වාත්සලනගර්
කතෘ
නයනතාරා ජයතිලක


බැලු බැලු අත ජරාවාස වෙච්චි ගොඩනැගිලි,වාහන වල සද්ද බද්ද මිනිස්සුන්ගෙ සද්ද බද්ද සතේකට මායිම් නොකර ඇහෙන කාක්කොන්ගෙ සද්දෙ. මෙච්චරක් කාලෙකට මං මේ නගරෙ ගැන දන්නෙ එච්චරයි. එච්චරමත්ම නෙමේ ඊටත් වඩා දේවල් දන්නවා.අච්චරක් මෙච්චරක් කොච්චරක්ද කියන එකයි ගැටලුව. මෙච්චරයි මතක් වෙන්නෙ ‘වාත්සලනගර්’ කිව්වම.

වාත්සල කිව්වෙ ආදරේට කියන තවත් නමකට.නගර් කිව්වෙ නගරය කියන එකට. මේකට ආදරේ නගරය කියල කටක් ඇරල මිනිහෙක් ට කියන්න පුලුවන් ද. නගරෙ ඉන්න කාක්කො ක්‍රෑෂ් ක්‍රෑෂ් කියල හිනා වෙයි පුලුවන් නම්. එච්චරටම නගරේ හිටිය කාක්කො සහ මාකට් එකට ආදරේ කරන මිනිස්සු, අහ් ඒ ගොල්ලො ආදරේ කරන්න ඉගෙන ගත්තෙ බොහොමයක් කාලයක් ගත වුනම. ඒක හරියටම කොච්චරක් කොහොම උනාද කියන්න බැරි උනාට වාත්සලනගර් කණපිට හැරිච්ච දිනේ කිව්වා නම් හරි. නගරය හරි කලබලකාරී. රෑ දවල් නැතුව එහෙ මෙහෙ යන වාහන.දවස ඉවර උනේ දුම්රියපොළට මධ්‍යයම රාත්‍රි දොලහට එන කෝච්චියෙන්.හැරෙන පමාවට උදේ පටන් ගත්තෙ ඒ කෝච්චිය නගරෙන් පිට උනාම.නිදාගන්න අයට රේල්ලු ගේට් එකේ පෝප් පෝප් එලාම් එකෙන්.අවදි වෙන අයටත් පෝප් පෝප් එලාම් එකක්.ඉතින් වාත්සලනගර් මිනිස්සු කවදාවත් වෙලාව බලපු අය නෙමේ කියන්න බය වෙන්නෙ මොකටද. කවුරුත් වෙලාව හැටියට පාවිච්චි කරේ කෝච්චි ෂෙඩූල්ස් වලට රේල්ලු ගේට්ටුවේ පෝප් පෝප් එලාම් එක. ඔන්න එහෙමත් මෑතකදි මෙහෙට ආපු අලුත් ඈයෙක් ඉන්නවා නම් දවසක් හමාරක් වෙලාව වෙනින් බලන්න ඇති ටික දවසක් විතර.

නගරේ හැම දෙයක් ගැනම ටික ටික විස්තර කරන් කරන් යන්න පුලුවන් එක ඇත්ත.ඒ කියල නිකන් බොරුවට මගෙ හිත හීනියට පාරා ගන්නෙ මොකටද. මං දැන් වාත්සලනගර් හැර ගිය පිටස්තරයන්ගෙන් කෙනෙක්. පිටස්තරයෙක් කිව්වට මොකද මං දැන් පිටස්තර කාක්කෙක්.මිනිස්සු මොකෝ. කාක්කො මොකෝ.කුණු අවුස්සනවා නම් කවුරුත් කාක්කෝ.


එහෙම කියන එකත් කාක්කෙක් විදිහට වැරදි කියල නිකමට වගේ හිතෙන්නෙ නැතුවාමත් නෙමේ.ලාවට වගේ හිත රිද්දගන්න බැරුවා තමයි.කාක්කෝ උනත් හොඳ කුණු වගෙම නරක කුණු අවුස්සන වර්ග නැතුව නෙමේ.මොක උනත් මොන කුණු ගොඩත් බෙදාහදාගෙන කන පුරුද්ද කාක්කොන්ට තියනවනෙ. වෙලාවකට ඔව්වා මතක් වෙද්දි කෝච්චි පෙට්ටියක් දුං දාගෙන ඇවිත් පපුව උඩින් යනවා වගෙම දැනෙනවා.එතකොට දඩිබිඩි ගාලා ඇස් වහගන්නවා. ආයෙම ඇස් ඇරියම කෝච්චි පෙට්ටි ඈත යනවා වගේ පේන්න ගන්නවා.                                               

විකාර!

මං පුංචි කාලෙ අහල තිබ්බෙ කුමාරිකාවක් ගෙම්බෙක්ට හාදුවක් දුන්නම කුමාරයෙක් වෙනවා කියල.එදයින් එදත් මං විස්වාස කරන්නෙ කාක්කෙක් ට උනත් කුමාරිකාවකගෙන් හාද්දක් ලැබුනම් මිනිස් ජීවියෙක් වෙන්න පුලුවන් කියල.බොරු කියන්නෙ මොකටද මං ජීවත් උනේ කුමාරිකාවක් වගෙම ලස්සන හුරුබුහුටි ගෑනු ලමයෙක් ඉන්න ගෙදරක. රේල් ගේට්ටුව ලඟම තිබ්බ ගෙදර ඇගේ කාමරේ සොල්දරේ උඩ. ඇගේ නම දේවාස්මිකා.

ඈ වෙනුවෙන් මං නොකී ගීතයක් නැති තරම්.ඇයත් මට නොකියන දෙයක් නැති තරම්.                                                                                                           එව්වා කාටවත් කියන්න පුලුවන් දේවල් නෙමේ මෙහෙම.කාට උනත් පෞද්ගලිකත්වයක් තියනවා කියල හිතන්න කාක්කෙක්ට උනත් පුලුවන්.

හාද්දක් දෙන්න මට
ලස්සන කුමාරයෙක් වෙන්න
තටු උඩ තියන් එක්කන් යන්නම් නුඹ
නගරේ සිරි බලන්න
ඈත තියන උසම කුණු ගොඩ උඩ
අපි දෙන්නා ලං වෙලා ඉමු හැන්දෑවක
කටු අයින් කරල කන්න දෙන්නම්
මාලු ලෑල්ලෙ මාලු ඔක්කොම
එකම එකම එක හාද්දක් විතරක් ම දෙන්න මට
දේවාස්මිකා! දේවාස්මිකා!

කාක්කෙක් කියන්නෙ නයිටේන්ගල් කෙනෙක් නෙමේනෙ. එහෙමයි කියල කාක්කෙක්ට උනත් සින්දුවක් කියන්න බැරි නෑ. මං එහෙම සින්දු කියද්දි දේවාස්මිකා කිව්වෙ මෙහෙම කවි.

“වයන්නට තනුද නැතිනම්
ගිටාරයෙන් පලක් නැත
පෙම්වත
ඒ ඇසෙන්නේ
හදවතේ වැයෙනා
තනුවකි මමවත් නොදන්න”

මං හිතුවෙ ඈ ගීත ගයන්නෙ මට කියල.ඈ මට ආදරෙයි කියල.ඒ උනාට එකම එක දවසක් මහ හයියෙන් වහින්න ගත්ත දවසක තමයි මං දැන ගත්තෙ දේවාස්මිකා ට පෙම්වතෙක් ඉන්නවා කියල.ඔහු බොහොම සද්දන්ත බොහොම රළු කෙනෙක්.සියුමැලි දේවාස්මිකාගේ අගනා ඇඳුම් ඉරල ඇගේ ලස්සන දිග කෙස් වැටියෙන් අල්ලලා ඈව ඇඳට තල්ලු කරනවා විතරයි මං සෝල්දරේ ඉඳන් දැක්කෙ.ඊට පස්සෙ ඇහුනෙ වේදනාකාරී කෙඳිරීම් විතරයි.කාක්කෙක් උනත් මගෙ හිත බොහොම රිදුනා.දේවාස්මිකාගෙන් නොයිඳුල් හාද්දක් ලබාගන්න බැරි උනානෙ කියල හිත හුඟක් රිදුනා.මං නගරෙන් හුඟාක් ඈතට ඉගිලිලා ගියා.වැස්සෙත් පියෑඹුවා. චාලි චැප්ලින් දවසක් කිව්වලු එයා හුඟක් වැස්සෙ ඇවිදින්න ආසයි.මොකද එයාගෙ කඳුලු කාටවත් පේන්නෙ නැති නිසාලු. කාක්කෙක් ට උනත් අඬන්න පුලුවන් කියල කවුරුත් නොදන්නවා උනාට හිතක් පපුවක් තියන ඕනෙ කෙනෙක්ට අඬන්න බැරි නෑනෙ. දවස් ගානකට පස්සෙ මම ආයෙමත් සෝල්දරේ උඩට ගියා.මොක උනත් මං ජීවත් වෙච්ච ගෙදර අමතක කරන්න පුලුවන් කමක් තියේද.

දේවාස්මිකා!!! ඈ දිහා බලන්නවත් බැරි තරම්.ඇස් යට කලු වෙලා කෙට්ටු වෙලා කේඩෑරි වෙලා! මං දිගු සෝක ගීයක් කිව්වා. ඈ මට පිලිතුරක් දුන්නෙ නෑ.ඊට කලින් ආයෙමත් අර සද්දන්ත මනුසයා ඇවිත් දේවාස්මිකාගේ කොන්ඩෙන් අල්ලන් ප්‍රශ්න කරන්න ගත්තා.

“දේවාස්මිකා, තෝ හිතුවෙ මං නොදන්නවයි කියලද. මං හැමදෙයක්ම දන්නවා හැම දෙයක්ම. මං නොහිටිච්ච කාලෙට තෝ කා එක්කද මුකුළු කරේ මේ සොල්දරේ ඉඳන්.කාටද හාදු දෙන්න ගියේ”

ඈව බිම දිගේ ඇදන් ඇවිත් සොල්දරේ කෙලවරින් තියාගෙන තවත් බනින්න ගත්තා.මෙච්චරක්කල් මං ආදරේ කරපු දේවාස්මිකා ට මං හින්දා මේ කතා කියනවා කියල මට හිතුනේ.අනේ දෙවියනේ කාක්කෙක් ලස්සන ගෑනු ලමයෙක් ගෙන් හාද්දක් ඉල්ලන එක. මේ තරම් ම වැරැද්දක් ද?

මං පුලුවන් තරම් වේගෙන් පියාඹලා ඒ මෘගයාගෙ ඇහැට කෙටුවා. එච්චරමයි මතක මං වීසිවෙලා රේල්ලු ගේට්ටුවේ නවත්තල තිබ්බ කෝච්චි පෙට්ටියකට වැටුනා. දේවාස්මිකා, ඈ මහ හයියෙන් කෑ ගහල සොල්දරෙන් බිමට පැන්නා.මං වාත්සලනගර් වලින් හුඟක් දුර ගියා.ආයෙ නොඑන්නම. දේවාස්මිකා මතක් වෙන හැම වෙලාවකම හදවත උඩින් කෝච්චි පෙට්ටියක් යනවා වගේ තාමත් දැනෙනවා. එතනින් පස්සෙ, වාත්සලනගර් හුඟක් ප්‍රසිද්ධ උනා.නගරය හුඟක් වෙනස් උනා. මං දන්නවා මගෙ පරම්පරාවෙ උන් මට අපහාස කරනවා ඇති මේ වෙච්ච දේට.

කාක්කෙක්ට නෙමේ කිසිම පිරිමියෙක් ට කුමාරිකාවකගෙන් හාද්දක් අරන් කුමාරයෙක් වෙන්න බෑ කියල මට එදා තේරුනා!

කතෘ – නයනතාරා ජයතිලක

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...