බර්ටි අයියා
කතෘ
පුෂ්පිකා බණ්ඩාර


බර්ටි අයියා නෑකමින් අයියා වුවද, ඔහු හැට වයස් ඉක්මවා සිය ජීවන මගෙහි සැත්තෑවන සැතපුම් කණුවට ලගා වී බලා හිදින්නෙකි. මදක් ඉදිරියට නෙරා ආ බඩ තුළින් හා තැනින් තැන ඩයි කරගත නොහැකි වූ ශ්වේත කෙස් රොදවල් ද ඔහුගේ සත්‍ය වයස නිරාවරණය කලේය. 

මාගේ සැමියගේ පියාට දුරින් නෑයන් වුවද, අපගේ විවාහය දැනුම් දීමට තරම් ළඟ ඇසුරක් ඔවුන් සමග එකල නොතිබිණි. විවාහයෙන් තෙවසරකට පමණ පසු රැකියාවන් නිසාම ගම්පහ ප්‍රදේශයේ ස්ථිර පදිංචියට පැමිණීමට අප දෙදෙනා හට සිදුවිණි. මගේ නැන්දම්මාගේ මතකයේ තිබූ මේ දුරස්ථ නැදෑකම කරලියට පැමිණියේ අප මෙසේ ගම්පහ නිවසට පදිංචියට පැමිණි පසුවය. ඒ අනුව ගමෙහි පැවති ඉඩමක වැට මායිම් බලා කියා යාමට පැමිණි මේ බර්ටි අයියා නැන්දම්මාට මුණ ගැසී ඇති අතර, පැරණි මතක සිහිකර ඔහුගේ ජංගම දුරකථනයේ අංකය හා නැන්දම්මාගේ දුරකථන අංකය හුවමාරු කොට ගෙන තිබුණි. විදුහල්පතිවරයෙකුව සිට මීට වසර කිහිපයකට පෙර විශ්‍රාම ගොස් සිටි ඔහු මේ වනවිට විශ්‍රාමික ගුරුවරියක වූ ඔහුගේ බිරිය සමග ගනේමුල්ල ප්‍රදේශයේ වසන බව නැන්දම්මාගේ දුරකථන සංවාදයන් හරහා අපට දැන ගත හැකිවිණි. තමන්ගේම ලෙයින් උපන් දරුවකුගේ මුහුණ බලන්නට පින් මදි වූ ඔවුහු මතු සසරේ දිනක හෝ එම භාග්‍යය ලබාගනු රිසියෙන් හා තම පාලු දිවියෙහි කාන්සිය මකා ගන්නට දරුකමට දියණියක හදාවඩා ගත්හ. නමුත් අප ඔවුන්ගේ නිවසට ආගිය වතාවන්හිදීවත්, ඔවුන් අප නිවසට ආගිය වතාවන්හිදීවත් ඇය නම් අපට මුණ නොගැසිණි. හෙදියක ලෙස ඇය කාර්‍යබහුල බැව් අපට දැන ගන්නට ලැබුණි.

මෙලෙස ගෙවී යන කාලය අතර තුරදී, අප දෙදෙනාගේ පළමු දරු සුරතල් බැලීමෙන් පසු, සැමියා ගමන් ගත් මාර්ගයේම ගොස් රජයේ රැකියාවක් ලබාගන්නට මා හට සිතුනේ බස්නාහිර පළාත් ගුරු විභාගය ගැසට් වී ඇති බව දුටු විටය. ගුරුවරියක වූ නැන්දම්මාගේ ද පෙළඹවීම මත බස්නාහිර පළාත් සභා ගුරු විභාගයට පෙනී සිටියෙමි. නොසිතූ ලෙස මා ඉන් සමත්ව සිටියේ සමත් ලේඛනයෙහි හයවන තැනට නම රදවා ගනිමිනි.
නමුත් කොස්සකට පැවතියේ අවුරුදු තුනකට ස්ථිර පදිංචිය ඉල්ලන කොන්දේසිය ගුරු පත්වීම් සදහා අතවශ්‍ය වීමයි. අවුරුදු තුනක ස්ථිර පදිංචියට පැවති මාස තුනක හිග කාලය පිළිබඳ මගේ සිත කෙකර ගෑවේ, නරියෙකුට බිලිවීමට යන කිකිළිය සේමැයි. එදින සවස් වරුවෙහි, බර්ටි අයියාගෙන් ලැබුණු ඇමතුමත් සමග යම් බලාපොරොත්තුවක සේයාවක් අප හට දැනුණි. ඔහුගේ ඉල්ලීම පරිදි පෙරේරා ඇන්ඩ් සන්ස් බේකරියෙන් ගත් රුපියල් පන්සියයක අයිසින් කේක් ගෙඩියක් හා කෙසෙල් ගෙඩි ඇවරියක්ද රැගෙන අප ඔහුගේ නිවස වෙත සේන්දු වුයෙමු.

* * * * * * * * *

“ඔය ඉස්කොලේ වැහෙන්න ගියේ, හොඳ වෙලාවට මං ගියපු හින්දා තමයි අද ඔතන ඔය විදිහට තියෙන්නේ”, සාලය දෙසින් බර්ටි අයියාගේ හඩ ඇසෙයි.

මේ ළඟදිත් මට වෙනම උපහාර උත්සවයක් තිබ්බා, අධ්‍යාපන ඇමතිතුමාගේ ඉදන් ඒකට ආවා, මහ ඇමතිතුමා උනත් ඉස්කොලේ කරන කාලේ හරියට ආවා ගියා ඉස්කොලට,,,,

මට කිව්වා ඔය බණ්ඩාරනායකේ ප්‍රින්සිපල්කම ගන්න කියලා,, ඕවා මහ කරදර වැඩ, ඒ හින්දා මං මේ ඉස්කෝලේම ඉන්නම් කිව්වා…

“හුම්, හුම්….” අපේ මහ උන්දෑ ද බර්ටි අයියාට හූමිටි තබයි.

ඔය අපේ අල්ලපු වත්තට එහා පැත්තේ ගෙදර ඉන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් නේ,
බර්ටි අයියා තවදුරටත් දොඩමළු වෙයි.

මං අද රෑම නන්දසේනට (පළාත් ලේකම්) කථා කරන්නම්කෝ ඔය වැඩේ ගැන..
කිසිදේකට බය වෙන්ඩ දෙයක් නෑ, වැඩේ කෙරුණා කියලා හිතාගන්ඩකෝ..

බර්ටි අයියාගේ මේ වදන් තුලින් දැවෙමින් තිබු මගේ හදවත නිවී සැනහුන අතර, පත්වීම ගත් පසු ළමුන්ට උගන්වන ආකාරය පවා මා සිත තුල මැවී පෙනෙන්නට වන.

නන්දසේන මේ පැත්තේන්ම කථා කරන්නේ උනත් අපි එක්ක විතරයි. ඔය එහා පැත්තේ ඉඩම උනත් මං ගන්නවද නැද්ද කියලා අහලා තමයි ඒගොල්ලෝ ගත්තේ..
ඔය ළමයි දෙන්නාටත් මං උගන්වලා තියෙනවා, ඉංග්‍රීසි වලට වෙන කොහෙටවත් යැව්වේ නෑ, මෙහෙටමයි එව්වේ. ඔය ඊයේ පෙරේදා ඇමෙරිකා ගියා නන්දසේන, පවුලේ අයයි හැමෝම ආපහු ආව දවසේ රෑම මෙහේ ඇවිල්ලා චොකලට් අනන් මනන් දීලා ගියා මට විතරයි මේ මුලු ගමෙන්ම සලකන්නේ

********

බර්ටි අයියාගෙන් ඉරිදා රාත්‍රියේ දී දුරකථන ඇමතුම ලැබෙන විට අප සිටියේ රෑ කෑම ලබාගන්නා අතර තුරය.

බර්ටි අයියාගෙන් කෝල් එක කාලම ගන්නවා යැයි සැමියා පැවසුවද, එවෙලෙහිම ඇමතුම ගන්නා ලෙස මා වද කල බැවින් ඔහුද යුහුව සිය ජංගමය අතට ගත්තේය.
ආ බර්ටි අයියා … ආ… ඔව්
ආ… හරි,,, අපි එන්නම්කෝ
ඔව් පුලුවන් හරි, නවයට නේ
හරි බුදුසරණයි අනිවාර්යයෙන් එන්නම්

ඇයි මොකද කිව්වේ? දුරකථන සංවාදයෙන් පසුව මම ව්මසුවෙමි.

‘හෙට උදේ නවයට අර පළාත් අධ්‍යාපන ලේකම් එන්න කිව්වලු එයාගේ ඔෆිස් එකට අපිට’ මිනිහා වැඩේ කරලා දෙයි කියලා බර්ටි අයියා කියන්නේ.
එය ඇසු ව්ගස මගේ මුව පුරා සිනහවක් ඇදී ගියේ නිතැතිනි. හෙට දිනයේ ඇදීමට සාරියක් ගෙන එහි පොට ද සකසා සාරි හැට්ටය ද මැද හෙට දිනයට මා සුදානම් වුයෙමි.

උදෑසන හත වනවිට බර්ටි අයියාගේ නිවසට ගොස් ඔහුවද මෝටර් රියෙහි නංවා ගෙන පළාත් අධ්‍යාපන කාර්‍යාලය බලා අප ගමන් ඇරඹූයෙමු.

ගමනට ආශිර්වාද කරන්නාක් මෙන් වු උදෑසන පොද වැස්ස දිගටම වැටෙමින් තිබිණි.
බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන කාර්‍යාලය අප යන මගෙහි දකුණු පසින් මහල් කිහිපයක් උසට වැජඹෙමින් තිබෙනු අප්ට දැකිය හැකි විණි.

“අද උදේ නවය වෙනකොට අපිට එන්න කිව්වේ, අද දවසම ඔෆිස් කිව්වා, ඇමරිකා ගිහිල්ලා හිටපු සතියේ හිරවෙලා තිබුණ වැඩ ටික අද ඉවර කරන්න තියෙනව කියල තමයි ගියේ”
මට අද උදෙත් හම්බුනා, එයත් එක්කම මෙහෙට එන්න තිබුණ, ඒත් ඔයාලා පාර හරියට දන්නෙත් නෑනේ, ඒකයි මං ඔයාලත් එක්ක ආවේ.

බර්ටි අයියා එන මග දිගට දොඩමළු වූයේද නන්දසේන මහතාගේ නොනිත් ගෞරවයට තමා පාත්‍ර වී ඇති අයුරුත්, තම දේශපාලන සම්බන්ධතාවයන් පිළිබඳවත්ය. අටෝ රාශියක් වූ ඔහුගේ ආත්ම වර්ණනා වලින් අනතුරුව, අප මොටෝ රිය ඉඩ ඇති තැනක නවතා ගොඩනැගිල්ලට පිවිසුණෙමු.

ගොඩනැගිල්ලේ පළමු මහලේ සිටි ආරක්ෂක මහතෙකු ගෙන් අසා ගත් පරිදි හතරවන මහලට විදුලි සෝපානය හරහා අප සේන්දු වුයෙමු. යන අතර මගදී හමුවු වීදුරු කාමර වල වීදුරු හරහා මදක් අවුල්ව තිබූ හිසකෙස් ද, සාරි පොට ද මදක් සකසා ගත්තේ මෙතරම් ඉහල නිලයක් දරන්නකු හමුවට යන විට දී ඒවා පිළිබඳ වද සැලකිලිමත් විය යුතු වූ බැවිනි. අවසානයේ දී ඔහුගේ පෞද්ගලික කුටිය අසලට අපි තිදෙනා පැමිණ සිටි අතර, සැමියා බර්ටි අයියාට කිව්වේ දොරට තට්ටු කර බලන ලෙසය. දොරෙහි ඉදිරිපස ඝනකම් තහඩුවක “එච්. ජී. නන්දසේන , බ/ප අධ්‍යාපන ලේකම් ” ලෙස සටහන්ව තිබූ බැවින් මෙම කුටිය ඔහුගේම බවට තහවුරු කරන්නට වෙන යමක් අවශ්‍ය නොවිණි.
එහි දොරට මදක් තට්ටු කොට ඇතුලට ගිය අපට දක්නට ලැබුණේ ලේකම්තුමාගේ ආසනය හිස්ව පවතින බවයි. ලේකම්තුමාගේ කුටියට ඉදිරියෙන් ඔහුගේ මාණ්ඩලික සහකරුවකු හා කළමනාකරණ සහකාරිවරියක කථාබහක නි‍රතවෙමින් සිටිනු අපට දිස්විණි.

“නන්දසේන තාම ආවේ නැද්ද දන්නේ නෑ” බර්ටි අයියා මුමුණනු මට ඇසිණි.
“ලේකම්තුමා තාම ආවේ නැද්ද?” සැමියා ද එම පැනයම එතැන සිටි නිලධාරයාට ප්‍රතිවදනය කලේය.

අද ලේකම්තුමා නෑනේ. අද ඉදන් බදාදා වෙනකම් විදුහල්පති සම්මුඛ පරීක්ෂණ.
ලේකම්තුමා ඔෆිස් එන්නෙත් නැතුවම කෙලින්ම ගියේ එතෙන්ට

ආ අපිට අද එතුමා හම්බවෙන්න එන්න කිව්වා ඒකයි ආවේ, සැමියා එලෙස පවසන විටම,

ලේකම්තුමා ගිය සතියේ ඉදන්ම දන්නවා මේ සතියේ සම්මුඛ පරීක්ෂණ කියලා,,,

බර්ටි අයියා දෙසට හැරුණු අපට දක්නට හැකිවූයේ ඔහුගේ සායම අනෝරා වැස්සට සේදී, පෙගී පහළට දියාරු වී යන අයුරු යි…

 

කතෘ -පුෂ්පිකා බණ්ඩාර

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...