කඳුලු අකුරු
කතෘ
මහීමා ප්‍රසාදි රාජපක්ෂ


ඇහේ ඉඳන් මොළේටම හාරගෙන යන තද රෝස පාට, කහ පාට, නිල් පාට එහාට මෙහාට වැනෙන මූසල එළි අතරෙ එක එක ඇඟවල්වල හැප්පි හැප්පි මම මගෙ කස්ටමර්ගෙ ග්ලාස් එක අරන් ආවා. එයාටනම් දැන් සිහියක් නෑ. අතේ තියෙන වීදුරුව කටේ හලාගන්නෙත් බාගයක් ඇඟේ හලාගත්තට පස්සෙ. වැඩිවෙන්න කලින්ම මගෙ ගාන ඉල්ලගත්ත නිසා තවත් පරක්කුවෙන්න කලින් එළියට බැස්සෙ දරුවා ⁣ගෙදර තනියම නිදිඇති කියල මතක්වෙන නිසාමයි. ආසාවට ටොපියක් චොකලට් එකක්වත් ගන්න මේ මහ රෑ කඩ ඇරල නෑ කියලා දන්න නිසාම පාරෙ ගිය ත්‍රීවීලරේකට අතදාලා නවත්ත⁣ගත්තෙ ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන.

“පන්සීයක් වෙන්නෙ කොහොමද? වෙනදට මෙතෙන්ට එන්න ගන්නෙ දෙසිය පනහයි. ඊට වඩානම් කීයක්වත් දෙන්නෙ නෑ”.

“ආ කමක් නෑ නංගී.. දෙසිය පනහක් කෑෂ් දීලා, ඉතුරු දෙසිය පනහට සැපක් දීල යන්න එහෙනම්!”

ලෝකෙ තියෙන ඔක්කොම කුනුහරප ටික හිතට ආවත් ඒව කටින් නොකියා දෙසිය පනහක් ඒ මිනිහගෙ ඇඟේ ගහලා හැටේ පාර දිගේ මං පය ඉක්මන් කරා. ඡන්දෙට කලින් හාරපු ලයිට් කණු වළවල්වල නොවැටි ගෙදරට ආවෙ හිතේ හෝදිසියට.

“අම්මෙ හෙට ටිච ඉස්කොලෙට එන්න කවුවා”. මේස ලෑල්ල උඩ පුතාගෙ අකුරින් ලියපු කොලයක්. මම ගෙදර එන්න පරක්කු නිසා එයා මට මෙහෙම පණිවිඩ ලියලා තියනවා වෙනදටත්. ඒත් මේක දැකලා කලු ගැහිලා තියෙන හිත තවත් කලු වලාවකින් වැහුනා වගෙ හැඟීමක් ආවා.

“කමක් නෑ. මේ දේ මං මුලදිම බලාපොරොත්තු උනානෙ. දැං ඉතිං මූණ දෙනවා. ආපු රැලිත් එක්ක බලද්දි මේ රැල්ල වැඩිය ලොකු නැහ්!”

උදේම කඩේ මහත්තයට කියලා පුතාගෙ ඉස්කෝලෙට යන්ඩ පැය දෙකක් ඉල්ලගත්තට මොකද ප්‍රින්සිපල් මට ඇතුලට කතා කරනකොටම එකොළහත් පහු වෙලා.

“සර් මං දුමිදුගෙ අම්මා. මට අද එන්න කියල තිබ්බෙ? “

“අහ්! මේකයි කාරනාව. අපිට දුමිදුගෙ පන්තියේ දරුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඔයාගෙ රස්සාව ගැන කම්ප්ලේන් එකක් කරා. එයාලා කැමති නෑලු දුමිදු වගේ වටපිටාවක් තියෙන ළමයෙකුගෙ පන්තියේ තමන්ගෙ ළමයි තියන්න”.

“අනේ සර්! මගෙ දරුවා මේවා ගැන මොනවත් දන්නෙ නෑ. මගෙ හිතේ තියෙන එකම සැනසීම එයා මේ ඉස්කෝලෙට ඇවිල්ලා හොඳට ඉගෙන ගනියි කියන එක. දවාලෙ කඩේ වැඩ කරලා ගන්න ගානෙන් වියදම් පියවගන්න අමාරු නිසයි සර් මං රෑ වැඩට යන්නෙ. ඒ ගියත් මම අනවශ්‍ය දේවල් කරන කෙනෙක් නෙමෙයි”.

“ඇත්ත. මම ඒ ගැන දන්නවා.  ඒත් මේක පොඩ්ඩක් බර පවුලකින් ආව කම්ප්ලේන් එකක්. ඒ කෙනා එතනදි ඔයාව දැකලා තියෙනවා. එයාලට මේක උඩට ගෙනියලා මගෙ රස්සාවට උනත් බලපෑම් කරන්න පුලුවන්. ඒක නිසා මේ වෙලාවෙ මටත් ඔයාට උදව් කරන්න විදිහක් නෑ”.

“අනේ සර්! මට මගෙ දරුවගෙ ඉස්කෝලෙ වටිනවා වෙන මොකටවත් වඩා. මං අද ඉඳන් එහෙ නොයා ඉන්නම්. ඒ අයටත් කියන්න මං ආයෙ යන් නෑ කියලා”.

හිතලා ඇඬුවා නෙමේ නොදැනිම මට ඇඬුනා. මේ ජීවිතේ ලොකු මිනිස්සු ඉස්සරහ පින්සෙන්ඩු උන වාර අනන්තයි. අදත් එහෙම දවසක්. මේ අපේ උරුමෙ.

සර් ඒ අයට කෝල් කරලා තීරණයක් කියනකම් මං එළියෙ පුටු පේලියේ වාඩිඋනා. දොළහමාරට ඉස්කෝලෙ බෙල් එක වැදුන ගමන්ම සී සී කඩ සතුටින් දුවන පුංචි කොලුපැටව් අතරින් පුතා මාව හොයාගෙන ආවා.

මට ලෝබයි. ඇස් දෙකෙනුත් හිනාව බේරෙනවා. එයා මගෙ අත අස්සට රිංගලා තුරුල් වෙලා මගෙ සාරි පොටත් පොරවගත්තා.

මොහොතකට මගේ හිතෙනුත් කලු වලාකුළු ඈතට පා උනා. දරුවො තරම් දෙමව්පියන්ට වෙන මොන සම්පතක්ද?  උණහපුළු අම්මටත් උගෙ පැටියා මැණිකක්ලුනෙ. සිංහයො, කොටියො, වලස්සු අතරෙ අපිත් උණහපුළුවො වගේ තමයි.

“අනේ සර්! මං කකුල් දෙක අල්ලලා වඳින්නම්. අනේ මගේ දරුවා අස් කරන්න එපා.අනේ සර්! “.

“ඒත් ඒ මහත්තයා කැමති නෑ දුමිදු ඒ පන්තියේ ඉන්නවට. එයා දෙමව්පියො ඔක්කොටම කියලලු තියෙන්නෙ ⁣මේ ගැන. මෙයාව වෙන පන්තියකටවත් මාරුකරන්න බැරි ඒක නිසා.”

“අනේ මේක අසාධාරණ තීන්දුවක් සර්! හරි එතන හොඳ නැති තැනක් කියමුකො. එතකොට ඒ මහත්තයා එතෙන්ට ආවෙ සිල් ගන්නද? බොන්න ඕනෙ නම් බාර් තියෙන්නෙ. ඕවයෙ එන්නෙ හැසිරීම හොඳ නිසාද සර්? එහෙම මිනිස්සුම අපිට මෙහෙම කරන්නෙ අපි පොඩි මිනිස්සු නිසාද? “.

දුකයි, තරහයි එකට එකතුවෙලා මගේ කටහඬ වෙවුලද්දි පුතා මං පිටිපස්සෙම හැංඟුනා. දුප්පත් මගේ හිත කොච්චර බර උනත් ප්‍රින්සිපල්ගෙ තරාදියේ අපේ පැත්තට බරක් නැති තරම්.

හිතුවට වඩා ඒ රැල්ල සැරයි. හිතේ කොනක පොදි බැඳලා තිබ්බ අන්තිම ආසාවත් මුහුදටම අරගෙන ගියා. ලොකු මිනිස්සුන්ගෙ බලපුලුවං⁣කාරකම ලියවෙච්ච ඒ කොලෙත් අරගෙනම අපි පාරට ආවා. හිත කොහෙටවත් යන්න කීවෙ නෑ. ඔලුව හැරුනු පැත්තට කකුල් දෙක ඇවිද්දා විතරයි.

“සුදු පුතේ, අපි හෙට ඉඳන් හංදියේ ඉස්කෝලෙට යං. එතකොට ඔයාට උදේම ඇහැරෙන්න ඕනෙත් නෑ”.

“එතකොට තරිඳු? මමනෙ එයාගෙ යාළුවා. එයත් එහෙ එයිද?”

“නෑ පුතේ. තරිඳුට ඒ ඉස්කෝලෙ දුරයි”.

තරිඳු කියන්නෙත් අහිංසක දරුවෙක්. කලු පාට ජීප් එකක ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ඇවිත් අපි යන වෙලාවටම වගේ උදේට ඉස්කෝලෙ ලඟින් බහින්නෙ. එතකොට දෙන්නම එකට ගේට්ටුවෙන් ඇතුලට යනවා.

“ඔයා කියන විදිහට අපිට පාසලට ළමයි ගන්න බෑ. ඒවට ක්‍රමයක් තියෙනවා. අද ෆෝම් ටික පුරවලා, අවශ්‍ය ලියකියවිලි ටික බාරදීලා යන්න. අපි දිනයක් දන්නලා එවන්නම්”.  

ඒ ප්‍රින්සිපල් සර්.

“හහ්! අන්තිමට උඹේ එකත් මේකටම තමයි නේහ්? ඇයි ටවුමෙ එකෙන් පැන්නුවද පුතන්ඩියව? “

ප්‍රින්සිපල්ටවත් තිබ්බෙ නැති ප්‍රශ්න තියෙන්නෙ මුරකාරයට. අපේම උන් අපටම ගහනකොට ඉතින් කවදා නැගිටින්නද!?

ඒ කොයිකක් උනත් මේ දරුවො ගැන බලන්න ඉන්න මුරමහත්තයනෙ. මං ඉවසුවා.

“අම්මේ.. තරිඳුලා ඇවිල්ලා!”

සෙනසුරාදා හවස් වරුවෙ පුතාගෙ අලුත් ⁣ඉස්කෝලෙට බඩු ලෑස්ති කරමින් ඉද්දි ඒ නෝනා අර පොඩි දරුවාත් එක්ක අපිව බලන්න ඇවිත්.

දුමිදු හිටිය පුටුවටම ගිහින් තරිඳුත් වාඩිවෙලා.

“මිස් කොහොමද ගෙදර හොයාගත්තෙ, අපි මීට කලින් හම්බවෙලත් නෑනෙ? “

“ම්.. නෑ.. මං ටීචට කතාකරලා විස්තර අරන් පාර හොයාගෙන ආවා අචලා. ඇයි දුමිදු ඉස්කෝලෙන් අයින් කරගත්තේ? අනේ අපේ පුතා අඬනවා දුමිදු නැතුව ඉස්කෝලෙ යන්න බෑ කියලා. මෙයා ගොඩක් පොඩියි නිසා අනික් ළමයි එක්ක එකතු වෙන්න බයයි. අපිට දරුවව ඉපදෙද්දි අඩු වයසෙන් ගන්න උනා. මම මේ හස්බන්ට කියන්නෙත් නැතුව ඔයාලා හොයාගෙන ආවෙ. “

ඒ පුංචි ඇස්වල දැනුත් කඳුළු දිලිසෙනවා. දුමිදුගෙ අතෙන් අල්ලගෙන අපි දිහා බලන් ඉන්නවා. පුංචි දරුවන්ගෙ හිත්වල මොන කහ⁣ටද ඉතින්.

“හෙලෝ මහේෂ්!”

“ආ නෑ මං දුමිදුගෙ ගෙදර හොයාගෙන ආවා.”

“ඔව් පුතත් ආවා මං එක්ක”

මිස් ආපු කෝල් එකට ආන්සර් කරන අතරෙ මං තේ හදන්න ගියා.

“ඔයාට තේරෙන්නෙ නැද්ද මහේෂ්? මෙහෙම ගියොත් අපේ දරුවා ලෙඩ වෙයි. “

අනික ඔයා කොහොමද දන්නෙ ඒ ගෑණුකෙනා ගැන? “

“ළමයි තමන්ට කැමති කෙනා එක්ක යාලුවෙනව මිසක් ඔයා කියන අය එක්ක බලෙන් යාලු කරවන්න බෑ මහේෂ්. ඔයාට පිස්සුද? “

ඉස්සෙල්ලට වඩා හෙමින් උනත් මට ඒ කතාබහ ඇහුනා.

හදිස්සියේම තේ බීලා ඒ අය යන්න ලෑස්තිය. 

“අනේ අචලා, අපිට දරුවව මේ ඉස්කෝලෙට එවන්න බෑනෙ. ඔයා කොහොමහරි දුමිදුව හිටපු ඉස්කෝලෙට එවන්න. මං ඔයාට උදවු කරන්න බලන්නම්.”

තරිඳු දුමිදුගෙ අත අතඇරියෙ වාහනේට ගොඩඋනාටත් පස්සෙ. ඊළඟට වාහනේ නොපෙනී යනකන්ම එයාලා දෙන්නා එකිනෙකාට අත්වැනුවා.

අපි හැමෝමත් පුංචි කාලෙ මෙහෙම වෙන්න ඇති. හදවතින්ම යාලුවො වැළඳගන්න ඇති.

“සුදු පුතේ, අම්මා අද විතරයි රෑට වැඩට යන්නෙ. ඔයාගෙ පොත් ලිස්ට් එක ගන්න එපැයි. මම එනකම් දොර වහන් ඉන්න හරිද? අම්මා ඉක්මනට එනවා”.

වෙනදා වගේම ඒ පුංචි මූණ මට හිනාවෙලා හා කිව්වා.

ඇතුලට යනවත් එක්කම සර් කෙනෙක් ඇඟිල්ලක් වනලා එන්න කිව්වා. වැඩිහරියක් ඉන්නෙ හැමදාම එන කට්ටිය. දැන් ඒ අයව මම අඳුරනව. එයාට ඕනෙ මික්ස් එක මම ඕඩර් කරලා ගෙනල්ලා දුන්නා. මුල ටිකේ ඒ අයව හරියට කන්ට්‍රෝල් කරන් හිටියොත් ඊටපස්සෙ කරදරයක් නෑ. ඔහේ බොනවා එකදිගට. සමහරු තමයි කරදර කරන්න හදන්නෙ. එතකොට ග්ලාස් දෙකක් විතර වැඩිපුර දුන්නහම එයාලා ඩවුන් වෙනවා.

මෙයානම් අද වැඩිය ගන්න පාටක් නෑ. ටික ටික සෙනඟ වැඩිවෙලා ඩී ජේ සද්දෙත් වැඩිඋනා. මම කොයිඑකටත් ටිකක් දුරින් වාඩිඋනේ.

ඒත් එකපාරටම එයා මගේ කොන්ඩෙන් කරකවලා ඇදලා අල්ලගෙන මූණට ලං උනා.

“බැල්ලි! කඳයි මූණයි හොඳට තිබ්බා කියලා උඹලගෙ තත්වෙ වැඩිවෙන් නැහැ! මෙතෙන්ට ඇවිල්ලා ජරා සල්ලි හෙව්වා කියල, උඹලට උඩ යන්ඩ බැහැ!  අපේ ළමයි ඉන්න තැනට තමුන්ගෙ ළමයව ගලපන්න හිතුවද?”

කළුවරේ එහෙ මෙහෙ දුවන නිල් එළිවලින් විතරයි මට ඒ මූණ පෙනුනෙ. අරක්කු සැරත් එක්ක මුසුවෙලා ආපු ඊතල වගේ වචන මගේ කන් දෙක හරහා ගිහින් පපුවටම ඇනුනා. බයයි, දුකයි ඔක්කොම එක්ක මාළුවෙක් වගේ මාව ගැහෙද්දි අනෙක් හැම වේදනාවක්ම යටපත් කරගෙන හිතේ වේදනාව උඩුදිව්වා.

“තරිඳු කියන්නෙ මගේ ළමයා. තමුසෙ තමුසෙගෙ ළමයව පැත්තකට කරලා තියාගන්නවා. අම්මගෙ ගතිම නැතෑ පුතාටත්! වැඩිය දඟලන්න ආවොත් ඌව මොන ඉස්කෝලෙටවත් දාන්න බැරිවෙයි තමුන්ට. තේරුනාද? “

ඒ සී සීතලෙත් වැටෙන දාඩියයි කඳුලුයි පිහ පිහ ඩීජේ සද්දෙට නටන මිනිස්සු අතරෙන් මං පිස්සියක් වගේ දිව්වා. එහාට මෙහාට වි⁣සිවෙමින් වෙව්ලන කකුල් දෙක ⁣පාරේ ⁣ගොඩක් දුර මාව ගෙනිච්චා.

මාව පහුකරන් ගිය වාහන සද්දෙ මට ඇහුනෙ නෑ මොහොතකට කලින් ඇහුන තර්ජන ටික ආයෙ ආයෙත් ඔලුව ඇතුළෙ ගිගුම්  දුන්න නිසා. මගේ දරුවා වගේම ඒ දරුවවත් මැවි මැවී පෙනුණා. තවත් දුර යන්න බැරිතැන ගෝල්ෆේස් එකේ පේමන්ට් එක උඩම මගේ කකුල්වලට ඉඳගන්න ඕනෙ උනා.

එකම වැරදි තැන ඉන්න පිරිමියා හොඳ වෙලා ගැහැනිය විතරක් නරක වෙලා, ඉගෙනීමටත් දුප්පත්කම හරස් වෙලා, සල්ලි ඉස්සරහ මනුස්සකම පහත් වෙලා, පිරිමිකම ඉස්සරහ ගැහැනුකම දණගස්සවලා, දුප්පත් ගෑනුන්ගෙ ජීවිතවලටම මුහුදු රැලි වදිනව.

මේ රැලි කවදාවත් නවතින්නෙ නෑ. ගෝල්ෆේස් මුහුද හැමදාම චංචලයි. මගෙ ජීවිතෙත් එහෙමයි. නම අචලා උනාට මගෙ ජීවිතේ හැමදාම සචලයි. ඒත් ඒ රැලි අස්සෙ එකම තැන හිටියොත් පතුලටම ඇදෙනවා. මං දන්නවා කවදා හරි කොතැන හරි මට හිමි ගොඩබිමක් හම්බවෙනව.

“හ්ම්! එදාට බැරියෑ හති අරින්ඩ. දැං අපි ආයෙ නැගිටිමු”

මං කකුල් දෙකට කිව්වා.

 

කතෘ -මහීමා ප්‍රසාදි රාජපක්ෂ

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...