ඉරයි, මැගියි හැමදාම ඒබරංගෙ කඬේට ආවෙ තරෙඟට. පෙළක් දවසට ඉර ඉස්සර වුණා. ඒත් අද ඉස්සර වුණේ මැගී. වෙනදා වගේ ම ඒබරං මුදලාලිගේ කඬේට මැගිනෝනා ගොඩ වුණේ බුලත් විටක් හපල ම දවස පටන් ගන්ඩ හිතාගෙනයි.
”මොකෝ බං අද උදැහැනැක්කෙ ම?” මුදලාලි මැගීගෙන් ඇහුවෙ කෙසෙල්කැනක් කඩපිලෙහි එල්ලන ගමන්.
”ඊයෙ වට්ටි දෙකක් වියල අහවර වුණා. ඉතිං මේ.. සෙදෝලගෙ එළිපත්තෙ තියලා කීයක්කත් ගන්ඩ පුළුවං ද කියල බලන්න ආවා මුදලාලි. හෙටත් පෝය නෙව.”
”ඒකත් හැබෑව. මාත් හෙට ගමේ පංසලේ සිල් ගන්න කියලා හිතං ඉද්දි සියදෝරිස් හෙම මහමෙව්නාවෙ සීල වියාපාරෙට යනවයි කියල මටත් මතක් කෙරුවා. ඉතිං මං හාමිනෙත් එක්කං ඒකට සම්මාදං වෙන්ඩ කියල බැලූවෙ.”
”ඒක කොච්චර දෙයක් ද මුදලාලි. මාත් හෙට සිල් ගන්න තමා උන්නෙ. ඒත් මෙදා පාර උපාසක දානෙ භාර වෙලා තියෙන්නෙ අපේ පේරුවට නෙව. ඉතිං අපේ උන්දැ කීවා දානෙට එක්කාසු වෙයං කොයිකෙනුත් පිං නොවැ කියල.”
”ඒක හොඳා මැගියො. ආ ඉඳා උඹේ බුලත් විටේ. ”
”සෙදෝල ගෙදරද දන්නෑ නේද මුදලාලි? මැගී එහෙම ඇහුවෙ සල්ලි ටික තියල බැන්ඳ චීත්ත ගැටය සීරුවට ලිහන ගමං.”
”උං කියල කොහෙ යන්නද බං. ඔහෙ නැතෑ ජෝඩුව ම ගේ අස්සට වෙලා.” මුදලාලි ඒ පැත්තට බෙල්ල දික් කර කර ම එහෙම කිව්වා.
සෙදෝ හාමි මැගි නෝනාගේ ළඟ ම හිතවතිය යිග කඩමණ්ඩියට යාබද ව පිහිටි ඒ ගෙදර හිටියේ සෙදොයි ඇගේ බාල දුව එතනයි. හුදකලා ජීවිතයක් ගත කළ මැගිනෝනා හැම දවසක ම උදේ කඩමණ්ඩියට එන අතරෙ සෙදෝහාමි බැහැදැකලා දොඩමලූ වෙන්න අමතක කරන්නෙ නෑ. ඒ අල්ලපනල්ලෙ පාරට මුහුණලා පිහිටි සෙදෝහාමිගේ ගේ ඉස්සරහ වට්ටි, පැදුරු ටිකක් තියල කීයක් හරි උපයා සපයා ගන්නත් මැගීට පුළුවන් වුණා. හුදකලාවෙන් ඉන්න සෙදෝත් ඒකට කැමති වුණේ මැගිනෝනාත් ඇගේ පාරිභෝගිකයනුත් නිසා තම පාළුවත් තනිකමත් මැකෙන නිසයි.
මේ වෙළදාම සරුවට කෙරුණ නැතත් ඉඳහිට හෝ වට්ටියක්, පැදුරක් අලෙවි වීම පිං පඩිය හැර වෙනත් ආදායමක් ලැබුණෙ නැති මැගිනෝනාට සැනසිලිදායක දෙයක් වුණා.
සෙදෝලගෙ ගෙවල්වලට අඳුරු වැටෙනකල් ම තප්පර කටුව ට ඉක්කා වැටුණා. ඒත් හිතුවක්කාර වුණ හැමෝ ම එළි දල්වලා තම තමන්ගේ මුරණ්ඩුකම් පෙන්වන්න වගේ පුළු පුළුවන් විදියට ගෙවල් එළිය කරගත්තාග
සෙදෝහාමි පහුවදා නැඟිටින කොටත් ඈත් මෑත් වුණ සිංහල උළු අතරින් ගෙබිම තදින් බිංදු රටා වැටිලා තිබුණා. හනික ඇඳෙන් බැහැපු සෙදෝහාමි එතනා ගේ කාමරයට ඇවිත් බලන කොට දැක්කෙ හරියට ඒ වෙලාවෙ නිදාගත්තා වගේ පෙරවනය ඔසවමින් හා හිස දක්වා ඔතාගනිමින් එතුළ තව තවත් ගුලි වන එතනා ය. එය දුටු සෙදෝහාමි වහ වහා ඈ ළඟට විත් හැකි තරම් වේගයෙන් එතනා ව සෙලෙව්වා.
”එතනා..එතනා…නැඟිටපං. බලපං හොඳටෝ ම එළිය වැටිලා.”
”හා, හා තව ඩිංගයි. ” කියූ ඇය එයම පහත් ස්වරයෙන් යළිත් කියයි.
”තව ඩිංගක් නෙවෙයි නැඟිටපංකො. නැඟිටලා හොඳ එකී වගේ ගිහිං පාං කෑල්ලක් අරං වරෙංකො මං හොද්දක් රත් කරන්ඩ.”
”අද මොන පාං ද? අද පෝයද කොහෙ ද’යි කී ඈ එය ද නැවතත් මතුරයි.
”සීවරං දෙයියනේ..හැබෑ නේන්නං බලහංකො ඉතිං හාංකවිස්සියක්කත් නිචිචි නිනව් නැතුව ගියානෙ අද පාලොස්සකේ වග. අනේ එතනො එහෙනං ඩිංගක් වරෙන්කො මොනාවත් හරිගස්සන්න උදව් වෙයංකො ඇවිත්. බාගදා මැගි උන්දත් ගොඩවෙයි විහාරෙ යමිං ගමං. ඉතිං කිව්වාම වරෙංකො.”
මහළු සෙදෝහාමිගේ තනි නො තනියට හිටියේ බාල කෙල්ල එතනා. ඇය මැදි වියේ පසු වූ තිදරු මවක්. සිය බේබදු සැමියාගේ අඬදබරවල අවසන් ඵලය වුණේ තුන්වෙනි දරු ප‍්‍රසූතියෙන් පසු එතනා මානසික රෝහලකට ඇතුළත් කිරීමයි. ඉන් තරමක් දුරට සුවයක් ලැබුණත් එතනාට දිගු කාලීන ව බෙහෙත් ගන්න සිද්ධ වුණා. එතනාගේ අසනීපයෙන් ඉතිරි නටඹුන් වුණේ නිතර ම සාමාන්‍ය කෙනෙකුට සාපේක්ෂව ටිකක් වෙනස් විදියෙ හැසිරීම් තිබුණ එකයි. මේ නිසා දරුවන් සිය සහෝදරියන් යටතේ හා එතනා සෙදෝ හාමි සමඟ මහගෙදරත් ජීවත් වුණා.
”විඩක් දෙවිඩක් කිව්වා ම ඉතිං හොඳ එකී වගේ වරෙන්කො කෙල්ලෙ.” කාමරයට හිස එබූ සෙදෝහාමිගේ හඬ එතනාගේ නින්දට ගෙන ආවේ මහත් කරදරයකි.
”අම්මා යන්ඩ ම..මං එන්නං..”
”අම්මා යන්ඩ මං එන්නංලූ.” ඒ..එතනාමයි.
කියන හැම දෙයක් ම වගේ පළමු ව උස් හඬින් ද දෙවනු ව එයට ම ‘ලූ’ එකතු කර තමාට පමණක් ඇසෙන සේ පුනරුච්චාරණය කිරීම එතනාගේ සිරිත යි. අසනීපයට පෙර නොවූ මෙම ද්විත්ත්ව කියවීම ඇගේ අසනීපයෙන් පසු ලැබූ උරුමයක් ලෙස ඇගේ ව්‍යවහාරයේ ශේෂ වුණා. මේ නිසා එතනා පවසන දෙයක් කෙනෙකුට එකවර නො ඇසුණ ද එය නැවත නො විමසන්නේ පුනරුච්චාරණයක් වන බව ඉඳුරා ම දන්න නිසයි. ඒත් සෙදෝහාමිගේ ශ‍්‍රවණ හැකියාව එම දෙවන කියවීම ඇසීමට තරම්වත් ශක්තිමත් එකක් වුණේ නැති බව කවුරුත් දැනගෙන හිටියා.
තවත් ටික වේලාවක් හරිබරි ගැහුණ එතනා ට ඒ නිදි සුවය ප‍්‍රමාණවත් යැයි හැ`ගුණාග සෙදෝහාමි එතනා අවදිවන තෙක් ම නැවත නෑවිත් හිටියේ ඈ අසනීපයට බොන බෙහෙත් නිසාවෙන් එවැනි තද නින්දක් ඇයට ලැබෙන බව සිතන නිසයි. ටික වේලාවකින් අවුල් වූ හිසකේ ද සහිත ව එතනා සෙදෝහාමි ඉදිරියේ පෙනී සිටියා.
”උඹට බඩගිනි ද ? කහට ඩිංගිත්තක් වක්කොරන්න ද? ”
”හා.”
”හා ලූ.”
පසුව සෙදෝහාමි කේතලය ලිපේ තියා ඊට ගිනි පෙනෙලි ළං කර දැෑත් තම ඇඳුම් කඩමල්ලෙහි පිසිමින් විත් වරක්, දෙවරක් නොව කීපවරක් රාක්ක අතරින්, මේස මතින් අහුමුළු සිසාරා නෙත් යවමින් සුපරික්ෂාකාරී බැලමක් මුදා හැරියා. එවර එතනාගේ පැනය වූයේ,
”මොකද්ද හොයන්නෙ?”
”මොකද්ද හොයන්නෙ ලූ” යන්නයි.
”කොහෙද මංදා බං මං මේ අලූමාරියෙ යතුර තිබ්බෙ?” යි විමර්ශනශීලි බැල්ම අතර ම මිමිණුවා.
අසූ හැවිරිදි සෙදෝහාමිගේ කල්පනාව මද ගතිය නිසා ඇයට දිනපතා යම් යම් දේ අමතක වෙයි. නමුත් ඒ සියල්ල සෙදෝ කියූ පමණින් කෙටි කාලයක් තුළ සොයා දීමට එතනා තුළ වූයේ සහජ ඉවකි. එතනාගේ කුරා කුහුඹුවන් පරයන අධික පැණිරස ලෝලිත්වය ගැන හොඳින් හඳුනන හා ඉන් බොහෝ පාඩු ලබා ඇති සෙදෝහාමිගේ දින චර්යාවේ අවසන් අංගය වූයේ සීනි හා කිරිපිටි බෝතල් අල්මාරියට දමා යතුර සඟවා තබා නින්දට යාමයි.
”උඹ දැක්කද ඒක ?” යි සෙදෝහාමි ඇහුවෙ සැක මුසු බැල්මකින්.
ඒ ක්ෂණයෙන් නිහඬ ව පිටත් ව ගිය ඇය යතුර ද අතැති ව පැමිණ එය සෙදෝහාමි මත තැබුවා.
”ආ..මේ තියෙන්නෙ. කොහෙද තිබ්බෙ කිහාං? උඹ කෑවෙ එහෙම නෑ නේද? ” යන ප‍්‍රශ්නාවලිය රැුළි නැඟුණු ඇහිබැමත් සමඟ පිට වූයේ ඉබේටම යි.
”නෑ. කැබිනට් එක උඩ එළල තියෙන කොලේ යට තිබ්බෙ’යි ඈ එවර සෙදෝ දෙස බලාගෙන ද දෙවන වර හිස කසමින් ඉවත බලාගෙන ද මිමිණුවා.
මෙම සංවාදය ද ඔවුන්ගේ දෛනික සංවාදයන්හි වන අතර ඉන් වෙනස් වූයේ සැඟවූ ස්ථානය පමණ ය.
වයෝවෘද්ධභාවයෙන් දුර්වල වු ශ‍්‍රවණ ශක්තියකින් යුතු වූ සෙදෝහාමිට තිබුණේ දුර්වල මතක ශක්තියකි. ඒ නිසා එතනා ඇයට අමතක වූ සියල්ල ආවර්ජනය කළ යන්ත‍්‍රය වුණා.
”අම්මේ..”
‘අම්මෙ ලූ’
”මොකෝ ?”
”අද මුදලාලි සිල් ගනී ද?”
‘සිල් ගනීද ලූ’
”මං කොහොම ද බං ඒක දන්නෙ. උන්දැ වෙනදටත් සිල් ගන්න එකේ මෙදා පාරත් ගන්නැතෑ.” ඇය තේ කෝප්පය එතනා අත තබමින් පැවසුවා. ඒ එක්කම එතනා බර කල්පනාවකට වැටුණා.
පවුලේ බාලයා වුණ එතනා කුඩා කාලයේ පටන් කාගේත් ආදරය, සෙනෙහස මැද හුරතලේට හැදී වැඩුණා. පාසල් විය අවසානයේ දළු ලා නැගි පෙම පමණක් ඉතිරි කරගත් ඇය, අනෙක් සියල්ල අතහැර නික්මුණ ගමන දැන සිටියේ නිශාචර හිතවතුන් කීපදෙනෙක් පමණි. එසේ මී බිඳු මෙන් වූ සියල්ල අත්තික්කා රස ගැනීමට ගත වූයේ වසර කීපයකි.
තරමක් පැරණි පන්නයේ විශාල ඉස්තෝප්පුවක් හා බරාදි සහිත නිවසක් වූ එතනලාගේ ඉඩම කෙළවර වූයේ සුන්දර නදියකිනි. නදියෙන් එගොඩ සාරවත් පොල් රුප්පාවකි. එහි හිමිකරු වූයේ යාබද කඩමණ්ඩියෙහි වූ ඒබරං මුදලාලි ය.
මහලූ වියේ පසු වුව ද සෙදෝ හාමිට තම වැඩපල යහමින් කරගන්න පුළුවං වුණා. ඒත් අතපසුවීම් මැද වුණත් එතනාගේ අත් උදව් ද ලැබුණා. කොහොම වුණත් තනිව ම හිතලා බලලා වැඩක් කරන්න තරම් සුවදායී මනසක් එතනාට තිබුණෙ නෑ.
”අම්මෙ, මං නාං එන්න ද?
”අර මොකෝ අවේලාවෙ ?” සෙදෝහාමි ඒ පැනයට පිළිතුරක් වෙනුවට, පැනයකින් ම උත්තර දුන්නෙ මූණ පුරා පුදුමයක් තවරගෙනයි.
”නිකං.
නිකං ලූ.”
”හා හා කිව්වොත් දෙයක් උඹටත් ඒකමනෙ. ගිහිං ඉක්කන්ට වරෙං ඉතිං මට පොල් ටිකක්කත් ගා ගන්ඩ.”
එතනාගේ කපුටු නෑම ගැන හොඳින් ම දන්න සෙදෝ ආයෙ මොකුත් කිව්වෙ නෑ. ඒත් අවේලාවේ එතනාගේ නෑම ගැන පොඩි කුකුසක් ඇති වුණත් සෙදෝ ඒ ගැන දිගින් දිගට ම හිතන්න ගියෙත් නෑ.
”අක්කේ….. ඔයා වැඩදෝ…‘යි සාලයේ සිට මුරගාමින් මුළුතැන්ගෙයට පැමිණි මැගි නෝනා දානෙ භාජනය මේසය උඩ තිබ්බා.
” ඕ නංගියෙ. එන්ඩෙන්ඩ.. මොකෝ අද සිල් ගත්තෙ නැද්ද? ” සෙදෝ ඇහුවේ හිඳ සිටි බංකුව මැගී වෙත පාමින්ම යි.
”නෑ අක්කෙ, අද මං උපාසක දානෙට සම්මාදං වුණා. මේ විහාරෙ ගිහිං එමිං ගමං.” කියමින් කඩිමුඩියෙ ලකලෑස්ති වන එතනා වෙත නුරුස්නා බැල්මක් හෙළමින් ”මේකි මේ කොහෙ යන්නද හරිබරි ගැහෙන්නෙ‘යි ඇහුවා.
”ගඟ ට.”
”ගඟ ට ලූ.” ඒ මැගී දෙස බලන්නවත් වෙලාවක් නො වූ එතනාගේ පිළිතුරයි.
”ඈ..යකෝ මේ උදැහැනැක්කෙ. ඊටත් මේ අක්කට අත් උජව්වක්කත් නොකර. බොට මොකාද වැහුණෙ? මේ හීතලේ පෙෙඟන්ඩ ගිහිං ලෙඩ හදාගන්නැතුව මේන් මෙහෙ හිටහං”
ඒත් කිසිඳු පසුබෑමකින් තොර ව ලෑස්ති වෙන එතනා ගැන හොඳින් ම දන්නා සෙදෝ සුපුරුදු නීතීඥවරියක ලෙස එතනාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියා.
”අනේ ඔන්නොහෙ ගියද්දෙන් නංගියෙ, මොකෝ ඕකි හිටියත් එක වැඬේ දෙක කොරන එකනෙ. මට හෙමිං කොරගන්ඩ බැරියැ.”
”ඒ වුණත් අක්කෙ අසනීප එකීනෙ. තනිපංගලමෙ තොටුපොලවල්ගානෙ යවන්නෙ. ඊටත් ගිය සැරේ කෙලී එක්ක කිලිනික් ගියපු වෙලේ ලොකු දොස්තර මහත්තයා කිව්වලූ නේද මේකිට පැසර් එක තියෙනව යි ඒ හැටි මහන්සි කොරන්ඩත් එපයි කියල. ඔන්න මං අද කීවයි කියල හිතාගනිං අක්කෙ, ඕකි නාක් වෙන්නෙ අක්කගෙ බුරුල හිංදා.”
”නංගි නං කියයි. ඒකිටත් කිව්වොත් කිව්ව එකමනෙ. පස්සෙන් පහු මං එපැයි රොස් පොරොස් බලන්න. ඒකයි ගියැද්දෙන් කීවෙ.”
”අම්මල ල ඕන එකක්, කෝ ඉඳිංකො අක්කෙ, මංවත් ඩිංගක් උදව් කොරලා යන්නං.”
අවස්ථාවෙන් උපරිම ඵල ලබා ගත් එතනා තම කටයුතු වඩාත් සාර්ථක කරගැනීමේ අටියෙන් හැඳ සිටි ඇඳුම මතින් ම පලා පැහැති චීත්තයක් දවටාගෙන උරයක් හා තම කළමනා සහිත පනිට්ටුව ද අතැතිව ගඟ පැත්තට ගියා. ගෙඟහි වතුර දණක් පමණ වූ බැවින් පනිට්ටුව පසෙකින් තැබූ එතනා උරය පමණක් ගෙන අපහසුවකින් තොරව ගෙඟන් එතෙර වූණා. අනතුරුව සෙදෝලා පොඩි සන්දියෙ මහගිරිදඹේ නැග්ගාක් මෙන් වැල් පොටවල්හි ආධාරයෙන් ඉවුර දිගේ බඩ ගාගෙන පොල් රුප්පාවට ගොඩ වූ එතනා ජයග‍්‍රාහී ලීලාවක් හදින් දරා ගෙන වත්ත සිසාරා උකුසු බැල්මක් මුදා හැරියා. පසුව තම සුරක්ෂිතභාවය තහවුරු කරගත් ඇය වැටී තිබූ පොල් එකිනෙක උරයට දමන්නට පටන් ගත්තා.
”බුහ්..බුහ්..”
ඒ හඬ ඇසෙත් ම හිස එසවූ එතනාට දැකිය හැකි වූණේ දරුණු අපරාධකරුවෙකු හඹා එන පොලිස් නිලධාරියෙකු හා නිල සුනඛයෙකු මෙන් තමා වෙත වේගයෙන් ඇදෙන වතු මුරකරු අප්පුත්, මිනීමරු දඩෝරියත් ය. එසැනින් ක‍්‍රියාත්මක වූ එතනා ඉවුර දිගේ ලිස්සාවිත් ගඟට පැන මිටින් ගත් උරය ද සහිත ව ගමන් ඇරඹී ය. බාධක දිවීමක මෙන් තෙත බරිත ඇඳුමින් ‘චිරි චිරි’ හඬ නඟමින් දිව ආ එතනා වැසිකිලිය දෙසට පොල් උරය විසි කොට හනික දිව ගොස් සෙදෝහාමිගේ ඇඳ යටට රිංග ගත්තා. එතනා තම දෑත් හා දෙපා පසෙකට හකුලා ගත්තේ හති ලෑම ද අපහසුවෙන් පාලනය කර ගෙන ය. බයෙන් ලොකු වූ ඇගේ දෑස් සේයාරුවක වන් සුනඛයෙකුගේ මෙන් දිලිසුණා.
මේ අතරතුර සිය පලා පැහැති චීත්තයෙහි නෙරිය සකසමින් මැගිනෝනා තම කටයුතු අහවර වී ගං ඉස්මත්තෙහි වූ වැසිකිලියෙන් පිටතට පැමිණියේ දිගු හුස්මක් ද පිට කරගෙනයි. ඇය නිවස දෙසට යන්නට හැරෙත් ම එක්වර ම රෞද්‍ර දෑතක දැඩි ග‍්‍රහණයට ලක් වනු ඇයට දැනුණා. එසැනින් තිගැස්සුණු මැගිනෝනා තමා මෙතරම් තදින් අල්ලා ගත්තේ කවුදැයි දැක ගැනීමේ අටියෙන් හැරෙන්නට උත්සාහ කළත් ඊට ඉඩක් නො වූ බැවින් එම දැඩි දෑතෙහි හිමිකරුගේ හඬ පමණක් ශ‍්‍රවණයට කරන්න ඇය ට සිද්ධ වුණා.
”හහ්…හිතුවද උඹ මගෙන් බේරෙන්න. ඒවා කොහෙද මාත් එක්ක. හ්ම් බඩුත් එක්ක ම යමං දැං මුදලාලි ආවාම උත්තර බඳින්න. එතකං මං උඹව ගස් බැඳල හරි තියාගන්නං.”
වදන් කන වැකෙත් ම මැගිනෝනාට ඇතිවුණේ ඇත්තට ම වික්ෂිප්ත තැතිගැන්මක්. සිද්ධ වුණේ මොකද්දවත් හිතතාගන්න බැරි වුණ මැගිනෝනා තමා කළ වරද මෙනෙහි කිරීමට උත්සහ කළා.
”ක..කවුදැ..ඇ..යි..මේ..???” වෙව්ලමින් හා ගොත ගැසුණු වදනින් ඇයට යන්තමින් හෝ කියාගන්න පුළුවං වුණේ එච්චරයි.
මේ අතර නිවස දෙසින් මහත් විලාපයක් ඇසුණා.
”අනේ….මගෙ කෙල්ලේ………..
කතා කරපංකො මයෙ පුතේ………
අනේ……….දෙයියනේ…….උඹට මොකද්ද උණේ……..”
එය කන වැකුණු සැනින් මුරකරුත්, මැගිත් සිදු වූ සියල්ල අමතක ව සද්දෙ ඇහුණ පැත්තට දිව්වා. යන විට ඔවුන්ට දැක ගත හැකි වුණේ ඇඳ යටින් එළියට වන්නට දෑස් ඇරී, අතපය දරදඬු වී තිබුණ එතනාගේ නිසල සිරුර දෑතින් ගෙන විලාප තියන සෙදෝ ය.
කතෘ -උදේශිකා මදුභාෂිණී සේනාරත්න