මූදු රැළි සහ මොලී
කතෘ
විරාජී ගමගේ


ටික් ටික්

උදේ ආපු ඩොකියුමන්ට්වල කරෙක්ශන්ස් බලලා ඉවර කරපු නිසා මං ඒවා බොස්ට බාරදෙන්න යන්න නැගිටින්න හැදුවේ. එතකොටම ආපු මැසේජ් එක නිසා මං ආයෙම පුටුවේ ඉන්ද වුණා. ස්ක්‍රීන් එකේ රමෝනාගේ නම සටහන් වෙලා තිබුණා.  මං ටක් ගාලා මැසේජ් රීඩ් කරන්න හිතාගෙනයි ඒක ඇරලා බැලුවේ.

“බබා, අද හවසට හම්බවෙමු”

දුකක්ද සතුටක්ද මොකක්ද කියලා හිතාගන්න බැරි දෙයක් පපුව මැද්දේ නලියනවා වගේ දැනෙනවා. ඒත් ඒක ගැන හිත හිතා ඉන්න වෙලාව මේක නෙවේ නිසා  මං ඩොකියුමන්ට් ටිකත් තුරුල් කරන් පුටුවෙන් නැගිට්ටේ බොස්ගේ කැබින් එකට යන්න.

කැබින් එකට යද්දී සර් මොනාද කොළ වගයක් දිහා බල බලා හිටියා. මං සර්ගේ මේසේ ගාවට යද්දිම සර් ඔලුව උස්සලා බලලා මට කතා කළා.

“මොලී ,වැරදි සේරම හදලා ඉවර ද?”

“ ඔව්,  උදේ ආපු ටික ඉවර කරා සර්”

ඔළුවෙ ඇතුළෙ දාහක් දෙනා ඉවක් බවක් නැතුව දුවනවා වගේ කලබලයක් තිබුන නිසා ඒ වචන ටික මං ඕනෙවට එපාවට කියල දැම්මා. මගේ අවුල් ගතිය සර්ට තේරුන් නැති නිසා සර් හිනා වෙලා මං දිහා බලලා “හරි එහෙනම්” කීවා.  මං හරිම කෘතිම හිනාවකින් සර්ට සංග්‍රහ කරලා ආයෙම එන්න හැරුණා.

ඒ එද්දි තව ඩිපාර්ට්මන්ට් ගොඩකින් ගෙනත් දාපු  ෆයිල් ගොඩක් මේසේ උඩ.  ඒව දිහා ඇහැක් ඇරලා බලන්න තරම් මානසිකත්වයක් මං ගාව තිබුණේ නෑ. ඔළුවේ වරදකාරී හැඟීමක් ඇතිව මොන ෆයිල්වලවත් වැරදි හොයන්න බැරි ගතියක් මට කවදත් තිබුණා. අදත් එහෙම දවසක්.

මං ෆෝන් එක අරන් ආයෙම රමෝනා එවපු මැසේජ් එක කියෙව්වා. ෆෝන් එකේ ස්ක්‍රීන් එක කවදාවත් නැතිව නටනවා කියලයි මට හිතෙන්නේ. අලුත් ෆෝන් එකක් ගන්න ඕනේ කියලා හිතන ගමන්ම මං ෆෝන් එක පැත්තකින් තියලා වැඩකරන්න ගත්තා. යන්තම් වැරදි දෙක තුනක් හොයාගෙන ෆයිල් ටික වහල දාන්නයි මට ඕනේ වුණේ. ෆයිල් ගොඩම හවස හතර වෙද්දි බොසාගෙ රූම් එකට දීගන්න පුළුවන් වුණ නිසා මං එවෙලෙම ඔෆිස් එකෙන් එයට පැනගත්තා.

දුවගෙන දුවගෙන ගිහින් හෙමීට  මිනිස්සු වැක්කෙරෙන බස් එකකට පරිස්සමින්  නැග්ගේ මේ තෙරපෙන වෙලේ මගේ හීල් එකට මොකෙක්ගේ හරි කකුල පෑගුනොත් වෙන විනාසේ ගැන මං දන්න නිසා.  කොන්දොස්තරට රුපියල් 25ක් දීලා ගෝල්ෆේස් එකට ටිකට් එකක් ගත්තෙත් හරිම අමාරුවෙන්. යන්තම්  ගෝල්ෆේස් එක ගාවින් බහිද්දි හතර හමාර වෙලා තිබුණා.

මූදේ හුලං හරි සැරයි. හුලං ස්ට්‍රේට් කොණ්ඩෙ අස්සෙන් යන්න පොරකනවා. ෆිල්ම් එකක ඉන්න නිළියක් වගේ මං තවතවත් මූදු හුළඟට මුහුණ ඇල්ලුවා. ඒක හරිම සනීපයි.  නිල් පාට මූදකට හිතත් හිස් කරන්න පුළුවන් වගේ මට නම් දැනුනේ.

මූදු රැළි පොඩි පොඩියට ඇවිත් ගෝල්ෆේස් බැම්මෙ  වැදිලා ආයෙ ගියා. පස්සට ගිහින් තව රැල්ලක් හදාගෙන ඇවිත් ගෝල්ෆේස් බැම්මෙ වැදිලා බිඳිලා ගියා.

එකපාරටම මගේ ඇස් අත් දෙකකින් වැහෙද්දී මං හිටියේ මුදු රැළි වලයි මුදු හුලංවලයි හොඳටම හිත ගිල්ලලා. එච්චර ගිලිලා හිටියත් මට ඒ  අත් දෙක අදුරන්න පුළුවන්. මට එයාගෙ සුවඳත් වෙනද වගේම දැනුනා.

“ රමෝනා, මැණික ඔයා ඇස් වැහුවට මට ඔයාව අඳුරන්න පුළුවන්”.  මං ටිකක් වෙලා ඒ සුවඳ තව ඉව අල්ල අල්ලා ඉඳලා කීවා .

 එයා සිලි සිලි හිනාවත් එක්කම අත් දෙක අතඇරියා. මං හැරිලා බැලුවේ එයා දිහා දවස් ගානකට පස්සේ දැකගන්න තිබ්බ ආසාවට. රෝස පාට හැට්ටෙකට කළු පාට සාරියක්. එයාගෙ නොගැලපෙන ගැළපීම් කවදත් වගේ හොඳට වෙලා තිබ්බා. මං එයාගෙ ඔරලෝසුව බැඳලා තිබ්බ අතින් අල්ලා බංකුවෙන් ඉන්ඳවගත්තා .

“මොලී, මං ඔයාව දවස් තුනකින්  විතර අද දකින්නේ බබා. මට ඉන්නම බෑ ඔයාව දකින්න දකින්නැතිව. ඒකයි උදේම මැසේජ් එකක් දැම්මේ”  රමෝනා එහෙම කීවාට මං ඒකට උත්තර නොදී උත්තරේ ගිලගත්තා. මොකද මටත් එහෙම්මමයි. ඒත් ඒවා කියනවාට වඩා එයාව විඳින්නයි  මං ආසා වුණේ මේ වෙලාවේ.

මෙච්චර වෙලා හැඟීම්බර මූණක් මවන් හිටිය ඒකී සිලි සිලි හිනාව දානවා. මට හිතන්නෙම ඒ කම්මුල් දෙක අල්ලලා බලන්න. ඒ කම්මුල් නටන හැටි ඇල්ලුවාම කෝමද දැනෙන්නෙ බලන්න. මං ඒ නටන කම්මුල් දිහා බලන් හිටියා. හිත ප්‍රශ්න කරනවා. “අල්ලලා බලමුද?” මං හිතට බෑ කියල උත්තර දෙන්න හදනකොටම රමෝනා මගේ හිතලූ බිඳල දැම්මා.

“මොලී, ඇයි බබා ඔහොම බලන් ඉන්නේ ?” අභ්‍යන්තර සංවාදය එතනින් ඉවරයි.  මං පියවි සිහියට ආවා.

“ මට ඔයාගේ මූණ අල්ලන්න හිතුනා.”

“ම්ම්ම්ම්ම්ම්ම්” හුස්මක් හෙලලා  එයා ආයේ කතා කරන්න පටන් ගත්තා.

“ ඒත් එපා මොලී, මිනිස්සු දකී. මේ හවස ඔයා මගේ මූණ  අල්ලද්දි එයාලට තේරෙයි බබා අපි ගැන.”  හිතට මං දීපු උත්තරේම රමෝනා මටත් දුන්නා.

“ හරි එහෙනම් අද මගෙත් එක්ක මගේ අපාර්ට්මන්ට් එකේ රෑට ඉමු “මං දෙවෙනි යෝජනාවෙන් දමලා ගැහුවෙ මං පළවෙනි යෝජනාවෙන් ප්‍රතික්ෂේප වුණු දුකත් එක්ක.

“ අපි රෑට උයන් කමු, නැත්නම් පීට්සා ඕර්ඩර් කරමු “.  මං තව දුරටත් කියවන් ගියා.

“ ගෙදරින් මාව හොයයි මොලී, මං එන්න පරක්කු වුණත් එයාලා කලබලවෙනවා.” දෙවෙනි පාරටත් මාව රිජෙක්ට් වෙන්න යනවා කියලා දැනෙද්දි මට තව තරහා ගියා.

“ කවද්ද රමෝනා අපි අපි ගාව ඉන්නේ. මොන මගුලකටද මාව බලන්න ගෙන්නගෙන මට මෙහෙම කරන්නේ?” අපිට මූණ දිහාවත් බලන්න ඉන්න බැයිනම් මොකක්ද මේකෙ තේරුම?” මගේ ඉහ වහා ගිය දුක කේන්තියක් විදිහට ප්‍රතිනිර්මාණය කරල මං එයාගෙ ඉස්සරහම අතෑරලා දැම්මා.

“මට සමාවෙන්න මොලී. මට ඔයාව දකින්න ඕනේ වුණා.  ඔයා ගාව ඉන්නත් ඕනේ මට. ඒත් මං බයයි. අපි එහෙම ලගට වෙලා ඉන්න දවසක් හදාගමු ඉක්මනින්ම.” ඒකී හැමදාම කියන  ටික ඒ විදිහටම අදත් කීවා.

“මං දැන් යන්න ඕනේ බබා. දැනටත් ගෙදර අය කලබල වෙලා ඇති පරක්කු නිසා. ඒකී සාරි පොට කරට දාගෙන නැගිටලා මං එනකම් බලං හිටියා.

“ යන්න මං පස්සෙ එන්නම්.” එහෙම කියලා හීල් එකෙන් ගෝල්ෆේස් පිට්ටනියේ පස් මං පුළුවන් තරම් හෑරුවා . මගේ හීල් එක දිහා ටිකක් වෙලා බලන් හිටිය එයා යන්න හැරුණා.

තාමත් මූදේ රැළි හෙමින් හෙමින් ඇවිත් ගෝල්ෆේස් බැම්මේ වදිනවා. ඊට  පස්සේ බිඳෙනවා. බිඳිලා පස්සට යනවා. ආයෙ රැල්ලක් හදන් ඇවිත් ගෝල්ෆේස් බැම්මේ වදිනවා. කවද හරි මූද වැල්ලෙන් ගොඩාක් පස්සට ගිහින් මීටර් ගාණක් උස රැල්ලක් හදන් ඇවිත් මේ බැම්ම කඩාගෙන යනවා. ඒ රැල්ලේ අතරින් මට රමෝනාව පෙනුණා. ඒ රැල්ල අසම්මතද? මං මගෙන් ඇහුවා. නෑ ඒක අසම්මත නෑ.  ඒක එන්න දීපු නැති, එන්න කකා බලන් හිටිය, එන්න හිටපු රැල්ලක්.  ඒක එනවා. ඒක මට ආයේ ආයේ මැවිලා පෙනුණා.

තව ප්‍රශ්න හිත අහන් අහන් එන්න හදපු නිසා මං නැගිට්ටේ හිතේ ප්‍රශ්න වලට මෙතනදි උත්තර දෙන්න ගියොත් එළිවෙනකම් මෙතන ඉන්න වෙන බව දන්න නිසා. මම බංකුවෙන් නැගිට්ටා.

ටික් ටික්.

ආයෙත් මැසේජ් එකක්.

මං  ඒක යන්න හැරෙන ගමන්ම රීඩ් කලා.

“මං ඔයාට ආදරෙයි මොලී” ඒ රමෝනා

 

කතෘ – විරාජී ගමගේ

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...