පසුතැවිල්ල
කතෘ
නිපුනි කෞෂල්‍යා


අවරගිරින් බැසයන්නා වූ හිරුමඬළ කාන්තිමත් ලෙස සයුර සිසාරා පැතිරෙමින් තිබේ.  කහ පැහැයත් රත් පැහැයත් මිශ්‍රිත ඒ ආලෝක කදම්භය වනාහි, සමුදුරු කත එවේලේ හැඳ සිටි දුහුල් සළුව පටක් වැන්න. කිසිදු රළු බවකින් තොරව නිසංසලේ උස්පහත් වන්නා වූ දිය රැලි, මේ නෑඹුල් යෞවනියගේ ලය  රිද්මයට සමය. බිඳිති විසිරෙනා පෙණ කැටිති, වාතලය සිඹින හුස්ම පොද සේ සීරුවෙන් එහෙත් ආයාසයකින් තොරව පිටතට පැමිණේ. ඕතමෝ නිවිසැනසිල්ලේ මිහිකත මත වැතිර නිලඹරට නෙත් දෙක යොවා හිඳින්නීය.

හෙමි හෙමින් මා ඉහලට ඇදී යන්නාක් මෙන්  දැනෙයි. අමුතුම ආකාරයේ සැහැල්ලුවකින් මා පිරී ඉතිරී යන බැව් හැඟීයයි.  මහා සැඩ සුළඟකට හසුව ඉබාගාතේ ඇදී යන්නා වූ වියලි තුරුපතක් පරිද්දෙන් මා කොහෙටදෝ ඇදීයනු මට දැනෙයි. කිසිදු සංවේදනයක් නොවුවද මානසිකව චිත්‍රණය වන සිදුවීම් මාලාවක් මා වටා ඇති බව නම් ඉඳුරාම කිව හැකිය. කොතෙක් වෙලාවක්, කෙතරම් කාලසීමාවක් මා මෙසේ හිස් අවකාශයක ඒ මේ අත ගියාදැයි නිශ්චිතව තීරණය කළ නොහැක.

සුළඟකට හසුවූ මා එක්වරම යම් තැනකට ගෙනැවිත් අතැර දැම්මාක් වැනි මනෝභාවයකින් මම පෙලෙන්නට වීමි. සුපුරුදු මිනිස් කටහඬ කිහිපයක් සෙමෙන් සවනත වැකෙනු දැනෙයි. මම හොඳින් පහත බැලීමි.  

අධික වර්ෂාවෙන් බැට කෑ සලකුණු භූමිය පුරාම දක්නට ලැබෙන අතර ලොකු කුඩා මල් පෙති තැනින් තැන විසිරී තිබේ.  එකදු මලක්වත් පඳුරක දක්නට නොලැබෙන අමුතු ශෝකී විලාසයක් සමස්ත පරිසරයම අත්කරගෙන සිටියි. වෙනදාට කොළ වැසෙන්නට තරම් ගෙඩි හටගන්නා අඹ ගසෙහි එකදු ගෙඩියක්වත් නොවීම සැබැවින්ම පුදුම සහගතය. පසෙකින් වූ පුවක් ගස් කීපය අකුණු වැදීමේ ප්‍රතිඵල වශයෙන්දෝ විනාශ වී ගිය ලකුණු පෙනේ.

නේක විසිතුරු මලින් ගෙවත්ත පිරී තිබූ, නොයෙක් ඵල වැලින් බර වූ, පොල් අතු රටාවට දිනපතා මිදුල අමදිනා ඒ නිවසේ දැන් තත්වය නම් පාළුවට ගිය, අත්හැරදමන ගරා වැටීමට ආසන්න නිවස්නක් හා සමය.

මේ අන් කිසිදු තැනක් නොව මාත්, මවත් විසූ අප සොඳුරු නිවසයි. වචන වලට පෙරලිය නොහැකි ආකාරයේ සියුම් රිදුමකින් මම පෙළෙන්නට වීමි.

“නෝනේ මේ සේපාලිකා ඉස්කෝලෙ හාමිනේගේ ගෙදර වෙන්ටැ” කේඩෑරි වී දරකෝටුවකට සම සිරුරක් හිමි, අපිරිසිදු රෙද්දකිනුත් හැට්ටයකිනුත් සැරසි මහලු කතක් නිවස ඉදිරිපිටට විත් එබිකම් කරයි. සේපාලිකා ඉස්කෝලේ හාමිනේ නමින් ඇය හැඳීන්වූයේ මා ය. ඈ සමග වූයේ මා දන්නා හඳුනන තවත් මුහුණකි. මේ කාන්තාව ඇගේ මව වූවා විය යුතුය.

“ඔව් ඒ මෙහෙ තමා කාව හම්බවෙන්නද ආවේ” වසර ගණනාවකින් වියපත් වූ ස්වරූපයක් ඈ සතු විය. ඕතමෝ මගේ මෑණියෝය. උසුලාගත නොහැකි තරමේ දුක් වේදනාවන් සිත්හි දරා ගැනීම් ඊට හේතු බැව් එකෙනෙහිම මට සිහියට ආවේය. සිනහමුසුව සිටිනා,  නිමුනු කාන්තාවක වූ මගේ මෑණියන්ගෙන් එවෙලේ දිස්වුයේ  හැඟීම් රහිත හිස් බැල්මක්ම පමණි.

“ලොකු නෝනේ, මම පියවතී…. මේ ඉන්නේ මයෙ කෙලී. අපේ කෙලීට අකුරු සාස්තරේ උගන්නලා ඇස් පාදන්න සේපාලිකා ඉස්කෝලේ හාමිනේ හරියට මහන්සි ගත්තා. කෙලී විභාගය ඉහලින්ම පාස් වෙලා නෝනේ.  සන්තෝසෙ බෙදාගන්න නෝනේ  හිටියනං කියලා කෙල්ල විස්සෝප වෙනවා. මේ බැරිම තැන තමා මම කෙල්ලත් එක්ක  නෝනේවවත් මුණගැහෙන්න ආවෙ “ කී මැහැල්ල අතේ වූ රෙදි කඩකින් ඇස් පිස දා ගත්තේ පසෙකින් වූ ඇගේ දියණිය පෙන්වමිනි. දැරියද ශෝකී මූණකින් මගේ මෑණියන් දෙස බලන්නට වූවාය.

ඔසරි පටින් කඳුළු පිහින්නට වු මවුතුමිය ඔවුන් නිවස තුලට කැටුව ගියාය. මා ඔවුන් පසුපස ගියෙමි.

“එන්න වාඩි වෙමු මෙහෙන්”

“දුව අන්තරා වෙලා මාස 3ක් නම් මං තනි උනා.” මව හීල්ලුවාය.

“එයා හිටියනම් හරි සතුටු වෙයි, කැමැත්තකින් නෙමෙ ඔය ගුරු රස්සාවට ගියේ, වැඩිමනත් මගේ බලේට. මොනවා කරන්නද ඉතින් ගෙනා ආයුස වෙන්ටෑ” කී මගේ මෑණියෝ තනියම තමා අස්වසා ගන්නට වෑයම් කරන්නීය.

“ඒක නේන්නම්, සීදේවි නෝනා, දරුවන්ට හරි ආදරේ කියලා කෙලී හැමදාම ඇවිත් කියනවා. ඒ නෝනේ නෙවෙන්න මෙහෙම කෙල්ලට උගන්නන්න, මේ තනි මට හයියක් නෑ ලොකු නෝනේ. ඒ පිනම ඇති අපේ නෝනට හොඳ තැනක උපදින්න.. ආයේ මෙහෙම නිස්කාරනේ අන්තරාවක් නොවෙන්න.”

“එයා යන්ට බෑම කිව්වා මම බලෙන් මගේ කෙල්ලව යැව්වෙ… මගේ වැරැද්දෙන්  කෙල්ල නැතිවුනේ පියවතී”. පියවතීත් සපුමලීත්, හැකිතාක් වෙර යොදා මගේ මව අස්වසන්නට වලි කෑහ. මගේ ගුණ වැයුහ. නමුත් මෙලෙස මාගේ අකල් වියෝවට, මගේ මව නිස්කාරනේ තමන්ට ම දොස් නගා ගැනීම මට ඉහිලුම් නොදෙන්නට විය.

කඳුළු වැගිරීමට ශරීරයක් නොවුනද ගින්නට වැටි පලගැටියකුසේ, “ශෝකය” නම් චිත්තාවේගයෙන් මගේ මනෝකාය දවා හළුවන්නාක් මෙන් මට දැනිණ. අසීමිත වේදනාවකින් මිරිකෙමින් කකියමින් හුන් මා, මගේ මව් තරයේ බදා වැළඳ ගතිමි. ආත්මයක පහස නොදැනෙනා බැවින් වියපත් මෑණියෝ යථෝක්ත ශෝකී ස්වරූපයෙන් ම එල්බ සිටියාය.

“ඉස්කෝලෙ නෝනා හොඳ තැනක ඉදන් නෝනේ දිහා බලාගෙන ඇති ලොකු නෝනේ. වෙච්චි දේ වුණා. නෝනේ හිත හදාගන්ට, ලබා උපන් හැටි නොවැ ඉතින් මේවා” පියවතී දුක නිවා සනහනුවස්  අටෝසීරාවක් දෑ පවසයි. සපුමලී සිය මලානික, දුක්ඛිත විලාසයෙන් බලාගත්වනම බලා හිඳී. නමුත් පියවතීත් සපුමලී පවසන තරමටම මා යහපත් ලෙසින් රාජකාරිය නොකළ බැව් මට ඒකාන්තය. අවංකව මම ඉගෙනුම් කාර්යයෙහි නිරත වූ බව සැබෑය. සපුමලීවන් දක්ෂ දියණියකට උදව් උපකාර කළ බව සැබෑය. එහෙත් ඉන් එහා ගුරුවරියක සතු විය යුතු ගති සිරිත් කිසිසේත්ම මා සතු නොවිණි.

මෑත අතීතයේ සිදුවීම් සියල්ලම සිතුවමක් පරිද්දෙන් පෙළින් පෙළ මා ඉදිරියේ දිග හැරෙන්නට විය.

“අනේ අම්මා මට නම් බෑ ඔය වැල්ලේ ස්කෝල වල උගන්වන්න යන්න මට අප්පිරියයි ඕවයි යන්න. ඊටත් ඔය මුදු කරේ ඉන්නේ චාරයක් නැති මිනිස්සු මට බයත් එක්ක. පත්වීම් ලිපිය ආ දිනයේ මම මෙලෙස මැසිවිලි නැගුවේ මා හට ලැබී තිබුණු පාසල මුහුදුබඩ කුඩා පාසලක් වූ නිසාවෙනි.  කුඩා කල පටන් “සාරි හඳින” රැකියාවක නිරත වීමට සිහින දුටු මගේ සිහිනය මෙලෙස සැබෑ වුවත් අගනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලකින්  ඉගෙන ගත් මා හට එවන් පාසලකට යෑමට සිදුවීම මගේ කෝපය ඇවිස්සීය.  තරමක මාන්නාධික තරුණියක වූ මා පසු වූයේ ඉතාමත් කළකිරීමෙනි.

මගේ ක්‍රියාකලාපය දෙස බලා සිනාසුන මව පැවසුවේම ගුරුවරියක ලෙස මා එලෙස සිතීම පවා තරම් නොවේ කියාය. රැකියාවකට වඩා උතුම් ඒ  කාර්ය මා වැන්නෙක්ට ඉතා උචිත බැව් ඈ විශ්වාස කළාය. මගේ අසීමිත අකැමැත්තත්, මවගේ පෙරෙත්තයත් මැද කෙසේ හෝ රාජකාරි බාරගැනීමට මම එහි යන්නට තීරණය කළෙමි.

කුඩා පේලි නිවෙස් බොහෝමයක් ඒ අවට වෙයි. කසළ වලින් ගහන පටු මාර්ගයයන්, නූගත් අවිචාරශීලී මිනිස් කණ්ඩායම් සැබැවින්ම මා හට ඇති කළේ මහත් වූ හිසරදකි. තරමක හෝ උගත් කමක් සහිත පුද්ගලයෙකු මේ ප්‍රදේශයෙන් සෙවීම වනාහි කළුනික සෙවීමක්ම විය. යට කී නිවාස පොකුරට තරමක් ඈතින් වූ කුඩා පාසලේ, ගුරු නිවාසයේ මම නවාතැන් ගතිමි. තවත් එලෙස සිටින මැදිවියේ ගුරුවරියක යාබද කාමරයේ විය.

මෙම පාසලෙහි පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙයි. සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් මෙහි නොවූ අතර සිටින සීමිත සිසුන් සංඛ්‍යාව, ආර්ථික මට්ටම අතින් බොහෝ පහළ ස්ථරයක වූ බව නම් කිව යුතු මනාය. බොහොමයකගේ පවුල් පසුබිම් පවා එතරම් යහපත් නොවිණි. සියල්ලෝම එකම පංතියකට අයත් පීඩිතයෝ වූහ. සිසුන් බහුතර ඉතාම අපිරිසිදු ප්‍රියමනාපයකින් තොර කණ්ඩායමක් වීම මා හට ඉහිලුම් නොදුනි.

සිංහල විෂය භාර ආචාර්යවරියක වූ මා ලොකු කුඩා සෑම පන්තියකටම ඉගැන්වීම් කටයුතුවල යෙදී යෙදුනි. පාසලේ කුඩා දරුවන් මා යනෙන අතරතුරේ සාරිපොටේ එල්ලී “ටීචර්ගේ සාරිය සුවඳයි” ගාමින් සිය සුරතල් මුව විදා සිනාසෙයි.  නමුත් ඔවුන්ගේ අපිරිසිදු මුහුණුත්, සොටු දළ වැගිරෙනා නාසයනුත් මා හට ගෙන ආවේ මහත් වූ අපුලකි. එවන් අවස්ථාවල මම බොහෝ ආයාසෙන් ඔවුන් හා සිනාසී හැකිතාක් මග හැර යාමට තරම් දැඩි වූවෙමි.

සපුමලී, ඒ ලොකු කුඩා ගල් කැට අතර වූ මිණි කැටයක් බඳු වූවාය. පියකරු නොවූව ද ඈ අපිරිසිදු නොවූවාය,  අපිළිවෙළ ඇඳුමින් සැරසී පාසලට ආවද නිතර සිනාමුසු මුහුණින් සිටියාය.

හොඳින් ඉගෙනුම් කටයුතු වල යෙදී සිටි ඕතමෝ පන්තියේ දක්ෂතම සිසුවිය ලෙස කීප වරක් තේරී පත් වූවාය. මා ඈට හැකිතාක් උපකාර කළේ මෙම නරා වලෙන් ඇය කවදාක හෝ පිටව ගියොත් යහපත් යැයි සිතමිනි. පන්තියේ වාරාවසාන විභාගයේ පළමු වැනියා වෙන ඈ තම වාර්තා පොත අතැතිව මා දෙස බලා සිනාසෙයි.  දැරිය තවත් දිරි ගන්වනු වස් මම ඇයට කුඩා ත්යාගයක් දුනිමි. මගේ පාසලේ නම් මේ වෙලේ ගුරුවරියෝ අප වැළඳ ගනී. ආශිර්වාද කරයි. මල් වැනි බාලිකාවෝ ඕඩිකොලොන් සුවඳින් නැහැවී සිටිති.  ඔවුන්ගේ පියරු තැවරුණු මුහුණු කාන්තිමත්ය. නමුත් මෙවැනි දැරියක එලෙස සිප වැළඳ ගැනීමට තරම් මා හට ප්‍රියතාවයක් නොවුණු හෙයින් පෙරළා මා ඇයට සිනාසීම පමණක් සිදු කලෙමි. ඒ නමුත් සපුමලී නම් මා හට දැඩිලෙස ඇලුම් කරන බැව් මම දැන සිටියෙමි.

කාලය පියාපත් ලද්දාක් මෙන් ඉගිලිනි.

පාසලේ විසීම මා හට අප්‍රසන්නම වී තිබුණි. මේ වන විට මෙම අපිරිසිදු පරිසරයත්, අපිරිසිදු දරු දැරියෝත් මගේ පිළිකුලට භාජනය වී අවසන්ය. එබැවින් මම පත්ව සිටි අපහසුතාවය කෝලයක් ලෙස සුළු වරදක් පවා කරන දරුවකුගේ පිටින් ගොස් කෙළවර විය. එහෙත් දැනුදු එය මතක් වන සෑම විටම මා දැඩි ලෙසම ශෝක වෙමි. එලෙස හිත් පිත් නැති ගුරුවරියක වීම ම සැබවින්ම පාපයකි.

මගේ කන් කෙඳිරි ගෑම දිනපතා අසා සිටීම එපා වූ නිසාදෝ මගේ මව් පැවසුවේ යළි නිවස බලා පැමිණෙන ලෙසයි. අකමැති වෘත්තියක අකමැත්තෙන් නියැලෙනු එපායි ඕතොමෝ අණ කළාය.එයින් පීඩාවට පත්වන්නේ අසරණ දුප්පත් දරුවන් බැව් පවසා ඈ මා හට බැන වැදුණාය.

දුකටත් කෝපයටත් පත් මම පසුදාම අස්වීමේ ලිපිය බාරදීමට තීරණය කලෙමි. පාසලෙන් අස් වීමට ගත් තීරණය හේතුවෙන් ශෝකයට පත් කිසිවකු එහි වූවා නම් ඒ සපුමලී පමණි. ඈ ගැන කණගාටුවක්  මාහට වූ බව නම් සැබෑය. මඩ වගුරෙහි වූ  පියුමක් බඳු වූ සපුමලී පිළිබඳව මා හදවතින් තැවුණෙමි. නමුත් මා නතර කර ලීමට තරම් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය.

බඩුබාහිරාදිය ද සමඟ මාර්ගය පිවිසි මම, අප්‍රමාණ සැනසිල්ලකින් සිටියේ මේ අප්‍රිය සහගත පරිසරයෙන් නික්මෙනවාදැයි දැනුනු අසීමිත සතුටිනි. මා කෙතරම් ඔදවැඩී සිටියේද  කිවහොත් මා හට හීයක වේගයෙන් යනෙන වාහන පවා දැනුනේ මම පසුකර දුර ඇදෙන කෙළිබඩු පරිදිය.

අපුල සහගත මුදු බඩින් ඉවත් වී යෑමේ චේතනාවෙන් පසු වූ මට, සමස්ත ලෝකයෙන්ම සමුගන්නට වේලාව පැමිණ තිබිණි යැයි මා සිහිනෙනුදු නොසිතුවෙමි. මාගේ අවසන් මතකය වූයේ අධික වේගයෙන් මා දෙසට එන දුර ගමන් බස් රථයක් පමණි. රථය ඇසිල්ලෙන් මා යටකර ඉදිරියට ඇදෙන්නට විය.

 

කතෘ -නිපුනි කෞෂල්‍යා

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...