මදාරා
කතෘ
නුවන්තා දිල්හානි ප්‍රනාන්දු


මල් පාර පටන් ගන්න තැන ඉදන් කෙලවරට වෙනකම් මිනිස්සුන්ගේ ජීවනෝපාය වුණේ මල් අමුණන එක. එක එක පාට, එක එක සුවඳ මල්, එක එක ගෙවල් ඉස්සරහ ගොඩ ගහලතිබ්බා. මේස උඩ, පුටු උඩ, බිම දිගට, බකට්වල, බේසම්වල ඉතිරෙන්න මල් තිබ්බා. සමහරු මල් බකට් ඔඩොක්කුවේ තියාන ඔලුව බිමට නමාගෙන මල් අමුණනවා. සමහරු උළුවස්සේ රඳවපු වැල් දිගේ උඩ බලාගෙන මල්අමුණනවා.
“මල්වලටම පරවෙලා ගිය ජීවිත” වෙලාවකට නෙමේ හැම තිස්සෙම මට හිතුනෙ එහෙමයි. බෝඩිමේ සගයා වුණ අරවින්ද කියන්නෙ නම් මේ ගඳ ගහන ටවුමේ සුවඳ ගහන පාරක ඉන්න ලැබුණ එකත් පිනක් කියලා.
දවසක් ඔෆිස් එකේ පද්මා මිස් මගෙන් ඇහුවේ අඩුවට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගන්න විදියක් ගැන. මට එයාට පැහැදිලි කරල කියල දෙන්න වුණා, මං මල් පාරේ හිටියට ඒ මිනිස්සු එක්ක කිසිම බජනයක් නැති බව.
මේ සිද්දිය මං අරවින්දට කීවේ නිකමට. “මට පේන විදියට උඹ මල් පාරේ මිනිස්සු එක්ක විතරක් නෙමේ ඔෆිස් එකේ මිනිස්සු එක්කත් වැඩි බජනයක් නෑ වගේ.”
“මොන කෙහෙල්මලක්ද බං. මට පුලුවන්ද ඔය ඔෆිස් එකේ ගෑනුන්ට මල් අදින්න.”
අරවින්දට හිනා. පස්සෙ මිනිහා දාර්ශනික ස්වරයකින් මෙහෙම කිව්ව.
“මචං, ගෑණු කැමතියි මල්වලට, මල්වල සුවඳට. එතකොට පිරිමි කැමැතියි මල්වගේ ගෑණුන්ට.”

******

මගේ අම්මා කමලාවතී. ඉපදුණේ ඉපැරැණි පූජා නගරේ. පවුලේ මද්දුමී. මට ලොකු අම්මල දෙන්නයි පුංචි අම්මල දෙන්නයි. අවිවාහක ඒ හතර දෙනාම පැහැපත් සමක් තියෙන, දිග කොණ්ඩය තියෙන මල් පිරුණු අලුත් ඇදුම් අදින මල්වගේ ගෑණු. එයාල එහෙම වෙද්දි අපෙ අම්ම කලු මිටි බොල්ලෑ දත් තියෙන, කොට කොණ්ඩයක් තියෙන බොර පාට ඇඳුම් අදින ගෑණියෙක් වුණා. පූජා නගරේ ලස්සනම මල් කෙල්ලෝ හතර දෙනා හිටියේ අපේ ගෙදර. මං වුණත් ඉස්කෝලේ රැස්වීමකට හරි එක්කන් යන්න කැමැති වුණේ මේ හතර දෙනාගෙන් කෙනෙක්.
අපේ අම්මා කවදාවත් පූජා නගරේ මල් විකුණන්න ගිහින් නෑ. උදේ පාන්දර ඉදන් හවස් වෙනකම් ගෙදර සියලුම වැඩ සිද්ද වුණේ එයා අතින්. හැමදාම හවසට ඔරුව පැදගෙන වැව මැදට ගිහින් කරවටක් වතුරේ ගිලීගෙන මල් ගැලෙව්වෙ එයා. රෑ යාමේ ගෙදර එද්දි උස්සන් ආපු මල් ගොඩට වඩා එයා ගාවින් මට දැනුනේ වැවේ මඩ ගඳ.
“අම්මා මල් සුවඳට ආස නැද්ද.” අම්මා සන්ලයිට් කෑල්ලක් අතුල්ලලා නාලා මං ගාවින් ඇලවෙද්දි මං අහනවා.
” ඇයි පුතේ එහෙම ඇහුවේ.”
“ඇයි අර හතර දෙනා වගේ සුවඳ සබන් ගාන්න බැරි ඔයාට.”
“මේ ගේ අස්සෙයි වැවේ මඩ අස්සෙයි කාරි කරන මට මොකටද බං සුවඳ සබන්.” අම්මා මගේ ඔලුව අත ගානවා. “මට වගේයෑ එයාලට.  එයාලා සුවඳට ලස්සනට ඉන්න එපැයි පුතේ මල් විකුණන්න.”
අම්මා ගෙදෙට්ට අදින අව පාට චීත්තය මට පොරවනවා. අව පාටටත් මල් තියේද. එහෙනම් ඒවා අම්ම උයන කුළුබඩුවල සුවඳ ඇති. මං නිස්සද්දව කල්පනා කරනවා.
“උඹ හොඳට ඉගෙන ගනින් කොල්ලෝ.” අම්මා මගේ ඔලුව ඉඹිනවා.

******

“කවුද බං ඒ”
අරවින්ද මගේ මූණ දිහා බැලුවා. “කවුද?”
“අර පොඩි එකා වඩාගෙන ඉන්නේ” අල්ලපු වත්තේ පොඩි එකෙක් අඬන සද්දේ දිහා බලද්දියි මං එයාව දැක්කේ.
“ඒ කුසුමා නැන්දාගේ පොඩි දුව මදාරා.”
“මං දැකලා නෑනේ.”
“දකින්න උඹ නිතර ඒ පැත්ත බලනවා ඇති.”
කුසුමා නැන්දාට දුවලම හත් දෙනෙක් හිටියා. එයාලගේ බාල දුව කොල්ලෙක් එක්ක පැනල ගිහින් කීවේ බෝඩිමට ආ දවස්වල අරවින්දමයි.
“අපොයි බලන්නම වැඩේ. කලුවට කලුවේ තාර පීප්ප හතක්වගේ. ඔය ඉන්නෙ මල් ගොඩවල්වලටම යට වෙලා.”
“ඒ මදාරා අනික් කෙල්ලෝ වගේ නෙමේ. ඉගෙන ගන්නත් දක්ෂයි. ඕ ලෙවල් එහෙමත් පාස් මගෙ හිතේ.”
“එතකොට පැනල ගියේ”
“ඒ ලෙවල් පන්ති යද්දිලුනේ. කඩවලට බඩු දාන කොල්ලෙක්ලු. මිනිහ මැරුණම නැන්දම්ම වෙනස්කම් කරන්න ගත්තලු. ඒකලු ළමයා එක්ක ආයෙමත් මෙහෙ ඇවිත් තියෙන්නෙ.”
“දැන් ඉතින් උන් දෙන්නටත් බැරියෑ මල් අමුණන්න.”

******

“ඔය මොනවද” මං හිටියේ වැට ගාව රෙදි වන වන. මිදුලේ රතු පාට යායට දැක්ක දේ ඇස් අදහා ගන්න බැරි නිසයි මං සද්දෙටම ඇහුවේ. “මහත්තයෝ මේ පිච්ච මල් ඕඩරයකට. අද දහය වෙද්දි සේරම අමුණලා යවන්න ඕනේ. කෝවිලකට මගෙ හිතේ.”
“නෑ නැන්දේ. මං ඇහුවේ මේවා.” මං මිදුලේ තිබුණු රතු පාට මාගලට අත දික් කලා.
“මේ අපේ පොඩි කෙල්ලගේ වැඩනේ මහත්තයෝ. මිරිස් වේලන්නලු”
මල් පාරේ මිදුලක තද රතු මිරිස් මාගලක්. මදාරා මිරිස් තුනී කර කර මා දිහා බලලා හිනා වුණා.

පහුවදා නිවාඩු දවසේ අරවින්ද ගමේ ගිහින් හිටියේ. මං පාලුව යන්නත් එක්ක පත්තරයක් දිග ඇර ගත්තා.
“මහත්තයෝ.”
කටහඬ ඇහුණේ වැට දිහාවෙන්. මොකද? මං ඔළුවෙන් ඇහුවා. “මේ.. පොඩි දෙයක් දැන ගන්න”
මං පත්තරේ නමල තියල වැට ගාවට ගියා.
” මහත්තයෝ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්නේ කොහොමද”
“ව්‍යාපාරයක් කිව්වේ” මං ඇහුවේ මොකුත් හිතා ගන්න බැරිව.
“මොකක් හරි සුළු කර්මාන්තයක්… මට අහගන්න කවුරුවක්වත් නෑ මහත්තයෝ. අපෙ අම්මලත් මේ මල් මත්තෙම නැහුණට ඔහොම දෙයක්වත් දන්නවයෑ.”
“මොකෝ ඔය ළමයා මල් බිස්නස් එකක්වත් කරන්නද?”
කෙල්ල ඒ පාර හිනා වෙනවා.
“අනේ නෑ මහත්තයෝ.. මට ඔය මල් ඇමිණිල්ල එච්චර අල්ලන්නේ නෑනේ.”
“එහෙනම්”
පොඩි එකා ඇවිත් මදාරාගේ ඇගේ එල්ලුණා. එයා දරුවාව වඩා ගත්තා.
“මෙයාලගේ තාත්තා ආසාවෙන් හිටියේ කුළුබඩු ව්‍යාපාරයක් කරන්න. එයා ඩිලිවරි රස්සාවනේ කලේ. අපි පොඩියට පටන් ගත්තේ. ව්‍යාපාරේ රෙජිස්ටර් කරන්න හිටියේ. ඒත් බැරි වුණා”
එයා දරුවාව අනිත් පැත්තට මාරු කලා.
“එයාගේ හීනේ වුණේ ඔය ව්‍යාපාරේ.”
“මදාරාට ඕනේ මහත්තයගෙ හීනේ හැබෑ කරන්නද”
“ඒ විතරක් නෙමේ මහත්තයෝ. මේ දරුවට හොඳට උගන්වන්නත් ඕනේ. අනික.. අනික මං මේ කුළුබඩු සුවඳටත් හරිම ආසයි.”

******

එදා ඔෆිස් එකේ මගේ මේසේ වටේ කීප දෙනෙක්ම වට වෙලා හිටියා. ඔළුවේ මල්වැලක් ගහගෙන හිටපු පද්මා මිස් සෙනඟ අතරින් එබිලා බැලුවා. “මං මේ සුවඳට බැලුවේ.”
“හෝම් මේඩ් ස්පයිසස් පද්මා මිස්. හොඳද බලන්නකෝ.”

කතෘ -නුවන්තා දිල්හානි ප්‍රනාන්දු

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...