කළු වැස්ස
කතෘ
චින්තා පවිත්‍රානි


ගෙමිදුල පුරා කළු පැහැති වතුසුද්ද මල් පිපී තිබුණි. අහසේ නන් දෙසින් පාව ආ කළු වලාවෝ තාර පැහැයෙන් සායම් ගැල්වූ වැහි කඳුළු බිම හෙළූහ. මා ඉහලාගෙන සිටි කුඩයේ මල් අතරින් කළු දිය බිඳු ලිස්සා ගියේ සිහින් සරයක් නඟමිනි. අනෝරා අකුණු ගෙරවිලි මැද මට ඒ ගැන වගේ වගක් නොවී ය.

“හරිනෙ දැන් සේරම ඉවරයි” මම කුඩය අකුලා බිත්තියට හේත්තු කර ගෙට ගොඩවුණෙමි. “හරිනෙ දැන් කාට කාටත් සන්තෝෂෙන් ඉන්න පුළුවන්” මගේ හඬ වේගවත් ව හතර අතේ විහිදුණේ ය. කවුරු කවුරුත් පේන්නට නොවී ය. මද වේලාවකින් උණු තේ කෝප්පයක් අතැති ව ආ නංගී එය මේසය මත තබා වදනකුදු නොදොඩා ඇගේ කාමරයට ගියා ය.

“තේ එක බොන්න” යැයි ඇය මට නොකීවා ය. කිසිදු අංගචලනයකුදු නොකළා ය. එහෙත් ඇය ඇවිද යන ලීලාවෙහි “තේ එක බීල පාඩුවෙ ඉන්න අක්කෙ” වැනි යමක් ගැබ් ව පැවති බව දුටු මම එබන්දක් වන්නේ කෙසේදැයි කල්පනා කිරීමට වෑයම් කළෙමි. තේ කෝප්පයෙන් නැගෙන උණුසුම් දුම අතින් ස්පර්ශ කිරීමට මට උවමනා විය. ඒ සමඟ ම මගේ සුළැඟිල්ලට ඇඟිලි තුඩක ස්පර්ශයක් දැනිණි. ඒ අදිසි ඇඟිලි තුඩ සදිස්ගේ ය. ඔහු මට “යන්නෙපා” යැයි නොකියා “ඔයා කැමති තීරණයක් ගන්න පමුදි” කීවේ හැඟීමෙන් තොර හඬකිනි. එහෙත් මා කැමති තීරණය නොයා හිඳීම බව ඔහු අනුමාන කළේ යැයි මට දැන් සිතේ. මෙය පැරදුණු පෙම් සටනක් පිළිබඳ කතාවකි. “ඔයිට වඩා අවි අමෝරා ගත්තා නම්, ටැඹක් මෙන් නිසොල්මන් ව එක තීරණයක සිටියා නම් ඔය සටනින් අගේට දිනන්න තිබ්බා” යැයි ඔබ කියනු ඇත. මගේ හෘද සාක්ෂියේ පසුතැවීම එයයි. සදිස් “ඔයා කැමති දිශාවකට පදින්න” කියා ජීවන ඔරුවේ ඔහේ වාඩි වී සිටියේ ය. “ඔයා ද  පිරිමියා මමදැ”යි ඉවසීමේ සීමා ඉර පසු කළ මොහොතක මම වේදනාත්මක හඬකින් ඇසුවෙමි. “මමත් මේ පැත්තට ඇද්දොත් ඔයා අසරණ වෙනවා” ඔහු උපේක්ෂා සහගත ව කීවේ ය. “අපේ ගෙදරින් ඕකේ. දැන් ඔයාටනෙ ගෙදරින් ප්‍රශ්න” ඔහු සුසුම් නොහෙළුවේ ය. මුහුණ මඳක් පසෙකට හරවා නිසොල්මන් ව මොහොතක් හිඳ “වැඩිය හිතන්න එපා” කීවා පමණි. සදිස්ගේ වචනවල අග හරියේ දෙමළ උච්චාරණය යන්තමින් එල්ලී තිබුණි. එහෙත් සැලකිල්ලකින් කන්දී වැඩිදුර සිතීමෙන් මිස එය හඳුනාගත නොහැකි තරම් ය.

උසස් පෙළ පන්තියේ කෙළවර මේසයක වාඩි වී හිස පොතකට නැඹුරු කොට මොනවාදෝ ලියමින් සිටි මොහොතක මම මුල්වරට ඔහු විශේෂ කළෙමි. මල් වෑහෙන ඇසළ ගසක් යටින් සිය කඩවසම් දිග උරහිස් ප්‍රදර්ශනය කරමින් සදිස් ඇවිද යන දර්ශනයක් මගේ සිතෙහි ඇඳී තිබූ නමුත් සැබවින් ම එය සිදුවූවක් ද යන්න මතකයේ නොවී ය. ඔහු ඕනෑම කෙනෙකුගේ මුහුණ බලන්නේ ක්ෂණයකට බව මගේ ඊළඟ නිගමනය විය. එය සිනහවකට හෝ ඉඩ නැති තරමේ තප්පර ගණනකි. මා විශේෂයෙන් බලන්නට වී සතියක් ගත වන්නටත් පෙර සදිස් ඒ අවධානය අල්ලාගෙන එහි ම එල්ලී ආවේ අදහාගත නොහැකි වේගයකිනි. ඒ වේගවත් ආකර්ෂණය අන්තයේ “මම ඔයාට ආදරෙයි” යන්න ඇසීමේ ඒකායන බලාපොරොත්තුවෙන් පසු වූ මගේ විස්මයාන්විත සවන් හමුවේ ඔහු කියාපෑවේ “මම ටැමිල් කියන එක තේරුම් ගන්න” කියා පමණකි. ඒ වචන කීපය ඉදිරියේ දී වීමට නියමිත ව තිබූ කිසිවක් වෙනස් නොකළ ද වරදකාරී හෘදසාක්ෂියක පීඩනය හො චෝදනා මා වෙත එල්ල කරන බලවත් මැතුරුමක් වූ බව මට එදා යන්තමින්වත් නොවැටහුණි.

“කොල්ලා දෙමළ කියල කලින් කීවා නම් උඹට තිබුණ අකැමතියි කියලා පාඩුවෙ ඉන්න” අම්මා ආරවුල් ගහන දිනයක අන්තයේ කීවා ය.

දෙමළ යන වදනින් මගේ සිතේ නිදන්ගත ව තිබූ කළු පැහැති ස්මරණ පණගසා නැඟී ආවේ හාත්පස කළු දුමකින් වසාලමිනි. “අසූ තුනේ කළු ජූලිය කාලෙ හැමතැන ම ගින්දර” කියා අම්මා කියන විට කුඩා වියේ දී මම කළුපැහැති ජූලි මාසයක් සිතින් මවා ගතිමි. කළු කඩසාප්පු මතින් කළු දුම් විසුරුවා හැරියෙමි. ඒ දුම වැදී මිදුලේ වූ වතුසුද්ද මල් පෙති කළු  පාට විය. එතැන් පටන් සෑම වසරක ම ජූලි මාසයේ දී මම කළු පාට වතුර බී කළු පාන් කෑවෙමි. “ආයෙත් එහෙම වෙන්න පුළුවන්” යැයි අම්මා කියද්දී මම දෑස් වසා කළු ලෝකයක නින්දට දිගැදුණෙමි.         

 ****************************

සුළඟ වේගයෙන් සුසුම් හෙළද්දී අර තේ කෝප්පය නිවීයයි. මට දැන් එය බීමට පිරියක් නැත. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ මට ඊට ඇතුළු වී දෙමාපියන්ට කීර්තියත් මාහට සුදුසුකම්ත් ඒකරාශී කළෙමි. ගුලිකර මහවැලියට නොදැමූ ඔහු පිළිබඳ මතකය යළි පණගසා හුස්ම අදිද්දී පුද්ගලික වෙළඳ ආයතනයක මුදල් අයකැමියකු වූ සදිස් මාසයකට දෙතුන් වතාවක් කැම්පස් එකට ආවේ “ තාම මාව අමතක කළේ නැද්ද” යන පැනය අසාගෙන ය. දින සති ගෙවෙද්දී අධිවේගී මාර්ග වැටී දම්රෝ ආයතනය හා පේරාදෙණ විශ්වවිද්‍යාලය අතර දුර ටිකින් ටික අඩුවෙද්දී පැනය “ඔයාගෙ තීරණේ මොකද්ද” යනුවෙන් වෙනස් විය. ඉඳහිට ගෙදර ගිය මොහොතක “තාම ඒක නැවැත්තුවෙ නැද්ද, දෙමළෙක් එක්ක ජීවත් වෙන්ඩ පුළුවන්ද, සනුහරේට ම නින්දා කරනවද” යන ප්‍රශ්නාවලිය හමුවේ විගලිත වූ මම “අපි මේ සම්බන්දෙ නවත්තමු” යන තීරණය නොවළහා ඔහුට කියාපෑවෙමි. එයින් සති දෙක තුනකට පසු ව සදිස්  “ඔයා ඇත්තටමද කියන්නෙ” යැයි ඇසූ කළ ඇස් වසාගෙන හාත්පස පැතිරෙන කළු පැහැය දකිමින් “බොරුවට කීවෙ” කීවෙමි.

“අන්තිමට ඔයාට මොළේ පෑදුණා” සාලයට පැමිණ යළි කුස්සියට යන අම්මා කියන්නේ මගේ ප්‍රතිචාරයක් අපේක්ෂා නොකරමිනි. ඇගේ මුහුණෙහි තැවරුණු සෙනෙහස ව්‍යාජයක් නොවන බව මම දනිමි.

“මේ පාර මං යන්නෙ ආපහු එන්න නෙමෙයි” මම අද වෙන් ව එන මොහොතේ දී සදිස්ට අවධාරණාත්මක ව කීවෙමි. ඔහු මුහුණ මඳක් පසෙකට හැරවූයේ එය විශ්වාස නොකරන්නාක් මෙනි. මගේ ගවුමේ අත් මතට සිහින් වැසි බිඳු වැටී ළා නිල් පැහැති රෙද්ද මත තද නිල් තිත් වැටිණි. “මං කියන්නෙ ඇත්තට”  ස්වරයට ශෝකය මුසු වෙතියි මා පරෙස්සම් වෙද්දී උගුරෙහි ලේ නහරයක් නලියනු දැනුණේ ය. මම නළලෙහි දහඩිය බිඳු පවා පිසදා ගැනීමට පමා නොවී ඉදිරියට ඇදුණෙමි. “මම ගෙදරින් කතා කරපු කෙනා ව බඳිනවා. ඔයත් හොඳ කෙනෙක් හොයල බඳින්න” මගේ හඬ ඔහු කරා විහිද ගියේ සුළඟේ තෙතමනයට හසු නොවෙමිනි. සදිස් වදනකුදු නොදොඩා බලා හිඳිද්දී අහස ගුගුරා වැසි වැටුණේ ය. ඔහු තෙතබරිත වීදැයි බැලීමට මම ආපසු නොහැරුණෙමි.

 

කතෘ – චින්තා පවිත්‍රානි  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...