නොමියෙන මව් සෙනෙහස
කතෘ
චතුරි නිසංසලා


වැලිකඩ බන්ධනාගාරයඅමුත්තන් හමුවීමේ කාමරය අසල

එක් සිරකරුවෙකු කඳුලු පිරි දෑසින් තමා ඉදිරියෙහි දිස්වන අමුත්තන් හමු වීමේ කාමරය දෙස බලා සිටියේය.  ඔහුගේ දෑස් එහි රැදුනා  වුවද හිත වෙනත් කොහෙදෝ ඉසව්වක අතරමංව තිබුනි.

අමුත්තන් හමුවීමේ කාමරය තුළ හඬා වැටෙමින් සිටියේ තරුණ සිරකරුවෙක් වැලඳගත් මවකි. ඇය අතොරක් නැතිව තම පුතු සිපගනිමින් හඬා වැටුණි. තරුණ සිරකරුවාද කඳුළින් බොඳවූ දෙනෙතින් යුතුව ගොලුවත රැක්කේය. ඒ දසුන් පෙල පිටත බලා සිටි සිරකරුවාගේ දෙකොපුල් කඳුළින් තෙමාලීය. නිමේශයකින් ඔහුගේ මතකය අතීතය කරා ඇදුනි.

 

වසරකට දෙකකට පෙර

“පුතේ පුතේ සරත් නැගිටපං. දැන් හොඳටෝම එළිය වැටිල. උඹ අද වැඩට යන්නෙ නැතෙයි”

සිරියාවතී තම බේබදු පුතු සරත්ව අවදි කරවීමට උත්සාහ දැරුවාය. පෙරදා රැයේද කටගොන්නක් බී ගෙන විත් සිරියාවතී සාදා තිබූ  පොල් රොටි දෙකද ගිල දැමූ සරත් තවමත් තද නින්දකය.

“සරත් නැගිටපං. මේ දොහේ උඹ ඔය රස්සාවත් නැති කොරගෙනයි පස්ස බලන්නෙ “

තම දුබල හස්තයෙන් සරත්ව සොලවමින් අවසන් වරටද ඔහුව අවදි කිරීමට සිරියාවතී උත්සාහ කළාය. ඉන් පලක් නොවූයෙන් වෙව්ලමින් මුලුතැන් ගෙට ඇදුණු ඇය එහි මුල්ලක ඇනතියා ගත්තාය.

80 වියැති ඇය දෙදරු මවකි. සරත් වැඩිමහල් දරුවා වූ අතර අනෝමා නම් දුවකද ඇයට සිටියාය. ඇගේ සැමියා වූ චන්දරේ දරුවන් අත දරුවන් වු කාලයේම මිය ඇදුනේය. එදා පටන් අනේක දුක් ගැහැට විඳ දරු පැටවුන් දෙදෙනා ලොකු මහත් කිරීමට සිරියාවතී නොවිඳි දුකක් නැති තරමය.

ඇගේ දිවියම ගමේ රබර් වත්තේ ගස් වටා කැරකීමටම ගෙවී ගිය තරමකි. සැමියා නොමැති ගෙයට පිළිසරණ දෙන්නට බොහෝ පිරිමින් උත්සාහ කළා උවද ඇගේ ලෝකය දරු දෙදෙනාම පමණක් විය. ඇය හැකි පමණින් දරුවන්ට අකුරු කියාදී දරුවන්ගේ ලෝකය එළිය කරන්නට උත්සාහ කළද ඔවුන් එහි ඵල නොනෙලුවාය. සරත් 6 වසරෙන්ම අධ්‍යාපනයට  තිත තැබූවේය. සරත් ඉස්කෝලෙට තිත දැමූ දා සිටම ගමේ රස්තියාදු කල්ලියට එක්ව රංචු ගැසූ අතර ගමේ සියලු දහදුරා වැඩවල මුල් තැනක් ගත්තේය.

සිරියාවතී නොයෙක් වර දඬුවම් දෙමින් ඔහුව යහමගට ගැනීමට උත්සාහ කළද බලු වලිගයක ඇද ඇරීම ඊට වඩා පහසු බවක් ඇය පසුවට අවබෝධ කරගත්තාය. තම දියනියට හෝ උගන්වා ගැනිමට සිතුවද ඇයද යන්තමින් සා පෙළ පන්තියට පමණක් ඉගෙන නගරයේ ඇඟලුම් කම්හලක සේවයට ගියාය.

එවන් බොහෝ අවස්ථාවල කිසිවක් නොකී මුවින් යුතුව සුසුමන් හෙලුවාය. අවසන රැකියාවකට ගොස් මසක් ගෙවෙන්නටද මත්තෙන් අනෝමා හිතුවක්කාරී ලෙස තරුණයෙකු හා පැන ගියාය. ජීවිතයම කඳුළින්ම ගෙවා දැමූ ඇය සතුව කඳුළක් හෝ නොවීය. තමන් තවත් කුමට ජීවත් වන්නදැයි සිතුණු අවස්තා අනන්තවත් ඈ හට විය.

ඉර අහස් මුදුන සිපගන්නා හෝරාව අවසානේ නැගිටගත් සරත් නැගිට ගොස් මුළුතැන්ගෙයි හැලි වලං ඇද බැලීය.

“මොනවත් නැද්ද බං අම්මෙ කන්න මට?”

මුලුතැන්ගෙයි මුල්ලක ගුලිව වෙව්ලමින් සිටි සිරියාවතී කිසිවක් නොකියාම මුනිවත රැක්කාය.

“හහ් අම්මප උඹල තමා අම්මල. මට කන්න හුළංවත් නෑ. මේකි ගිලල මුල්ලකට වෙලා ඉන්නව ගිලපුව දිරෝගන්න බැරුව”

එසේ පැවසූ සරත් කමිසයක්ද රැගෙන පිටව ගියේය.

සිරියාවතී හිත යටින් වැලපුණාය.මතක ඇති කලෙක් ප්‍රමාණවත් අහරක් නොලැබූ ඇගේ සිරුර නහර වැල් කටු මතුව අතිශය කෘශව ගොස් තිබුණි. දරුවන් කුඩා කල සිටම දරුවන් පෝෂණය කළ ඇගේ බොහෝ දිනයන්හි ජලයෙන් පමණක් පිරුණි. පෙරදා රැයේ උවද අසල්වැසි නිවසේ හාමිනාගෙන් ඉල්ලාගත් පිටි ඇබින්දෙන් පොල් පෙන්වා හැදූ රොටි දෙක සරත්ට තැබූ ඈ වතුරේම පිහිට පැතුවාය. ගේ අහලක හාල් ඇටයක් නොමැතිව සිව දිනකි. ගමේ කඩෙන්ද ඇති ණය කන්ද නිසාම තවත් ණයට දීම ප්‍රතික්ෂේප කර තිබුණි .

සති කිහිපයකට ගමේ රබර් යාය උදුරා දැමූ දින සිට තම ජීවිකාවද අහිමි විය. සරත් වුවද මුර රස්සාවෙන් ලැබෙන සොච්චම මාටින් මුදලාලිගේ කසිප්පු වාඩියට පූජා කර බේබද්දෙකු මෙන් කටගොන්නක් බීගෙන නිවස බලා ඇදුනේය.

සරත් නොකිව්වා උවද සතියකට පෙර ඔහුටද බීමත්කම නිසාම රැකියාව අහිමිව තිබුණි. වත්ත මුර කරනු වෙනුවට බිමතින් ගේට්ටුව අසල නිදා සිටියදී ප්‍රධානියාට හසුව වැටුපද නොගෙවා ඔහුව එලවා දැමීය. නමුදු දවසම ගම පුරා කරක් ගැසූ ඔහු දෙන්නම් කාසියට මාටින් මුදලාලිගේ තිප්පලට රිංගුවේය.

‍රැයේ පුරුදු ලෙසටම වැනි වැනී ගෙට රිංගා ගත් සරත් කන්නට දෙයක් නොවූයෙන් පරුෂ වචන පවසමින් හැලි වලං පොලවේ ගැසීය. අනතුරුව  උදේ සිටි මුල්ලේම ගැහෙමුන් සිටි සිරියාවතී සොයා ගිය සරත් ඇගේ අතෙන් ඇද ඇයව නැගිට්ටුවේය. වේල් හය හතක් කුසට අහරක් නොවූයෙන් පරඬැලක් මෙන් විසිව්වූ ඇයගේ සිරුරේ රස්නය ගිනි කබලක්ව නැගී තිබුණි.

“ කෝ යකො මට කෑම. මං උඹවද කන්නෙ?”

සරත් ගිගුරුවේය.

“ගේ හරියෙ හාල් ඇටයක් නැතුව මං මොනව උයන්නද?”

සිරියාවතී කෙඳිරි ගාමින්ම මිමිණුවාය.

“උඹ දැන් මට හාල් ගේන්නද කියන්නෙ? මගෙ ගාව සල්ලි නෑ. උඹ ඔය යනකොට ගෙනියන්න පොදි බැඳන් ඉන්නවැයින් දීපන්”

සරත් සිරියාවතීගේ එක් උරයකින් අල්ලා සොලවමින් පැවසීය.

“මා ගාව ඇති සල්ලියක් නෑ” පැවසූ සිරියාවතී සරත් මගහැර යාමට උත්සාහ දැරුවාය.

“එහෙනම් රත්තරං බඩුවක්වත් දියං. මං එක දීල සල්ලි ගන්නම්”

සරත් නැවත තම මවට පීඩා කලේය.

“මාව විකුණ ගනින්. මා ගාව ඇති එකක් නෑ. මගෙ ළඟතිබ්බ දේවල් උඹල පොඩි කාලෙමයි බැංකුවට සින්න උනේ. මේ කනේ තියෙන්නෙත් පොට්ට කරාබු දෙකක්”

සිරියාවතී වෙව්ලන කටහඬින්ම පැවසුවාය.

“බොරු නොකිය දීපන් නාකිච්චි ඕක”

මතින් අන්දව තිරිසනෙකු වී සිටි සරත් මවගේ කන රැඳි නොවටිනා කරාබු යුගල බලහත්කාරයෙන්ම ගලවාගෙන පිටව ගියේය.

ඉරී ලේ ගලන කන් පෙති දෑතින් වසාගත් සිරියාවතී පැදුරු කඩමාල්ලක ගුලිව දෙනෙතින් නොව හිතෙන් කඳුළු සැලුවාය.

පසු දිනට පහන්ව උවද නිවසේ දොර විවර නොවූයෙන් අසල්වැසි නිවසේ හාමිනනා පැමිණ සිරියාවතී ඇමතීය. අනුන්ගේ සැම දෙයක්ම සොයන ගැහැනියක වු ඇය අබලන්ව තිබූ දොරද විවෘත කරගෙන ගෙට පිවිසියාය. සිරියාවතී පැදුරු කඩමාල්ල මත ගැහෙමින් වැතිර සිටියාය.

“දෙයියනේ අක්කෙ මොකද මේ? කෝ නැගිට්ට නං”

සිරියාවතීව වත්තං කරමින් හිඳවාලූ ඇය සිරියාවතී උණෙන් පෙලෙන බව වටහාගත්තාය.

“දෙයියනේ හොඳටම උණනෙ අක්කෙ. ඔහොම ඇලවෙලා හිටින්න මං කොත්තමල්ලි වතුර ටිකක් ඇන්න එන්නම්”

සුළු මොහොතකින් කොත්තමල්ලි රැගෙන ආ හාමිනා කියවිල්ලකට මුළපිරුවාය.

“කොහෙද මේ සරත් හිටියට වැඩක්‍ යෑ. මට ඇහුණ ඊයෙ රෑත් ගෝරනාඩුව. මං කිව්වට තරහ වෙන්න එපා අක්කෙ. අර යසට හිටපු ගෑනිත් යන්න ගියෙ ඕකගෙ චරියාව නිසානෙ. මට ආරංචියි රස්සාවෙනුත් එලෝගෙන කියල”

ඇය නොනැවත්වා කියවීය.

“අක්ක එහෙනම් ඕක බීල ටිකක් ඇල වෙන්න. මං ගොහින් අපේ පොඩි එකාව බලල එන්නම්”

හාමිනා පිටව ගියාය.

ඇඳිරි වැටෙන යාමය බලා මාටින්ගේ කසිප්පු තිප්පලට රිංගා ගත් සරත් පුරුදු පරිදිම ගිනි වතුර කටට හලා ගත්තේය. නොපහන් මුහුණකින් යුතුව සරත් දෙස බැලූ මාටින් මුදලාලි සරත් ට ණය මුදල් මතක් කලේය.

“උඹේ ගාන නම් සැරයි දැන්. ඉක්මනට බේරපං. අද විතරක් ණයට දෙන්නම්. අනික මට ආරංචියි රස්සාවත් නැති කරගත්තා කියල”

“හරි හරි මුදලාලි මං දෙන්නම්. දන්න්වනෙ මේ සරත් කිව්වොත් කිව්ව කියල. එක නෙමෙයි මුදලාලි මොකක්ද ඒ පුසුඹ?”

“ඒ මේ උයපු දඩ මස් වගයක්. කට ගැස්මට”

මුදලාලි සරත්ගේ පැනයට පිලිතුරු සැපයීය.

“ගමුකො මෙහෙටත් ටිකක් එහෙනම්”

දැනුණු ගිජු බවත් සමගම සරත් ඉල්ලා සිටියදී මාටින්ගේ මුහුණ යලිත් අඳුරු විය.

“හා හා ඒවැයින් කාරි නෑ. ඒව දෙන්නම් කාසි වලට දෙන්නෑ. ඒව ඕනි නම් ණයෙන් ටිකක්වත් ගෙවපන්”

මාටින් පවසද්දී නිහඬවම සරත් තව තවත් මත් වීය. නමුදු දැනුණු දඩ මස් සුවඳ ඔහුගේ කෑදර බව වැඩිකරලීය.

හොඳ පදමට මත් වූ සරත් අඳුරේම නිවසට පිය නැගීය. අබලන් දොරද පෙරලාගෙන ගෙට ඇතුළු වූ ඔහු මව සොයා ගියේය.

“ ඒ නැගිටපං. මට සල්ලි ටිකක් දීපං.නැගිටපං “

රෝගීව වැතිර සිටි සිරියාවතීට පයෙන් අනිමින් සරත් කෑ ගැසීය.ඇය නොනැගිටි ගේ පුරාම අදිමින් බඩු මුට්ටු පොලේ ගැසූ ඔහු නැවත සිරියාවතී වෙත පැමිණියේය. ඇගේ කෙස් වැටියෙන් අල්ලා නැගිටවූ ඔහු නැවත් ඇයට කෑගැසුවේය.

“මේ අහපං නාකිච්චියෙ. මට සල්ලි දියන්. මං දන්නව උඹ ගාව තියනව කියල. දීපන් මට”

ඇයව සොලවමින් සරත් ගිගුරුවේය. සිරියාවතී අසරණව කෙඳිරි ගෑවාය.

“මගෙ ගාව නෑ බං. කියන දේ අහපං”

ගිනි වතුරෙන් සහ දඩ මසට ගිජු කමින් මත්ව සිටි සරත් කෝපයෙන් වියරු වැටුනේය. වැර යොදා තම රෝගී වියපත් මවට පහරක් ගැසූ ඔහු කෝපයෙන්ම පිටව ගියේය. විසිව ගොස් වැටුණු සිරියාවතීට තම හිස ගල් වංගෙඩියේ කොනක වදිනු දැනුණු අතර හිස පුරා දැනුණු හිරි වැටීමක්ද සමග මොහොතකින් සැම අතම අඳුරු විය.

සරත් නොනිමි කෝපය, ගිජු බව, මත් බව යන සියල්ලෙන් අන්දව යලිදු කසිප්පු තිප්පලට වෙත ඇදුනේය. එහි යනවිට එහි එකෙකු දෙන්නෙකු ඇරෙන්න පිරිසක් නොවීය.මාටින් වෙත ගිය සරත් යලිත් දඩ මස් ඉල්ලිය.නමුදු මාටින්ගේ ප්‍රතිචාරය පෙර පරිදිම විය.

“මොනවද මුදලාලි අපි ගම රට දාල යනවැයි? ඔන්න ඔහේ පොඩ්ඩක් දෙන්ඩ. මං හෙට සල්ලි දෙන්නම්”

සරත් යලි යලිත් පෙරැත්ත කල මුත් දඩ මස් නොලැබුණු අතර ඔහුගේ ගිජු බව තව තවත් වැඩි විය. මොහොතකට වට පිට බැලූ සරත් දඩ මස් බඳුනද රැගෙන දිව යන්නට හදත්ම මාටින් පැන ඔහුව වැලකීය. දෙදෙනා අතර පොරයක් ඇරඹෙද්දී අසල තිබූ මන්නයක් දුටු සරත් එයින් මාටින්ට කෙටුවේට.

මදකින් තමා අතින් වූ වරද අවබෝධ වූ ඔහුට දෙලොව රත් විය. හැකි ඉකමනින් කැලෑවට පැනගත් ඔහු වෙරි මතින්ම ඉබා ගාතේ දිව ගියේය. අවසන ඔහු අවබෝදයකින් තොරවම ගඟ වෙත පිවිසිනි. පෙර දිනයන්හි වට වැස්සෙන් ගඟ පිරී ඉතිරී දෙවුරු තලා යමින් තිබුණි. අවසාන මොහොතේම ගඟ දුටු සරත්ට වෙරි මත නිසාම තමා නවතා ගැනීමටවත් වේලාවක් නොවිනි. ඔහු අඳුරු සැඩ ජල කඳ දෙස්ට ඇද වැටුනේය.

අහෝ පුදුමයකි. කවුරුන් හෝ ගඟට වැටෙන්නට පෙර ඔහු අල්ලා ගත්තේය. හැරී බැලූ සරත් විමතියට පත් විය.

“දෙයියනේ අම්ම උඹ මෙහෙ?”

කිසිවක් නොකියූ සිරියාවතී සිහින් සිනාවක් නගා යන්නට හැරුණාය.

මොහොතක් ඒ දෙස බලා සිටි සරත් කම්පනයෙන් මෙන්ම භීතියෙන් ගං ඉවුර කොනක හිඳගත්තේය. එහි ගසකට පිටදුන් ඔහු බෝහෝ වේලාවක් එහි කල්පනා කරමින් රැඳුනේය.

පාන්දර පින්නෙහි සීතලට තිගැස්සී අව්දී වූ සරත් තමන් තවමත් ගං ඉවුරේ සිටින බව වටහා ගත්තේය. ඔහුට තම මව සිහි විය. මව තමාගේ දිවි ගලවා ගත් අයුරු ඔහුට සිහිපත් විය. ඔහු හෙමි හෙමින් වන මැදින් රහසේම නිවස කරා පිය නැගීය.

නිවසට රිංගා ගත් ඔහු මව සෙව්වේය. ඇය නොසිටියෙන් ඔහු මුලුතැනගෙට ඇදුනේය. දුටු දෙයින් ඔහුගේ ගත් සීතල වි ගියේය. සිරියාවතී මුළුතැන්ගෙයි ගල් වංගෙඩිය අසල වැටී මියගොස් සිටියාය. ඇගේ හිස වටා ලේ ගංගාවක් ගලා ගොස් තිබුණි.

සරත්ගේ නෙතින් කඳුළු කඩා වැටුණි. පෙරදා රැයේ තමාගේ දිවි ගලවා ගත්තේ කවුද? ඔහු කඳුළු අතරින්ම සිතුවේය.

 

වර්තමානය

“අංක 1024 සරත් . තමුං මොකද ඔතන කරන්නෙ? තමුංව බලන්න කවුරුත් ආවෙ නැනෙ. වහාම යනව තමුන්ට අදාල වැඩට”

ජේලර් වරයෙක්ගේ කෑගැසීමත් සමගම අමුත්තන්ගේ කාමරය දෙස බලා සිටි සිරකරු තම දෙකොපුල් පුරා රූර ගිය කඳුළු රහසේම පිස දමමින් එතැනින් නික්ම ගියේය.

 

කතෘ -චතුරි නිසංසලා

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...