කුමූ...!
කතෘ
ෂෙනාලි පෙරේරා


මාව කසාඳ බන්දන එක අම්මගෙයි තාත්තගෙයි හීනයක් වීම මට මහා කරදරයක් ඇත්තටම. ආපූ යෝජනා වලින් අම්මයි තාත්තයි දෙන්නම ආස වුණු එකම කෙනා නිසා මාත් හා කියන්නම් වාලේ හා කිව්වට ඒ තීරණේ හරිද කියලා හිතන්නවත් මට වෙලා නැහැ. පවුලක ආදරේ මැද්දෙ හැදිලා, ජීවිතේ වැඩි හරියක් සතුට එක්ක ගෙවපු මට අවිශ්කව මුණ ගැහීම “දෙයියෝ දීපූ ආශිර්වාදයක්” කියලයි අම්මා නිතරම කිව්වේ. “තාත්ති වගේම ඔයාව බලාගනී අවිශ්ක පුතා” කියලයි අම්මා දවස ගාණේ මැතිරුවේ. මට ඒ ගැන සැකයක් තිබුණේ නැහැ. නොතිබුණෙත් නැහැ.

මම කියෙව්වේ ආර්ථික විද්‍යා පොත්. අන්තර්ජාතික ව්‍යාපාර තමා මම කැමතිම අංශය. අවිශ්ක කියෙව්වේ පාවුලෝ කොයියෝව… අරුන්දති රෝයිව… ඒ අතරතුර චේතන් භගත්වත් එයා කියෙව්වා. මම එයාට අරන් දුන්නේ තෑගී. එයා මට ලියලා දුන්නේ කවි.

එයාට තිබුණෙ ලස්සන අකුරු.

ඒවා දිගැටියි.

පැටලෙන සුළුයි… හැබැයි අපූරුයි.

කවි නෝතේරුණාට එයාගේ මහන්සිය මම අගය කරා. තප්පර දහයෙන් මගේ ඇස් ගැන කවි ලියන අවී මාව පුදුම කරා.

“කොහොමද එහෙම ලියන්නේ අවී?”

“පපුව ඇවිළෙනවා..එතකොට ලියවෙනවා..”

කෙටි උත්තර…දිගු බැල්මවල්… නිහඬව ගෙවී යන මිනිත්තු…

“කම්පණි එකක අයිතිකාරයෙක් තෑග්ගට දෙන්නේ කවිද?” ඉශාරා ඇහුවේ එහෙමයි. අපි හොඳම යාළුවෝ. ඉශා දැනන් හිටියා මාව කියවන්න. මට හිනා ගියා.

“මොකද හිනා වෙන්නේ?”

“නැහැ ඉශා නිකන්… කවිත් නරකම නැහැ.. එයා තව තෑගිත් දෙනවා”

“Stop acting and pretending that you are totally fine with your fairy tale Kumu”

“No I’m not.. I’m not totally fine ඒත් මේ මනුස්සයව එපා කියන්න යමක් මට තාම දැනිලා නැහැ”

“ඕන කියන්න යමක් දැනුනද”

ආයෙත් නිහඬ තත්පර…

“කුමූ… උත්තර දෙන්න.. ඔයා අකමැතිනම් වෙඩින්ග් එකකට යන්න ඕනෙ නැහැ. උගත් මනුස්සයෙක් වගේ තීරණ ගන්න. කෙලින් කතා කරන්න. ඔයාට බැරිනම් මම ආන්ටි අංකලුයි එක්ක කතා කරන්නම්”

“පොඩ්ඩක් සද්ද නොකර ඉන්න ඉශා… ප්ලීස්.. ටිකක් කට වහගෙන ඉන්න. පොඩ්ඩකට”

“ඒ ඇයි?”

“මම ආසයි ඒකට”

“මොකක්???”

ඉශා ඇස් ලොකු කරගන්නවා. පොඩි කාලේ ඉදන් එහෙමයි. අපි දෙන්නම ආස සද්දෙට. සින්දුවක් දාගෙන නැටුවත් ඒක ගොඩාක් අයට ඇහෙන්න දාගෙනයි අපි නැටුවේ. සද්දෙ…. කලබලේ…. වේගය…. ඒවා තමා මාව ප්‍රාණවත් කරේ…

“කුමු ඔයාට මොකද වෙලා තියෙන්නේ? දවසේ වැඩි හරියක් යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් වල ඉදන් ළමයින්ට කියවන නිසා දැන් කතා කරද්දි අනොයි වෙනවද එහෙම නැත්තම් ඔයා ඩිප්‍රෙස් වෙමින් ඉන්නවද? මට ඇත්ත කියන්න”

ආයේත් නිහඬ මිනිත්තු… වෙලාව පාන්දර 01.30යි. අවී පොතක් කියවලා නිදාගන්න යන වෙලාව. තව හරියටම සතියකින් එයා ඇඳට එද්දි මමත් ඒ කාමරේම ඒ ඇඳේම එයාගේ වයිෆ් විදිහට ඉන්න වෙනවා. මට නින්ද හරි වැදගත්. උදේ 6.30ට හරියටම මම පිටත් වෙන්න ඕනේ ලෙක්චර් එකට යන්න. රෑ එළි වෙනකන් පොත් කියවන්න පුරුදු වුණු මනුස්සයෙක් එක්ක එකම කාමරයක් බෙදාගන්න එක අම්මා කියන තරම් ලේසි නැහැ.

ඔක්කොටම හපන් අපේ අම්මවත් තාත්තවත් රෑ එළි වෙනකන් පොත් කියවන්න තරම් පොත් වලට ආදරේ කරේ නැහැ. ඒ නිසාම වෙන්න ඇති මම වැඩියෙන් ආස පොත් කියවන්න නෙමෙයි ඕඩියෝ ඇප් එක දාගෙන අහන්න. මහන්සිය අඩුයි. ලේසි‍යි.

“කුමූ……?”

ආයෙත් තප්පර ගාණකට මට අමතක වුණා ඉශා මගේ ඉස්සරහ ඉඳගෙන මගෙන් උත්තරයක් එනකන් බලන් ඉන්න බව.

ශික් කසාඳේ කියන්නේ මෙච්චර අමාරු දෙයක් කියලා දන්නවනම් කැම්පස් එකේ අපේ ඩිපාර්ට්මන්ට් එකේම එකෙක්ට හා කියනවා. උන් කියවන්නෙත් මම කියවන පොත්මනේ.. ඇත්තටම කසාඳේ කියන්නේ මෙච්චර කැපකිරීම් ගොඩක් නම්….හෝව් හෝව් මම විතරක් මොකටද කැප කරන්නේ? එයා? එයා මොනවා කැප කරයිද? ඇත්තටම කැප කරයිද? නැත්තම් මටත් අතිශයින් සාම්ප්‍රදායික භාර්යාවක් වෙලා ජීවිතේම කැප කරන්න වෙයිද?? හ්ම්ම්ම්ම්….

“කුමූ මේ තමුසෙට පිස්සුද? මම මේ නිදි කිරා වැටි වැටි බලන් ඉන්නවා දෙකෙන් එකක් කියනකන්… මෙයා මෙතන ඉඳන් කැම්පස් එකට පයින් යනවා අරූව ඇනලයිස් කරන්න ටූල් එකක් හොයන්න..මම නිදාගන්නවා..මට මහන්සි.. ඕන මංගල්ලයක් කරගන්නවා. කාව බැන්දත් මමයි දෙවෙනි මනමාලි.. ගුඩ් නයිට්”

ඉශා නිදි… අවී අන්තිමට දීපු පුංචි ගල් අල්ලපු රත්තරන් මුද්ද මගේ අතේ. ඒකට බල්බ් එකේ එළිය වැටිලා දිළිසෙනවා. ආදරේ කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න වෙලාවක් මට හම්බ වුණේම නැහැ. ඉස්කෝලේ…ඊට පස්සේ CIMA එක්ක කැම්පස්… ඊට පස්සේ සහය කථිකාචාරිනි කුමුදිනී රණබණ්ඩාර… ජීවිතේ කොටසක්ම මඟ හැරිලා ගිහිල්ලා වගේ…

ෆෝන් එක වයිබ්‍රේට් වෙන ගමන් රිංග් වෙනවා ඇහිලා ගැස්සිලා ඇහැරුණාමයි තේරුනේ මටත් ඉඳගෙනම නින්ද ගිහිල්ලා කියලා. අවී මැසේජ් එකක් එවලා.

“කුමූ… ආයෙත් වතාවක් පාවුලෝ කොයියෝගේ ඇල්කෙමිස්ට් කියෙව්වා. ලබන සතියෙ මේ වෙලාව වෙද්දි ඔයා මගේ වයිෆ්. ඒක ලොකු වගකීමක්. මට වෙලාවකට බයයි ඒක මට දරන්න පුළුවන් වෙයිද කියලා.. ඔයා දන්නවා මම තුවාල සහිත මිනිහෙක්. නිමාශා මාව දාලා ගියේ මාව තුවාලයක් කරලා. අවුරුදු 3ට පස්සේ මට ආයෙමත් දැනෙනවා ආර්ථික විද්‍යා පොත් කියවන, කොයියෝ කියන්නේ කවුද කියලා අහලවත් නැති, මම ලියන කවි නොතේරෙන ඒත් ඒවා කියවන, පිටින් පේන ව්‍යාපාරික අවිශ්ක සපරමාදුව විශ්වාස කරනවට වඩා කොළ කෑලි වල කවි ලියලා දෙන අවීව ඔයා විශ්වාස කරනවා කියලා. තුවාල වලට උඩින් ආයෙත් ආදරේ කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. හෙට උදේ නැගිටලා දිගම දිග වට්ස්ඇප් මැසේජ් එක දැකලා ඔයා බයවෙන්නේ නැති බව මම දන්නවා. දිග මැසේජ් කියවන්න ඔයා කම්මැලි වුණාට මම ලියන ඒවා අමාරුවෙන් කියවන බව මම දන්නවා. තව දවස් කිහිපයයි. ඊට පස්සේ මට හිතෙන දේවල් මම ඔයාව ළඟට කරන් කියන්නම්.

අපි දෙන්නටම හැඩගැහෙන්න වෙයි අනිත් කෙනාට. ඒත් මට පුළුවන් ඔයාට පොරොන්දු වෙන්න ඔයාට ඕන වෙන වෙලාවට මම මගේ නිහඬතාවය බිඳලා කතා කරනවා කියලා. පොත් කියවන එක නවත්තන්න මට බැරි වෙයි ඒත් අපි ඒකටත් උත්තරයක් හොයා ගමු. රටක ආර්ථිකේ ඇනලයිස් කරලා තීරණ ගන්න ළමයින්ට කියලා දෙන ඔයාට මේකටත් උත්තරයක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ. සමහර විට ඔයා ආවම මටම හිතෙයි පොත් හවසට කියවන එක වඩා හොඳයි කියලා.. මම ටිකක් දිගට ටයිප් කරලා. සමාවෙන්න. මට කියන්න ඕනේ මෙච්චරයි. අවුරුදු 30ක් වෙන අවිශ්කට අවුරුදු 19ක පෙම්වතෙක් වෙන්න බැරි වෙයි. ඒත් ඔයා නිහඬවම ඉන්න වෙලාවටත්, තොරතෝංචියක් නැතුව ආර්ථික ප්‍රතිපත්ති ගැන කියවන වෙලාවටත් අමාරුවෙන් හරි ළඟ පාතකට වෙලා කැරකි කැරකි ඉන්නම්. ගුඩ් නයිට් කුමූ! “

ඇඟ හිරිවැටෙන්න පටන් ගන්නේ ඔළුවෙන්ද නැත්තම් කකුලේ ඇඟිලි වලින්ද කියලා හොයාගන්න මට තව සෑහෙන කාලයක් යයි වගේ. කදුළු ආවට අඬාගන්න අමාරුයි.

“ඉශා…ඉශා…නැගිටින්නකෝ”

“ඇහ්… මොක…මොකද..කියනවකෝ මොකද වුණේ කුමූ?”

“මම දන්නවා ඇයි මම සද්ද නොකර ඉන්නේ කියලා”

“මොකා”

“ඇයි ඔයා මට බැන්නෙ මම ඔහේ කල්පනා කර කර ඉන්නවා කියලා”

“ඕහ් ඉතින්”

“අවී එයා දන්න දේවල් කියද්දි මම සද්ද නොකර අහන් ඉන්න ආසයි… ඔක්කොම අහන් හිටියට පස්සේ අවි මගේ ඔළුව අතගාලා නළලට කිස් එකක් දීලා “එපා වෙනවා නේද මාත් එක්ක” කියලා අහද්දි ඔළුව වනලා එහෙම නැහැ කියලා කියන්න මම ආසයි… ඒකයි ඒ”

“කුමූ….”

“හ්ම්ම්ම්”

“තමුසෙට පිස්සු… පිස්සු නෙමෙයි ලව් සික්… දැන් නිදාගන්නවා…කසාඳේ තීන්දුයි. මම තමයි දෙවෙනි මනමාලි..ගුඩ් නයිට්.. ආයේ ඇහැරවන්න එපා. ඇඳෙන් විසික් වෙන්න පයින් එකක් ගහනවා”

“හ්ම්ම්ම්…. ගුඩ් නයිට්… මේ ඉශා එයා එව්ව මැසේජ් එක…”

“මට නිදාගන්න දෙනවකෝ කුමූ.. මහලොකු ලෙක්චරර් ඇඹරෙනවා ආලයෙන් මත් වෙලා..හෙට උදේට බලන්නම්..ගුඩ් නයිට් බෙස්ට් ෆ්‍රෙන්ඩ්… අන්තිමට එහෙනම් තමුසෙත් ආලයෙන් වෙලුණා එහෙනම්.. “

“හ්ම්ම්…. “

 

කතෘ – ෂෙනාලි පෙරේරා

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...