පැලැන්තිය
කතෘ
රශ්මි රවිනිකා සේනාරත්න


“සෙව්මි” බංකුව උඩ පොතක් කියවමින් හිටපු මාව ගැස්සුණේ රහල්ගෙ කට හඬින්. අපෝ ඇති අදවත් ආවා. මං හිතන් හිටියෙ හවස් වුණහම අදත් එන්නැති වෙයි කියලා. ගෙදර ගියාම ඔයාට ඉතින් මාව මතක නෑනෙ. හිතේ තරහක් තිබ්බෙ නැති වුණත් මං රහල් වෙතට දිගටම කියවගෙන ගියෙ බොරු නෝක්කාඩුවක් පෙන්වමින්. “අම්මට අසනීපයි කියලා මං ඔයාට කිව්වනේ..එක පාරට දාලා එන්නත් බෑනේ.. ටිකක් සනීප වෙනකම් ඉඳලා ආවෙ ඉතින්.” හරි හරි අනේ මං බොරුවට නෝක්කාඩු වුණේ. ලේලි දොස්තර වුණාම නැන්දම්මාව බෙහෙත් දීලා බලාගන්නම්කෝ මං කිව්වෙ ටිකක් දඟකාර විදිහට රහල්ගෙ අතත් කොනිත්තන ගමන්.

වෛද්‍ය සිසුවියක් වුණ මගේ සරසැත නිව්වෙම රහල්ගෙ ලෙන්ගතු ඇසුර. මගේ මූණෙ ඉරියව්වක් පවා සියුම් විදිහට කියවන්න රහල්ට තියෙන්නෙ හරි පුදුම හැකියාවක්. ” ආදරෙ කියන්නෙ හිත පිරිමදින තේරුම් ගැනීමක් සෙව්මි” හුඟක් වෙලාවට රහල් කිව්වෙ එහෙම.රහල්ට තිබුණෙ දක්ෂ ගායකයෙකුගෙ ලක්ෂණ වුනාට එයාගෙ හීනෙ තිබුණෙම ලෝයර් කෙනක් වෙන්න.

කාලෙ කොයි තරම් වේගෙන් ඉගිලුණාද කියලා මටම තේරුමක් නෑ. සීමාවාසික පුහුණුව ඉවර වෙලා යන්තම් හුස්ම ගන්න පටන් ගත්තා විතරයි. ” දෝණි ඔයා හෙට ගෙදර ඉන්නම ඕන. අර දුලංග පුතාලා හෙට මෙහෙ එනවා”.අනේ අම්මා… මං කී දවසක් නම් කිව්වද මං ඒ යෝජනාවට කැමති නෑ. අප්පච්චි බිස්නස් කළාට මට බිස්නස්කාරයෙක්ව ගැළපෙන්නෑ. “මට ඕවා කියලා වැඩක් නෑ පුතේ ඔයා අප්පච්චි එක්කම බේර ගන්න” කියාගෙන අම්මත් කාමරෙන් එළියට ගියා. හිතේ තිබුණ සැනසීම බිංදුවටම වැටෙද්දි මං කල්පනා කළේ මගෙ ජීවිතේ ගැන. ඉපදුණ දා ඉඳන් කිසි අඩුවක් නොකරපු අම්මටයි අප්පච්චිටයි විරුද්ධ වෙන්නත් බෑ. මගෙ ආත්මෙටම කතා කරපු රහල්ව නැති කර ගන්නත් බෑ

දුලංගගෙ පළමු හමු වීමෙදිම රහල් ගැන කියන්නට මං පරිස්සම් වුණා. ඒ වගේම අන්තිම පාරටත් මං අප්පච්ච් එක්ක රහල් ගැන කතා කළා. ” රහල් කියන්නෙ අඩු කුලේ එකෙක්. ඌ ලෝයර් නෙවෙයි මොකෙක් වුණත් අපේ පරම්පරාවට පෑහෙන්නෙ නෑ.ආයේ මාත්  එක්ක ඔය ගැන කතා නොකළට කමක් නෑ ” සංවාදෙ ඉවර වුණේ හිත හොඳටම රිදවගෙන.

ආයෙත් අප්පච්ච්ත් එක්ක රහල් ගැන කතා නොකළත් පුළුවන් හැම වෙලේම මං දුලංගව ප්‍රතික්ෂේප කළා. දුලංග කියන්නෙ මාන්නක්කාරයෙක්. ඔව් වලව්කාරයෙක්. දිගින් දිගටම මං කරපු ප්‍රතික්ෂේප කිරීම් එක්ක එයාගෙ සීමාව ඉක්මවලා ගියා. ” තමුසෙ දොස්තර වුණාට මට ලොකු නෑ. අර ලෝයර් කාරයා වගේම තමුසෙත් අඩු කුලේ එකියක්.. හරියටම කිව්වොත් ඇහිඳ ගත්ත එකියක්. ගුණතිලක අන්කල් වාසගම දුන්නට තමුසෙ අනාත එකියක්” ඒ වචන මගෙ කන් වල දෝංකාර දෙද්දි ආවට වඩා වේගෙන් දුලංග යන්න ගියා. මටත් නොදැනිම කඳුළු රූරගෙන එද්දි හිරවුණු ඉකියක් හැඬුමකට පෙරළුණා.

දවස් කොයිතරම් ගෙවුණත් මං නිතරම දිව්වෙ ඒ රහස පස්සෙමයි. එකතු කර ගත්ත තොරතුරු ඔක්කොමත් එක්ක මට තිබ්බ එකම සැනසීම මුල්ම පත්වීමත් අම්පාරටම ලැබුණ එක. ලැබුණ තොරතුරු වල හැටියට මගෙ ඇත්තම අප්පච්චි හිටියෙ මේ ළඟම ගමක. ඉඩක් ලැබුණ ගමන්ම මාව එහෙ එක්ක යන්න ඉස්පිරිතාලෙ මුර මාමා පොරොන්දු වුණා.

සිකුරාදා නිසා ටිකක් නිදහසේ හිටියත් මහ රෑ යන්තමින් ඇහුණෙ මුර මාමගෙ කට හඬ. ” දොස්තර නෝනෙ දොස්තර නෝනෙ විගහට මෙහෙට ආවා නම්” මුර මාමගෙ කෑ ගැහිල්ලට එළියට ආපු මං දැක්කෙ මළ කඳක්. “මුන්දැට හේනෙදි අලියා ගහලා.. පොඩ්ඩක් බැලුව නම්”. එතකොටත් බලන්න දෙයක් ඉතුරු නැතුවම ලෙඩා මැරිලා තිබුණා. බලන්න දෙයක් ඉතුරු වෙලා නෑ මාමෙ, මං කියද්දිම මුර මාමාගෙ ඇස් තෙත් වුණා. “නෝනෙ මේ ඉන්නෙ මං නෝනෙට මුලිච්චි කරන්න උන්නු නෝනෙගෙ අප්පච්ච්” ඒ වෙව්ලන ස්වරය ඈතින් ඇහෙද්දිම මං බිත්තියට වාරු වුණා..

 

කතෘ -රශ්මි රවිනිකා සේනාරත්න

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...