වත් මට නිවාඩුවක් ගන්න බැරිද ?”

 

කතෘ – දසුන් සිල්වා

ජයග්‍රාහී කෙටි කතාව – සිංහල

 

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...