විජයාලතරණය 2K17
කතෘ
දසුන් සිල්වා


රුවල් නැව ලතාවකට සමුදුරු දිය මත උස්පහත් වේ. නැවේ සිදුවන ලාලිත්‍යමය චලිතය නැව් වැසියන්ට ආශ්වාදයක් ගෙන නොම එන බව උන්ගේ විඩාපත් මුහුණු වලින් පෙනේ. මහා ගිනි මද්දහනක අහස්කුස අරක් ගත් සූර්ය දෙවියන් තම චණ්ඩ දින කිරණ නැව් වැසියන් මත පතිත කරනුයේ කිසිඳු අනුකම්පාවකින් තොරවය. ඒ චණ්ඩ කිරණෙන් ඔවුන් මුදා ගැනීමට සමත් කුඩා වළා රොදක්වත් අහස්කුස තුල නොතිබූ බැවින් මුලු ගුවන් තලයම තද නිල් පාටින් බබලන්නේ වෙයි. මේ ගෙවීයනුයේ තමන් මහා සමුද්‍රය මැද ගත කරන සත්වන දිනය බව විජය කුමරුගේ ගණනයට හසු වෙයි. පුරා සත් දිනක් මහා සාගරය මැද කිසිඳු අහරකින් තොරව ජල පානයෙහි පමණක් යෙදෙමින් යන මේ ගමන නිම වන්නේ තම මරණයෙන් විය නොහැක්කේද?

විජය කුමරු තෙමේ තම පිරිස දෙස නෙත් හෙළීය. ඔවුන් සියලුදෙනා රුවල් නැවේ තැනින් තැන වැතිර හැකි පමණින් තම මුහුණු දින කිරණින් ආරක්ෂා කරගැන්මට අලස උත්සහයක යෙදෙන්නේ නිල් අහස් තලය දෙස හෙලා සිටින හිස් බැල්මක් සමගිනි. සත් දිනක් තිස්සේ ජල පානයෙන් පමණක් දිවි ගෙවන උන්ගේ මුහුණු චණ්ඩ හිරු එළිය කරන කොට ගෙන කලුම කලුවෙලාය. නිසි නින්දක් නොලැබීමෙන්  ඉදිමුණු ඇස්  බිමට කඩා වැටෙන්නට මෙන්ය. දිවා රෑ මුලුල්ලේ ලුණු මිශ්‍ර මුහුදු සුලඟට නිරාවරණය වූ තොල් පැලී ගොස් පැලුම් පාරවල් ලුණු බැඳිලාක් මෙන් සුදු පාට වෙලාය. 

තම පුත්‍ර රත්නයත් ඔහුගේ මිතුරන් නඩයත් බමන මතින් කරන්නාවූ නොපනත්කම් ද, තම රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගනිමින් රට වැසියාට කරන්නාවූ අසාධාරණකම් ද, නිමක් නොවූයෙන් සිංහබාහු රජ තෙමේ මහත් ලෙස කිපී සිටියේය.එම කෝපාග්නියෙහි කෙලවර වූයේ විජය ඇතුලු සත්සියයක් පිරිස ලාට රටින් පිටුවහල් කිරීමය. ඔවුන් සියල්ලගේ හිස් මුඩු කෙරුණු අතර, යටි කය ඇඳුම හැරෙන්නට අන් සියලු ඇඳුම් ඉවත් කෙරින. ඉන් ඉක්බිති විශාල රුවල් නැවකට නැග්ගවූ එම පිරිස මහ සමුද්‍රය මැද අතරමං කෙරුනේ බීමට යන්තමින් සෑහෙන ජල බූලි කිහිපයක් පමණක් ඔවුන් සන්තක කරමිනි. කිසි ලෙසකින්වත්, කිසිඳු තැනැත්තෙක් අරබයා නොනැවෙන විජයගේ මුරණ්ඩු හිත සිය පි‍යාණන් වහන්සේ දුන් ඳඬුවම නිසාවත් හඬා වැටුනේ නැත. ඔහු නොවේ පියා ඉදිරියේ සමාව ඉල්ලා වැඳ වැටුනේ. නොසැලෙන වීර්යෙන් හා ආඩම්බරයෙන් යුත් විජයගේ සිත, තමන්ට උරුම යම් අනාගත භාග්‍යයක් වේද එය මහ සමුදුර හා සටන් කර උරගා බලමියි , යන චේතනාවෙන් යුතුව ඳඬුවම භාර ගති. එම උරගා බැලීමේ තවත් දිනයක් මෙසේ ගෙවී යමින් ඇත……

තම පිරිස අතර යම් උද්දාමයක හඬක් යාන්තමට නැගී එන හඬ ඇසුනෙන්, විජය තම දැහෙනෙන් මිදී නැව් තට්ටුව දෙසට අපහසුවෙන් පිය මනින්නට වූයේ පුපුරන්නට ආසන්න වූ තම කෙස් රහිත හිස අතින් පිරිමදිමිනි. තම සගයන් උනන්දුවෙන් අත් දිගු කරමින්, දෙපා තුඩු වලින් ඉස්සෙමින් , ලොවි ගෙඩි වන් දෑස් කුඩා කරමින් පිරික්සන ඉසව්ව විජයගේ නිරීක්ෂණයට ලක්විය. සගයන් තුල නැගී ඇති ප්‍රීති සහගත බලාපොරොත්තු ප්‍රවාහය ඔහුගේ සිත තුලටද කඩා වැදුණි. මහා සමුද්‍රයේ එක් අන්තයකින් දූපතක සලකුණක් මෝදු වෙමින් ඇත්තේය. විජයගේ සිතත් ගතත් කිසිදාක නොවුණු තරම් ප්‍රීතියකිනුත් සහනයකිනුත් වෙලුනේය. 

ඔව් …. ඔව්…. එය දූපතක්ම තමයි.

තමන් පාවී යන්නේ එදෙසටය…..

පුරා දින හතක් මහා සමුද්‍රය මැද මංමුලාව ගෙවූ සමය අවසන් කරමින් ඔවුන් නමක් නොදන්නා දිවයිනට පය ගැසූහ. බොහෝ දෙනකුට ඇවිදීමට තරම් ශක්තියක් නොතිබුණෙන් ඔවුන් වැල්ල දිගේ බඩ ගෑවයැයි කිව හැක. සියලු දෙනාගේ මුහුණු වල පැතිර තිබුනේ වචනයෙන් විස්තර කල නොහැකි ප්‍රීතියකි. ඒ ප්‍රීති සහගත හැඟීම මැද ඔවුන් මවිත කල අපූර්වතම දෙයක් වූයේ අලුත සොයගත් දිවයිනෙහි මුහුදු වැලි වල අරුම පුදුම වර්ණයයි. එ වැලි තඹ පාටින් බැබලුනේ වී, පිරිස අතර යම් නොසන්සුන් කුතුහලයක් පැතිර ගියේය. 

“තම්බපන්ණි…….තම්බපන්ණි……”

 තඹ වර්ණ ගත් මුහුදු වැලි තම අත්ලවල් අතර සිර කරගනිමින් ඔවුන් මිමිනූහ.

“ඔව්…..තම්බපන්ණි…..” තමාටම මුමුණාගත් විජය හිටිවනම තම දෑසට හසුවූ සත්වයා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේය. ඒ බැල්ලකි. සුදුත් කලුත් බැල්ලකි. බැල්ලක් යනු මිනිස් වාසයක ස්ථිර සංඥාවක් බව විජයට වහා කල්පනා වූයෙන්, ඔහු වහා වහා බැල්ල පසු පස යන්නට වූයේ තම පිරිසෙන් මිදෙමිනි.

***********************

බෝට්ටුවෙහි හුන් පොඩි එකෙක් මහ හඬින් මොර දෙන්නට වූයෙන් විජයන්ගේ නින්ද කැඩිනි. බෝට්ටුවේ උන් මිනිසුන්ගේ හිස් මතට කෙලින්ම කඩන් පහත් වන හිරු එළිය පොඩි එකාට දරා ගැනීමට හැකි වන්නේ කෙසේද තමන්ටවත් එය දරාගන්න බැරි කොට, විජයන් සිතුවේය. මෝටර් බෝට්ටුවේ වූ ඉන්ධන අවසන් වූයේ මීට පැය කිහිපයකට පෙරය. හරිනම් තමන් මේ වෙද්දී දකුණු ඉන්දියාව කිට්ටුවට පැමිණි තිබිය යුතුය. නමුත් ඇසට හසුවන මානයේ ගොඩ බිමක සලකුණක් නොපෙනේ. තමන්ට මග වැරදුනාවත්ද ?…..

තමන් මිරිදිය මසුන් බානා ධීවරයෙක් පමණි. මහ මුහුද මැද යාත්‍රා කරන නැව් කප්පිතෙකු තියා කරදිය ධීවරයෙකු තරම්වත් මුහුද ගැන දැනුමක් නැති තමන් ,  මරණයෙන් යාන්තම් දිවි ගලවාගත් , තුවාල ලැබූ මිනිසුන් හා ගැහැණුන් පිරිසක් රැගත් සරණාගත බෝට්ටුවක ප්‍රධානියා වීම අපූරු සිද්ධියකි. එය සැබවින්ම අපූරු සිදුවීමක්ද නැතිනම් නොවියයුතු සිදුවීමක්දැයි ලිහා ගැන්මට විජයන්ගේ සිතට ඉස් පාසුවක් නැත. බලන බලන අත ඇත්තේ විසල් සාගරයම පමණි. ඔහුගේ දකුණු කකුලේ වූ කැපුම් තුවාලයත් නලලේ වූ තඩිස්සියත් විටින් විට රිදුම් දේ, ….ඔව් බලන බලන අත මහ මුහුදම පමණි…..තමන්ට මග වැරදී ඇත. ඒ පසු තැවිල්ලත් තුවාලයෙහි වේදනාවත් නිසා ඔහුගේ දෑස් මදින් මද පියවේ.

එක් වරම මහ හඬක් නැගුනෙන් විජයන් නැවත අවදි විය. මෙවර හඬ පොඩි එකාගේ නොව නොදන්නා භාෂාවකින් කතා කරනා පිරිමින් සමූහයකගේය. කිනම් මොහොතක බෝට්ටුවට ගොඩවූයේදැයි සිතා ගත නොහැකි ඔවුන් සියලු දෙනා තද නිල් පැහැති නිල ඇඳුමකින් සැරසී සිටිති. ඉන් බොහෝ දෙනකු අත ගිනි අවි විය. ඔවුන්ගේ ප්‍රධානියායැයි සැක කල හැකි තැනැත්තා විසින් වේගවත් ප්‍රශ්න වැලක්  විජයන් මත පටවන්නට ගත්තේය.. නිසැක වශයෙන්ම තමන් ඉන්දියාව ආසන්නයට පැමිණ ඇතිවා විය යුතුය. ඉන්දීය නාවික හමුදාවට තමන් මුණ ගැසී ඇත. කිනම් සහනයක්ද ?…..නමුත් ඔවුන් කතා කරන භාෂාව තමන්ට හුරු නැත්තේ ඇයි ?

භාෂා ප්‍රශ්නය නිසා තමන්ට නිසි පිළිතුරු නොලැබෙන බව වටහාගත් නාවික පිරිස හනි හනික මුලු බෝට්ටුවම සෝදිසි කිරීමකට බාජනය කළෝය. දැඩි සෝදිසියකින් පසු සෑහීමකට පත් නාවික පිරිස විසින් බෝට්ටුව ඔවුන්ගේ භාරයට ගන්නා ලද අතර විජයන් ඇතුලු තිහකට ආසන්න පිරිස නාවික හමුදා යාත්‍රාවට නංගවා ගන්නා ලදී. ඉමහත් කුසගින්නෙන් සිටි ඔවුන්ට පැකට් කරන ලද ක්ෂණික අහාර වර්ගයක් කෑමට ලැබුනේ නාවික සෙබලුන්ගේ කරුණාව නිසාය. එය දිව්‍යමය රසකින් යුක්තයැයි විජයන්ට සිතුනේ දින කිහිපයක්ම කුසට නිසි අහරක් නොලැබුනු නිසාවෙනි. ස්වල්ප වේලාවක් යද්දී ඔවුන් ගොඩබිමකට ලඟා වූහ. සෙබලුන්ගේ උපදෙස් පරිදි ඔවුන් දැඩි සෝදිසියකට ලක්වූ අතර ඉන්පසු ගැහැණු, පිරිමි වෙන් වෙන් වශයෙන් කඳවුරක් තුලට යවන්නට විය. කඳවුරේ මහා තාප්පය මත නොදන්නා භාෂාවකිනුත්, ඉංග්‍රීසි භාෂාවෙනුත් ලියා තිබුනේ කඳවුරේ නම විය යුතුය.

Sri Lanka Navy …….යාන්තමින් ඉංග්‍රීසි කියවීමට දැන සිටි විජයන් අකුරෙන් අකුර ගැට ගසා එය කියවූයේය. තමන් පැමිණ ඇත්තේ ඉන්දියාවට නොවන බව ඔහු අසල සිටි මොහොමඩ්ට කොඳුලේය. මොහොමඩ් එය අස්ලම්ටත්, අස්ලම් එය ඉක්බාල්ටත් කෙඳිරුවේය.

***************************

විජය කුමරු හති ලමින් කුවණ්නාගේ සිරුර මතින්  වැලි පොළව මතට පතිත විය. ඊට මද වේලාවකට පෙර හැඳ සිටි සලු පිලි අහසට විසි කරමින්, නිමක් නැති චුම්බනයන්ගෙන් සියොලඟ තෙත්කරමින් , උනුන් විකා ගනිමින් වැලි පොළව හැඩි කල ඔවුන්ගේ කාම සම්භෝගය නිම වුනේ දැන්ය. කුවණ්නාගේ මන බඳින දෑස ඔහුට සෑම විටම ඉඟි කරමින් ආරාධනා කලාය. උඩු කය නිර්වස්ත්‍රව ගත කල මේ යක්ෂ ගෝත්‍රික රැජින මුන ගැසුනු පළමුදා පටන් විජයෙගේ  දෑස් රැඳී තිබුනේ ඇගේ පුන් පියවුරු අතරය. ඒ පියවුරු අතරේ තම මුහුණ සඟවන්නට ලැබෙන අවථාවක් කෙරෙහි ඔහු සිහින දුටුයේය. ඇයද ඔහු තුරුලේ මුලු ගැන්වීමට නොතිත් ආශාවෙන් සිටි බවට සාක්ෂියකි ඔවුන්ගේ මේ අති උණුසුම් පෙම් කෙළිය. දෙදෙනාගෙන් ගලූ දහදිය උනුන්ගේ ශරීර එකිනෙක අලවා තබන තරම් බලවත්විය. දහඩියට ඇලීගිය සිරුරු වලට ඈඳුනු වැලිකැට නිසා අත පය සීරී ගියත් ආගන්තුක යුවල නොවේ එය පයිසෙකට මායිම් කලේ. උනුන්ගේ සිත් කෙතරම් ආගන්තුක වුවත් එකිනෙකාගේ පහසින් වහ වහා ඇවිලුණු උන්ගේ සිරුරු නම් තවදුරටත් ආගන්තුක වූයේ නැති. ඒවා සෑම රෝම කූපයක් පාසාම හඳුනාගැනීමේ සලකුණු යොදමින් එකිනෙකා තුල කිමිදුණහ.

සියොලඟම සුවපත් කල සුරාන්තයකට පසු , ආශාවෙන් මත්ව දරදඬුව ගිය රහසඟයන් කෙමෙන් කෙමෙන් මලානිකව යන පශ්චාත් රති කෙලි සමයේ ,අසල තිබූ ගලක් මතට හිස බර දුන් විජය කුමරුගේ දෑස් පියව යන්නේ සැන්දෑ මද පවන ගෙනෙනා සනීපදායක සිසිලස ඔසුවක් කරගනිමිනි. ඒ සිසිල් මද පවන මැදින් පොළව දෙදරා යන තරම් ගෙරවුම් හඬක් නගමින් ඔහු වෙත පිනූයේ මහා සිංහ රාජයෙකි. උගේ තියුණු උල් නිය පහරින් බේරීම විජයට ලේසි පහසු කටයුත්තක්  නොවේ. සිහ රජු එල්ල කළ වේගවත් පා පහරකින් ඔහුහේ දෑස ගැලවී නොගියේ මහා වාසනා මහිමයක් නිසාම විය යුතුය. ඇස් අද්දරින් විදුලි වේගයෙන් ඇදී ගිය උල්වූ නිය කට්ටලයෙහි දීප්තියෙන් විජයගේ දෑස් මොහොතකට අඳ විය. ඒ අඳ බාවයෙන් අන්ද-මන්ද වූ කුමරු පය පැකිල බිම වැටුනෙන් සිංහයා තම විසල් මුඛය හයා ගෙන කුමරුවා වෙත වේගවත් පිම්මක් පිනුයේ, කුමරුවාගේ අත් පා සතර උගේ පා සතරට යටත් කරගනිමිනි. සිහ රජුගේ තියුණු විශාල දත් වලින් කුමරුන්ගේ ගෙල විකා හිස කඳින් වෙන් කිරීමට ගත වනු ඇත්තේ තවත් තත්පර කිහිපයක් පමණි. එවිටම කොහෙන්දෝ ආ විදුලි වේගවත් අසිපත් ප්‍රහාරයකින් සිංහයාගේ විසල් හිස දෙබෑ වී ගියේය.

“මොහොතකුදු නොනැවතී වහා පලා යව……”

අසිපතෙහි තැවරුණු සිංහ ලේ පිසදමමින් සිංහ සීවලී බිසව පැවසීය. සිංහයා මරා දමා තම ප්‍රාණය ගලවාදී ඇත්තේ තම දයාබර මෑණියන් බව කුමරුට වැටහිණි. ඇය කවදත් තමන්ට මහත් වූ දාරක ප්‍රේමයෙන් සැලකුවාය.

“යක්ෂ ගෝත්‍රිකයන් තොපව ඝාතනය කිරීමට පිඹුරුපත් අඳින්නේය. ඉක්මන් නොවුනහොත් තොපේ හිස කඳින් වෙන් කරනු ඇත්තේ මේ සිංහයා නොව මෙබිම ස්වදේශිකයන් වූ යක්ෂයන් ය.”

සීවලී බිසව විජය කුමරුට අසිපත බාර දුන්නාය. මොහොතකට පෙර සිංහ ලෙයින් නැහැවී තිබූ අසිපත දැන් නැවත දිස්නය දෙන්නට පටන් ගෙන ඇත්තේ එහි මුවහතේ තරම කියා පාමිනි. විජය ආඩම්බරයෙන් අසිපත අහසට එසවීය. එවිටම ඈතින් නැගෙන මහා රණ හඬක් ඔහුගේ සවනත වැකිණ. ඒ යක්ෂයන්ගේ රුදුරු රණ හඬයි. පමා වුවහොත් තමනුත් තම පිරිසත් මේ ආගන්තුක බිමෙහි තඹවන් වැලිතලාවේ වැලලී යනු ඇත. ඔහු අසිපත ගෙන වේගයෙන් තම පිරිස සිටි දෙසට යාමට හැරුනේය. හැරෙනවාත් සමගම තියුණු කිනිසි පහරක් ඔහුගේ උදරය පලා කිඳා බැස්සේ ඔහුගේ රුධිරය පීප්ප්යක් මෙන් වගුරවමිනි. …….

විජය මොර දෙමින් තම සිහිනයෙන් අවදිවිය.

****************************

කලකට පසු නිදහසේ ඇඳක් මත නිදා ගන්නට ලැබීම නිසාදෝ විජයන්ට සුව නින්දක පහස ලැබිණි. තම රැඳවුම් නිවස්නය පිටතින් නැගෙන යම් ඝෝෂාවක හඬක් සවනත වැකුනෙන් ඔහු ඇඟ මැලි කඩමින් අවදි විය. ඝෝෂාව නැගෙන්නේ තාප්පයට එපිටින්ය. ඔහු තමන් රැඳී සිටි තෙවන මහලේ ජනේලයකින් එබී පාර දෙස බැලීය. රැඳවුම් නිවස්නය වටා මහා ජනකායකි. ඔවුන් යම් පුවරු වගයක් සහ පාට පාට කොඩි වගයක් උස්සාගෙන මහ හඬින් විරෝධය පායි. ඒ අතර ස්වාමීන්වහන්සේලාද විශාල ප්‍රමාණයක් සිටින බව ඔහුට පෙනින. 

“මුන් ත්‍රස්ථවාදියෝ මහත්තයෝ…..මුන් මියන්මාරෙන් පැන්නුවට පස්සේ හොරෙන් හොරෙන්  මෙහාට පංගාර්තු වෙලා මේ රට අල්ලගන්න හදන්නේ….”

“ඒවට ඉඩ දෙන්න බෑ මේ සිංහල බෞද්ධ රටේ. ….ඉස්සෙල්ලා කොටි ත්‍රස්තයෝ දැන් රොහින්යා ත්‍රස්තයෝ…”

හාමුදුරුවන් වහන්සේ නමක් වේගවත් ස්වරයෙන් පොලිස් නිලධාරියෙක්ට පවසන දෑ විජයන්ට වැටහුනේ නැත්තේ ඔහු දන්නා සිංහල භාෂාවක් නැති නිසාය. පොලිස් නිලධාරියා හාමුදුරුවන් අස්වස්සන්නට මහත් වෙහෙසක් ගන්නා මුත් වටේ සිටිනා අනෙකුත් හාමුදුරුවන් වහන්සේලාත් අව් කන්නාඩි දමා රැවුල් වැවූ තරුණයන් රොත්තකුත් ඔහුට පරුෂ වචනයෙන් බැන වදී. විටෙක හූ තියයි. ඔවුන්ගේ තර්ජනාත්මක හා අපහාසාත්මක වදන් ප්‍රහාර ඉදිරියේ පොලීසිය අසරණව ඇති අයුරකි. වේගයෙන් පියඹා ආ ගලක් විජයන් රැඳී සිටි වීදුරු ජනේලය කුඩු කරමින් ගේ තුලට වැටිනි. විසිර ගිය වීදුරු කටුවකින් ඔහුගේ නලල් තලය සීරීනි. ඉන් පසු ගල් වරුසාවක් වීදුරු කුඩු කරමින් ඉගිල එන්නට වූයෙන් විජයන් ජනේලය ලඟින් මෑත් වූයේය. පිටත සිටි එකා දෙන්නා තාප්පය මතින් ඇතුලට පැන නිවසට පිවිසෙන්නට තැත් කරයි.

විජයන්ට තම මවු බිමේදී මුහුණ පෑ අබග්ගයන් සිහියට නැගිනි. පරාණ බය නැවත ඔහුගේ සිතට පිවිසිනි. ඔහු වහා දිවගොස් ගෙය පිළිකන්නේ වැසිකිලිය පිටුපස සැඟවුණේය. නිවස ඉදිරිපස ඝෝෂාව එන්න එන්නම වැඩිවේ. විජයන් බියෙන් ගැහෙමින් ඒ හඬට කන්දෙයි.

“හැංගිලා ඉඳලා වැඩක් නෑ. මේ කඩුව අරන් මරාගෙන පලයන් හැමෝවම…..ඊට පස්සේ මේ රට අපේ….”  

කොහෙන් පහත් වුනේදැයි සිතා ගත නොහැකි මිනිසෙක් විජයන්ගේ උරහිසට තට්ටුවක් දමමින් පැවසුවේය. මුවහත නිසාම දිස්නය දෙන කඩුවක් විජයන්ට දිගු කරමිනි ඔහු කතා කරන්නේ. ඔහුගේ හිස බූගාලාය. ඇඳුම පුරාණ රජ සමයේ ඇඳුමකට සමානය. ඔහු අත ඇති මුවහත් කඩුවද පුරාණ රජ සමයක එකක් විය යුතුය. තමාට නොපෙනී ඔහු මෙතැනට කෙසේ පැමිණියේද?..විජයන් තවමත් කල්පනාවේය.

“බය නැතුව කඩුව ගනින් මිනිහෝ… කුවේණි ඉන්නෙත් අපේ පැත්තේ…..ඒකි අපේ පැත්තට නැවිලා ඉන්නකල් මේ රට අල්ලන එක මහ කජ්ජක් නෙවී අපට.”    හිස බූ ගෑ මිනිසා නැවතත් පැවසුවේය.

“මම ආවේ රටවල් අල්ලන්න නෙවී. මගේ පණබේරගන්න. මගේ රටත් මට ඕන නැති කොට මට මොකටද වෙන රටවල්”

විජයන් පැවසීය.

“උඹ නම් මහම මහා මෝඩයෙක් “…………………කියූ තට්ට මිනිසා වත්ත පිටු පස තාප්පයෙන් පැන පලාගියේය. විජයන් තක්බීරි වී එදෙස බලා සිටියේය.

“තමුසේ මෙතන හැංගිලා ඉඳලා මැරුම් කන්නද හදන්නේ”……..විජයන්ගේ බෙල්ලෙන් ඇද අල්ලා සිටුවූ මිනිසෙක් ගුඟුලේය. ඒපාර පැමිණ සිටියේ පොලිස් කාරයෙකි.

කිසිවක් නොතේරුනෙන් විජයන් තට්ට මිනිසා පැන ගිය තාප්පය දෙසට අත දිගු කලේය.

“ඔව් ඔව් …..මේ යක්කු ඔය පැත්තෙන් එන්නත් පුලුවන්. ඉක්මනට නගිනව පොලිස් ජීප් එකට.”…………………..පොලිස් නිලධාරියා ඔහුව ඇදගෙන යන ගමන් පැවසීය.

පොලිස් වාහන වලට පැටවුණු විජයන් හා ඔහුගේ පිරිස මහා හූ හඬ සහ විරෝධතා මධ්‍යයේ තවත් කොහේටදෝ ගෙන යන්නට විය. සිංහ කොඩි වල සිටි සිංහයා තමන්ට පහරදීමට කොයිවේලේ පනිනු ඇත්දැයි විජයන් බිරාන්ත වී බලා සිටියේය. අනික ඌ නිකම්ම නිකම් සිංහයෙක් නොවේ කඩුවක් අතින් ගත් සිංහයෙකි. දීර්ඝවූ ඒ ගමන අතරතුර තම පිරිස අතරවූ ගැබිණි මවක් , නිවුන් දරු දෙපලක් මෙලොවට බිහි කළාය.එකෙක් කොලු පැටියෙකි. අනිකා කෙළි පැටික්කියෙකි. රතට රතේ බැබලෙන මොලකැටි ශරීර කූඩු අලුත් ලෝකයට හුරු කර ගත නොහී උන් බෑඟිරි ගසා හඬයි. විජයන් ආදරයෙන් උන් දෙදෙනා දෙස බලා සිටියේය.  

“අපි මුන්ට ජීවහත්ත යි , දිසාලා යි කියාලා නම් තියමු”   ………….විජයන් කොඳුලේය.



කතෘ – දසුන් සිල්වා

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...