බළල් යාමය
කතෘ
අයෝධ්‍යා සොනාලි


”බ‍්‍රවුනි.. ඔව් බ‍්‍රවුනි.. ඒ කියන්නෙ හෙට පැටීව වෙන පූසෙක් ඇවිල්ලා කාලා යනවයි කියල ද?”
”ඥාව් ඥාව් ..”
” සිඟිති… මොකද ළමයො ඔය පූසට ඉන්න් දෙන්නෙ නැත්තෙ..”
මවගේ කෑගැසීමෙන් දැරිය ගැස්සුණා ය.
”නෑ අම්මෙ.. දන්නවා නේද ශෙහාරලගෙ ගෙදර පැටී.. එයාව හෙට ලොකු පූසෙක් තුවාල වෙන්නම කනවයි කියලා මේ බ‍්‍රවුනි කියනවා…”
දැරිය කීවා ය.
”අයියෝ ඔයයි ඔයාගෙ බ‍්‍රවුනියි.. පූසොන්ට කතා කරන්න බෑ දරුවො… පොඩි කාලෙ ඉඳලම ඇත්ත ලෝකෙ ජීවත්වෙන්න පුරුදු වෙන්න.. ”
”නෑ අම්මෙ.. ඔයාට තේරෙන්නෙ නෑනෙ මට බ‍්‍රවුනි කොච්චර දේවල් කියලා තියෙනවද..? අපිට වගෙම එයාලට කතා කෙරුවැකි.. ඔයා බලලා නැද්ද අම්මෙ ඩොක්ටර් ඩූ ලිට්ල් කාටුන් එක..”
”හරි ආච්චි අම්මෙ හරි..”
මව පැමිණ සිය සය හැවිරිදි දැරිය උකුලේ තබාගත්තා ය.
”ඉතිං බ‍්‍රවුනි තව මොනාද ඔයාට කිව්වෙ…?”
පුටු පත්තක් උඩ සිටි බළලා අහිංසක ලෙස නිදි කිරන්නට විය.
”ගොඩක් දේවල්… දන්නවද අම්මෙ එයාලා තමයි ඉස්සර දෙවිවරු… මිනිස්සු වැන්දලූ එයාලට.. ඊට පස්සෙ ටික ටික වෙනස් වෙන්න ගත්තලූ.. ඉස්සර කකුල් දෙකෙන් ගිය එයාලට දැන් කකුල් හතරෙන් යන්න වෙලාලූ.. ”
සිඟිතිගේ මව සිනාසෙමින් සිය දියණියගේ සුරතල් කතා ඇසුවා ය. ඇය එතරම් උගත් තැනැත්තියක නොවීය. සිඟිතිගේ පියා සිටින්නේ ද විදේශගතවය. සිඟිතිගේ හොඳම මිතුරා නම් ”බ‍්‍රවුනි” නැමති දුඹුරු පැහැ ලොම් පිරුණු බළලා ය. ඇයට බ‍්‍රවුනිගෙන් තොර ලොවක් නැත. බ‍්‍රවුනිට ද එසේම ය. සෑම විටම ඇය පසුපසම ය.

******

”සිඟිති බබා… බරටම වැඩ වගෙ.. පාඩම් කරනවද චිත‍්‍ර අඳිනව ද? ”
”මාමා…”
ඈ දිව ගොස් සිය මාමාට තුරුළු වූවා ය. ඔහු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකි.
”මොන පාඩම් ද මල්ලි.. එයා ඉන්නෙ පූසගෙ ලෝකෙ.. වෙන දෙයක් ගැන කිසිම ගාණක් නෑ එයාට..”
”ඇයි නැත්තෙ.. මං අම්මට කිව්වෙ නැද්ද බ‍්‍රවුනි කිව්වයි කියලා මායි පන්තියෙ පළවෙනියා වෙන්නෙ කියලා.. ලොකු වෙලා මම ටීච කෙනෙකුත් වෙනවලූ.. අන්න ඒ කාලෙ වෙනකම් බ‍්‍රවුනි අපිත් එක්ක ඉන්නවලූ.. ඊට පස්සෙ එයාට යන්න වෙනවලූ.. ”
”බ‍්‍රවුනි ඊට පස්සෙ කොහෙද යන්නෙ බබා..?”
”අලූත් ආත්මෙක ඉපදෙනවා.. එයා මේ පාර පූසෙක් උණාට ඊලඟ පාර වෙන්නෙ ළමයෙක් කිව්වා… ”
”කොහෙන්ද අක්කෙ මේ ළමයා මෙච්චර පණ්ඩිතකං ඉගෙනගන්නෙ..?”
”කවුද දන්නෙ මල්ලි.. බ‍්‍රවුනි කිව්වයි කිය කියා එක එක පණ්ඩිතකම් කියවනවා… බ‍්‍රවුනිල දෙවිවරු කියනවා… එයාලට ලොකු බලයක් තියනවයි කියනවා.. හැම පූසටම කතා කරන්න පුළුවන් කියනවා.. ජාති ගොඩයි…”
මව කීවා ය.
”ඔව් ඔව් එයාලා දෙවිවරු තමයි.. මාම දන්නවද ඊජිත්තුව.. ඊජිත්තුවෙ පිරමීඩ හැදුවෙ බ‍්‍රවුනිලගෙ කට්ටියනෙ… ”
”ඊජිප්තුව..? මේ පොඩි ළමයා කොහොමද ඊජිප්තුවෙ පිරමීඩ දන්නෙ අක්කෙ… තාම එකේ.. අනික ඔය පිරමීඩ වලට පූසො සම්බන්ධයි කියලා ගොඩක් විද්‍යාඥයො පරීක්ෂණ කරනවා… ඒවා කොහොමද දන්නෙ මේ ළමයා..?”
”මෙයා ඔය වගේ විකාර ගොඩක් කියවනවා මල්ලි කොහෙන් ඉගනගෙනද දන්නෙ නෑ… ”
”අක්කෙ.. මේ දේවල් ගැන විස්තර හොයන මගෙ ළඟම යාළුවෙක් ඉන්නවා.. එයත් කැම්පස් එකෙ ලෙක්චරර් කෙනෙක් ..මං එයාව වෙලාවක එක්ක එන්නද සිඟිති එක්ක කතා කරන්න..?”
”ඒ යාළුවා මෙන්ටල් ඩොක්ටර් කෙනෙක් නෙමෙයි නේද මල්ලි… මගෙ දුවට එහෙම දෙයක් නෑ නේද….? ”
”නෑ නෑ… කොහොමටවත් නෑ… මෙයා වයසට වඩා බුද්ධිමත්.. අනික පූස් කතාවයි.. පිරමීඩ කතාවයි අර යාළුවා හොයන නිසයි මං කිව්වෙ.. එයා සතුටු වෙයි.. සිඟිතිට උණත් ආස හිතෙයි.. ”
එහෙනම් කමක් නෑ..”
”ඥාව් ඥාව් ..ඥාව් ඥාව් ..”
බළලා හඬ ගෑවේ ය.
”එයාට එන්න එපා කියලා බ‍්‍රවුනි කියනවා… ඒකෙන් එයාට කරදරයක් වෙයිලූ.. ”
”ඇත්තද සිඟිති පැටියා.. එයා ඒක නෙමෙයි කිව්වෙ.. එයාට බඩගිනියි කියලා.. කිරි එකක් හදලා දෙන්න පූස් පැටියට.. ”
”යං බ‍්‍රවුනි යං.. බඩගිනි ඇති තමයි… ”
සිඟිතිගේ මව බ‍්‍රවුනිව වඩාගෙන මුළුතැන්ගෙය වෙත ගියා ය.

******

”අම්මෙ උදේ ඉදං බ‍්‍රවුනි නෑනෙ… කොහෙ ගිහින්ද දන්නෙ නෑ.. මීට කලින් බ‍්‍රවුනි එහෙම කරලා නෑ.. මාව දාලා ගිහින් නෑ… ”
”එයි සිඟිති.. යාළුවො හොයන්න ගිහිල්ලා ඇති.. ඊයෙ පැටී ව ලොකු පූසෙක් කාලා… බයවෙන්න එපා අපේ බ‍්‍රවුනි ලොකුයිනෙ.. එයාව කන්න කාටත් බෑ..”
”බ‍්‍රවුනි කිව්වා නේද පටීව පූසෙක් කනවයි කියලා..”
”ම්.. ඒත් කිව්වෙ නෑනෙ බ‍්‍රවුනි යනවයි කියලා… බය නොවී ඉන්න ඉක්මන්ට එයි එයා… ”
මව ඇයව අස්වැසුවා ය.

******

”බබා නම සිඟිති කිව්ව නේද?”
”ඔව් අංකල්..”
”ම්… මං ඔයාගෙ මාමා චමත්ගෙ යාළුවෙක් මං රුවන්.. රුවන් අංකල් ”
”රුවන් අංකල් මගෙ බ‍්‍රවුනි තාම ආවෙ නෑනෙ.. ”
”මෙයා බ‍්‍රවුනි කියන්නෙ ඔය කතා කරනවයි කියන පූසට රුවන්.. එයා අද උදේ ඉඳන් අතුරුදහන්.. ඒත් එයි ඉක්මන්ටටම්… සිඟිතිට නොකියා එයා එහෙම යන්නෙ නෑනෙ.. ඔයා මේ අංකල් එක්ක කතා කර කර ඉන්නකෝ..”
සිඟිතිගේ මාමා පැවසීය.
”ඉතිං කියන්නකො.. ඔයාට බ‍්‍රවුනි කිව්ව දේවල්… පිරමීඩ ගැන එහෙම… ”
”ආ… ඔව්.. බ‍්‍රවුනිලා තමයි අංකල් මේ ලෝකෙ මුල්ම දෙවිගොල්ලො.. ඊජිත්තුව තියෙන්නෙ.. එහෙ පිරමීඩ තියෙන්නෙ.. එව්වා සේරම හැදුවෙ බ‍්‍රවුනිලගෙ පරණ කට්ටිය.. ඒ චිත‍්‍ර වල සේරම විස්තර ඇඳලා තියෙනවා… අපි එයාලට වඳින ඒවා.. අංකල් දැකලා තියෙනවද..? ”
”ඔව් බබා… ඒක ඇත්තක්.. මිසර චිත‍්‍ර වල තියෙනවා මිනිස්සු පූසන්ට වඳින ඒවා..”
”ඉතිං ඒ සෙරම විස්තර ලියලා තියෙනවලූ පරණ පැස්පර් ලියවිලි වලත්..”
”පැපිරස්..”
”ඔව් ඒවා චිත‍්‍ර වලින්ලූ තියෙන්නෙ.. ඒ මෝඩ මිනිස්සු ඒවා තෝරලා තියෙන්නෙ වැරදියටලූ.. බ‍්‍රවුනි කියන විදියට ඒවා තේරුම් ගන්න මිනිස්සුන්ට තව අවුරුදු පන්සීයක්වත් යයිලූ.. ඊට කලින් එලිවෙන්න ඕනෙත් නෑලූ.. ”
”ඒ ඇයි බ‍්‍රවුනි එහෙම කියන්නෙ..?”
”ඒකෙ තියෙනවලූ බ‍්‍රවුනිලගෙ කට්ටිය පිරමීඩ හැදුවෙ කොහොමද කියන එකේ රහස.. ඒක නෙමෙයි අංකල් මමී දන්නවද මමී..?”
”ඔව් බබා.. ඒ කාලෙ රජෙක් රැුජිනක් මැරුණම මිනිය කල් තියාගන්න බේත් දාලා බැන්ඬේජ් වගෙ පටි වලින් ඔතනවා..”
”ආ.. ඒවද මමී.. ඉතිං බ‍්‍රවුනි කියන විදියට ඒ අකුරු ජාති හරියටම තේරුම් ගත්තොත් මමී නැගිට්ටවන්න පුළුවන්ලූ.. ඉතිං මමී නැගිට්ටන යුගය තියෙන්නෙ තව අවුරුදු පන්සීයකින් නිසා රහස රැුකිලා තියෙන එක හොඳයිලූ.. ”
”ඉතිං සිඟිති බබා.. ඔහොම චිත‍්‍ර තියෙන ලියවිලි හම්බවුන ගොඩක් තැන් තියෙනවනෙ… පිරමීඩත් ගොඩක් තියෙනවා.. ඒ හැම එකෙන්ම කියන්නෙ එකමද..? බ‍්‍රවුනි ඒක කිව්වෙ නැද්ද..?”
”කිව්වා අංකල් ලෆ් කෆ් වගෙ එකක්..”
”කෆ්… කෆ්… හරි කුෆු ද..?”
”අන්න හරි අංකල් කුෆු… ඒකෙ පැස්පර් ලියවිලි වලයි බිත්ති වලයි තමයි රහස තියෙන්නෙ කියලා බ‍්‍රවුනි කිව්වෙ… ”
”පුදුමයි සිඟිති බබා… මේ සේරම ඇත්ත කියලා ඔයාට හිතෙනවද..?”
”ඔව් අංකල් මෙච්චර කාලෙකට බ‍්‍රවුනි බොරු කියලා නෑ… කියපු සේරම ඇත්ත.. හෑබයි අංකල් ඔයා මේවා වැඩිය හොයන්න යන්න එපා ඔයාට කරදර වෙයි කියලා බ‍්‍රවූනි කිව්වා… ”
”හරි මං එහෙනම් යන්නම්… තෑන්ක් යූ බබා.. ඔයාගෙ බ‍්‍රවුනි එයි දුක් එන්න එපා.. මං මාමව ටිකක් හම්බවෙලා යන්නම්… ”
”හරි අංකල් බායි පරිස්සමෙන් ඉන්න..”

******

වසර ගණනක් තිස්සේ තමා සොයමින් සිටි රහසට යතුර සොයාගැනීමට සමත් වූ රුවන් සිටියේ ඉතා කලබලයෙනි. මිතුරු චමත් හා වදනක් දෙකක් පමණක් දොඩා ඔහු දිව ගියේ සිය නවාතැන වෙතය. ඔහු වහා සිය ලැප්ටොප් පරිගණකය දිගහැර, කුෆු පිරමීඩයේ රූපාක්ෂර සිය තිරයට ගත්තේ ය.
”ඇත්තටම පූසා කතා කරනවා වෙන්නම ඕනෙ.. නැත්තං අවුරුදු පහේ පොඩි කෙල්ල කොහොමද ඔය තරම් දන්නෙ.. කොහොමත් මගෙ සැකේ තිබුණා පූසො කියන්නෙ අමුතුම ජාතියක් කියලා… තමන්ට ගොඩක්ම හිතවත් උණාම සතා කතා කරනවා ඇති.. හිත පිරිසිඳු පොඩි ළමයි එක්ක විතරක්.. චමත් මට කළේ ලොකු උදව්වක්.. කොහොමද මේ රහස හූයාගත්තම.. රුවන් ගජනායක ලෝක ප‍්‍රසිද්ධ වෙයි.. ”
ඔහු තමාටම කියා ගත්තේ ය.
පුරාවිද්‍යා උපාධිධාරී රුවන්, ඊජිප්තු අක්ෂර හමුවේ ප‍්‍රවීණයෙකි. නමුත් බළලා පවසන පරිදි මෙම තේරුම් ගැනීම වැරදි ය. ඔහු කිහිපවරක්ම වෙනත් අක්ෂර ආදේශ කරමින් ලියවිලි නැවත කියවීමට උත්සහ කළේ ය.
එක්වරම ඔහුට ඇසුණේ වහලයේ බළලූන් පොරකන ශබ්ධයකි.
”පැත්ත පලාතෙ හිටියෙ නෑ පූසො.. කොහෙන් ආවද මුන්දා මන්.. මට පාඩුවෙ වැඩක් කරන්න නෑනෙ…”
වේලාව අළුයම එකට ආසන්නව තිබිණි. බළලූන්ගේ නාදයේ කෙළවරක් නොමැත.
”ෆ්ලට් එකේ පූසො හදන්නෙ නෑනෙ.. මේ අහල පහල කිසිම පූසෙක් නෑ… එලවලා දාන්න ඕනෙ මුන්ව..”
විදුලි පන්දම අතට ගත් රුවන්, දසවන තට්ටුවේ සිය සඳලූතලය වෙත පැමිණියේ ය.
බළල් නාද එකෙනෙහිම නෑසී ගියේය. ඔහු දුටුවේ තද කොළ පැහැ මාරාන්තික දෑසක් පමණි.

******

”රුවන් ගජනායක නම් තිස් දෙහැවිරිදි විශ්ව විද්‍යාල කථිකාචාර්ය පුරාවිද්‍යාඥයා ඊයේ රාත‍්‍රියේ සිය සඳලූතලයෙන් ඇදවැටී මියගොස් තිබේ. ඔහුගේ මුහුණෙහි දරුණු සීරුම් පහරවල් දිස්වන අතර ඒ පිළිබඳව පරීක්ෂණ තව දුරටත් පැවැත්වේ.”
ගුවන් විදුලියෙන් ඇසෙන්නට විය.
”ඥාව් ඥාව් ..”
සිඟිතිගේ උකුලේ උන් බ‍්‍රවුනි හඬගෑවේ ය.

 

කතෘ – අයෝධ්‍යා සොනාලි

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...