එකම බිමක
කතෘ
සමීර සඳරුවන්


ඒ දුරුතු මාසයේ උදෑසනකි. අනුරාධපුර දුම්රිය ස්ථානය කාර්යබහුල මිනිසුන්ගෙන් පිරී පැවතිණි. තවමත් පහ නොවූ මීදුමින් හා සීතලෙන් පිරුණු වාතලය කපාගෙන ඈතින් නැඟුණු හූ හඬ කොටුව දෙසට ගමන් කරන්නවුන්ට වේදිකාවට රොක් වීමට කළ විධානයක් වැන්න. මොහොතකින් වේදිකාව ඉදිරිපිට යාල් දේවිය දිගු සුසුමක් හෙළමින් තම ගමන මොහොතකට නතර කළාය. වේදිකාවේ හුන් ජනයා රැස් කමින් තෙරපෙමින් තුන්වන පන්තියේ දුම්රිය මැදිරි තුළට ගාල් වන්නට වන්හ.

මේ ජනයා අතර පසුපසින්ම, සුරතින් අත් වාරුවකට බර වී හුන් තරුණයෙක් සියලුම දෙනා දුම්රියට ගොඩ වන තුරු ඉවසීමෙන් යුතුව බලා හුන්නේය. පිළිවෙළකට රැවුල බා කොණ්ඩයද කොට කර කපා තිබූ ඔහු අඳුරු පැහැ අව් කණ්ණාඩි යුගලයක් පැළඳ හුන්නේය. පුළුල් නළල් තලය හා දිගු නැහැය කල්පනාකාරී බවක් විදහා දැක්වීය. ඔහුගේ මුහුණේ වූයේ කුණාටුවකට පසු මුහුදක දක්නට ලැබෙන අන්දමේ බැරෑරුම් ශාන්ත ස්වාභාවයකි.

අන්තිමටම අත්වාරුවේ උදව්වෙන් දුම්රියට ගොඩ වූ හේ කරේ වූ ගමන් මල්ල ඉහළ වූ රාක්කයක් මතට බර කළේය. ඔහු සිටි තැනින් එහා අඩියක්වත් පසුපසට යා ගත නොහැකි තරමට දුම්රිය මගීන්ගෙන් පිරී පැවතුණි. මැදිරියේ ආසන මත හුන් අයගෙන් වැඩි දෙනෙක් නින්දට වැටී උන්හ.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පාන්දර යාමයේ යාපනයේ සිට ගමන් ඇරඹූවන්ය. ඔහු අසල ආසනයක හුන් දමිළ තරුණියක් නැගිට ඔහුට වාඩි වන්නට ආසනය දුන්නාය. ඔහු එය ප්‍රතික්ෂේප කරන්නට සිතූයේ ඈ අවුරුදු දෙකහමාරක පමණ දරුවකු ඔඩොක්කුවේ වාඩි කරගෙන හුන් නිසාත්, සිතේ ඈත කොනක සිට පැන නැඟුණු යම් හැඟීමක් ආසනය පිළි නොගන්නැයි ඔහුට හඬ ගා කීම නිසාත්ය. එහෙත් ඈ නැවත හිඳ නොගත් බැවින් අවසන ඔහුට වාඩි වන්නට සිදු වීය. ඕ දරුවා ඈ අසල වාඩි වී සිටි මහලු කාන්තාවකට භාර දී  ඔහු අසලින් සිට ගත්තාය. ඈ මේ තරුණියගේ කවුරුන් හෝ විය යුතුය. මහලු කාන්තාව සැකමුසු බැල්මකින් තරුණයා දෙස බැලූවත් ඔහු ඒ ගැන වැඩිදුර සිතන්නට උත්සාහයක් නොගත්තේය.

යාල් දේවිය සුළු ගැස්සීමකින් පසු නැවතත් ගමනාරම්භ කළාය. විවෘත කවුළුව තුළින් සීතල සුළං  මැදිරිය තුළට කඩා වදින්නට වීය. නැවුම් වාතයෙන් ළය පුරවා ගනිමින් දිගු හුස්මක් ගත් තරුණයා කවුළුවෙන් එපිට චිත්‍රපට රූප රාමු පෙළක් සේ ඇදෙමින් තිබූ වෙල් යායවල්, ගහකොළ, පැල්පත් දෙස බලාගෙන ගමන් ගත්තේය.

හිටපු හමුදා සෙබළෙකු වූ ඔහු නමින් නුවන්ය. එහෙත් කඳවුරේ දී ඔහු හඳුන්වනු ලැබුවේත්,  ඔහු අමතනු ලැබීමට වඩාත් කැමති වූයේත් “ කුමාරසිංහ ” වාසගමිනි. යුද්ධය නිම වී වසර දෙකක් ඉක්මවීමට ආසන්න වූවත් යුද්ධයේ අඳුරු මතකයන් තවමත් ඔහුගේ සිතෙහි හොල්මන් කළේය. අමතක කළ නොහැකි ඒ අඳුරු මතකයන් ජීවිත කාලයටම ඔහු සතුව තිබෙනු ඇත. කෙළිදෙලෙන් ගත කළ මේ පොළොව මත අත් වාරුවෙන් ඇවිදීමට සිදු වන විටත් වසර ගණනක් තිස්සේ ගොඩ නැඟූ ආදර ටජ්මහල් දෙදරා යන විටත්, මේ නොයෙකුත් බලාපොරොත්තු සුන් වීම් මැදින් ජීවත් වීමට සිදු වන විටත් ඔහුට ධෛර්යය දුන්නේද මේ අඳුරු මතකයන්මය. ඔහුගේ මාසික වැටුප් එකිනෙකින් හෙමිහිට පෝෂණය වූ නිවසේ වැඩ කඩිනමින් නිම කර ගැනීම සඳහා බැංකු ණයක් ලබා ගැනීමට ඔහු තීරණය කලේ ටික කලකට පෙරය. ඒ සඳහා බැංකුවල රස්තියාදු වූ මාස ගණනාවකට පසුව ඔහු මේ යන්නේ ඔහුගේ වැටුප් ලේඛනය සම්බන්ධ ගැටලුවක් විසඳා ගැනීම සඳහා පනාගොඩ පිහිටි තම කඳවුරටය.

යාල් දේවිය තලාව දුම්රිය නැවතුම්පළේ නතර කරනු ලැබුවාය. ඇතුළට කඩා වැදෙමින් තිබූ සීතල සුළං රැළි මොහොතකට නතර වූයෙන් ඉහළට ගත් හුස්මත්  සමඟ මිහිරි පිච්ච මල් සුවඳකින් ඔහුගේ ළය පිරී ගියේය. කල්පනා දැහැනින් මිදුණු හේ අසල සිටගෙන සිටි තරුණිය දෙස ප්‍රථම වතාවට වුවමනාවෙන් බැලීය. අවුරුදු විසි දෙකක් හෝ විසි තුනක් යැයි කිව හැකි ඕ තළෙලු පැහැ සමකින් යුතු වූවාය. ඔහු දුටු ලෙසට නම් ඇගේ වරලසෙහි මල් ගවසා තිබුණේ නැත. එහෙත් පිච්ච මල් සුවඳ වහනය වූයේ ඇගෙන් බව නම් ඔහුට හොඳටම විශ්වාසය. තරුණයා තමා දෙස බලනු දුටු ඕ ඔහුට සිනහවකින් සංග්‍රහ කළාය. සිංහලෙන් වචන ගලපා මෙසේ තෙපළාය.

“ අයියා…  ඔය ජනේලේ තව පොඩ්ඩක් වහන්න පුළුවන් ද? අම්මටයි දරුවටයි සීතල හොඳ නෑ ”

කුමාරසිංහ නිහඬවම කවුළුව වෙත අත දිගු කළේය. මෙය විවෘත කළේ තමා බවක් නම් ඔහුගේ මතකයේ නොවීය.

 “ අපි සාලියපුරදි ඔතනට ආවේ. ඒ එද්දීත් ජනේලෙ ඇරලයි තිබුණේ. මං වහන්න හැදුව ඒත් බැරි වුණා ” ඔහුගේ සිත හඳුනගත්තාක් මෙන් ඈ කීවාය.

ඇගේ හඬේ නිදහසට කරුණු කියන්නාක් වැනි ස්වරයක් ගැබ් වී තිබුණි. ඈ මේ ඉල්ලීම කිරීමට බොහෝ වේලාවක් බලා සිටියා විය යුතුය. මේ අතර යාල් දේවිය හුස්මක් ඇද නැවතත් ගමනාරම්භ කළාය. ඔවුහු සාලියපුරට එන තෙක් සිටගෙන සිටියා හෝ වෙනත් ආසනයක සිට මෙතනට ආවා විය යුතුය. ඒ ගැන හරිහැටි නිගමනයකට ආ නොහැකි වූ කුමාරසිංහ මහලු කාන්තාව දෙස බැලීය.  

අවුරුදු හැටක් පමණ යැයි කිව හැකි ඇගේ මුහුණේ තිබුණේ ශෝකාකූල පෙනුමකි. ගිලී ගිය නෙත් සැකය හා බිය මුසුව ඔහු දෙසට යොමු වී තිබුණි. ඒ නෙත් තුළ තමා ගැන පහන් හැඟීමක් නම් නොමැති බව ඔහුට වැටහුණි. ඒ ගැන විමතියක් හට ගත්තත් නින්දක සිට හදිසියේ පිබිදුණු දරුවාගේ සුරතල් ඒ පිළිබඳ වැඩි දුර සිතන්නට ඔහුට ඉඩ නොතැබීය. අඩක් වැසුණු කවුළුවේ වීදුරුව මත තම සිඟිති අත්ල තබාගෙන පසු වී යන නොයෙකුත් විසිතුරු දෑ බලමින් හේ මුවින් ශබ්ද නගන්නට වීය.

තමාගේ මව හා දරුවා පිළිබඳව බොහෝ සැලකිලිමත් වූ තරුණිය කුමාරසිංහගේ සිතෙහි පහන් හැඟීමක් ඇති කරන්නට සමත් වූවාය. වරක් ඇසුණු ඇගේ කටහඬ සහ නෙත ගැටුණු පියකරු සිනහව ඔහුගේ සිතෙන් මැකී නොගියේය. අළු පැහැති සල්වාර් ඇඳුමකින් සැරසී හුන් ඈ හැඩැතිය. ගොතා තිබූ දිගු වරලස නිතඹ දක්වා වැටී තිබුණේ ඈට අමුතුම සුන්දරත්වයක් එක් කරමිනි. ඔවුනගේ විස්තර දැන ගැනීමේ කුහුලක් කුමාරසිංහගේ සිතෙහි පැන නැඟුණු මුත් ඔහු තව දුරටත් නිහඬවම ගමන් ගත්තේය.

කවුළුව තුළින් රිංගා එන හිරු එළිය දැන් ටිකක් තදය. මහලු කාන්තාව, දරුවා සහ කුමාරසිංහ හිඳගෙන හුන්නේ හිරු නැගෙන දිශාවට මුහුණලා බැවින් තුරු හිස් හා පැල්පත් මුදුන් මතින් විටින් විට මෑත් වන සූර්යයා කෙලින්ම තම රශ්මි කදම්භයන් ඔවුනගේ මුහුණු කරා එල්ල කළේය. එහෙත් කුඩා දරුවානම් එය ගණනකටවත් ගෙන තිබුණේ නැත. ඔහු යන්තමින් විවර කවුළුව තුළින් අත යවා සුළං පහරට අත අල්ලාගෙන සිටීමේ සෙල්ලමක් සොයා ගෙන තිබුණි. වරක් දෙවරක් මහලු කාන්තාව දරුවාට තරවටු කළත් ඔහු ඈට යන්තමින්වත් අවනත බවක් නම් නොදැක්වීය. මඟ දෙපසට නැමුණු අතු ඉතිවල අත වැදීමට ඉඩ ඇති බැවින් කුමාරසිංහ වරක් දරුවා වැළැක්වීමට උත්සාහ ගත්තේය. මේ සුරතල් දරුවා ඔහුගේ හදවතේ මුලුගැන්වී තිබූ සෙනෙහස පිළිබඳ හැඟීම් අවුස්සා දමා තිබුණෙන් එය සිදු වූයේ නිරායාසයෙනි. එහෙත් මහලු කාන්තාව වහාම දරුවා ආවරණය කර ගත්තෙන් ඔහුට පසු බාන්නට සිදු වීය. ඇගේ හැසිරීම විටෙක ඔහු විමතියට පත් කළත් ඈ යහපත් මානසික තත්වයකින් පසු නොවන බවක් ඔහුට සිතා ගත හැකි වීය. සමහර විට ඈ සිහිමද ගතියකින් පෙළෙනවා වන්නට ඇත.

ඔහු තරුණියගේ මුහුණ බැලීය. ඒ වන විට මගීන් අතර තෙරපෙමින්  අඩියක් දෙකක් ඉදිරියට තල්ලු වී හුන් ඈ වෙහෙසකාරී මුහුණකින් යුතු වූවාය. ඔහු හිසින් දරුවා දැක්වූයේය. දරුවා දෙස බැලූ විගසම ඕ ඔහුගේ ක්‍රියාවේ අවදානම තේරුම් ගත්තී තෙරපෙමින් වහා ඔවුන් වෙතට අවුත් දරුවාගේ අත ඇතුළට ඇද ගන්නැයි මහලු කාන්තාවට දමිළ බසින් කීවාය. මිත්තණිය විසින් බලෙන්ම අත ඇතුළට ඇද ගත් හෙයින් දරුවා මුරණ්ඩු ස්වරයෙන් හඬන්නට වීය.

කුමාරසිංහ නැගිට තරුණියට ඉඳ ගන්නට ආසනය දුන්නේය. ඕ මහලු කාන්තාව එතැනට කොට කවුළුව අසලින් හිඳගත්තී දරුවා තමා වෙතට ගෙන ඔහු සනසන්නට වූවාය. දරුවාගේ මුරණ්ඩු ස්වභාවයත් හැඬුමත් ටික ටික අඩු වන්නට වීය. අවසන ඔහු ඈට අවනත විය. අනෙක් පස ආසනයක් හිස් වූ බැවින් අසල සිටගෙන සිටි කුමාරසිංහ නිසා මහත් අපහසුතාවයෙන් මෙන් සිටි මහලු කාන්තාව වහා එතැනට ගියාය. කුමාරසිංහ ඇගෙන් හිස් වූ අසුනේ හිඳ ගත්තේය.

“ ඔයාගේ අම්මා මට එච්චර කැමති නෑ වගේ ” මහලු ගැහැනියගේ මුහුණේ රැළි අතර සැඟවුනු බියත්, සැකයත් පැහැදිළි කර ගන්නට උත්සාහ දරමින් ඔහු කීය.

“ එහෙම දෙයක් නෑ.. ඒ එයාගේ හැටි ” කෙටි පිළිතුරක් දුන් ඕ මදක් නිහඬව සිට යළිදු මෙසේ කීවාය.

“ එයා ඉස්සර ඔහොම නෑ ”

තමාගේ මෙන්ම මේ ජීවිත තුළද සැගවුණු වේදනාබර මතකයන් ඇතැයි ඔහුට සිතිණි.

“ මොකද වුනේ… ” ඔහු හැකිතාක් මෘදුව ඇසීය.

ඒ ස්වරය තමාටම නුපුරුදු බවක් එවේලේ ඔහුට දැනුණි. ඔහුගේ ස්වරය ආත්මානුකම්පාවෙන් සහ අභ්‍යන්තරයේ තමා පෙළන හැඟීම් කා ඉදිරියේ හෝ දිග හැරීමේ වුවමනාවෙන් යුතු වූ තරුණිය කතා කිරීමට පොළඹවනසුළු විය. මේ තරුණයා හමුදා නිලධාරියෙකු බවද ඕ දැන සිටියාය. ඒ පිළිබඳව සාක්ෂ්‍ය වුවමනාවටත් වඩා ඔහුගේ පෙනුම විසින් සපයා දී තිබුණි. අවසන ඕ හඬ අවදි කළාය.

“ මේ මගේ මහත්තයාගේ අම්මා… එයාගේ දුවයි, මගේ මහත්තයයි දෙන්නම යුද්ධ කාලෙදි නැති වුණා ” කඳුළු වළකාලීමට දෙතුන්වරක් ඇසිපිය හෙලූ ඕ යළිදු මෙසේ කීවාය.

“ මගේ මහත්තයා නැති උනේ එල්.ටී.ටී.ඊ. එකෙන් වළලපු බිම් බෝම්බයකට අහු වෙලා… ඊට ටික කාලෙකට පස්සේ දවසක ගමට කඩා වැදිලා තිබුණ කවුදෝ කට්ටියක් අම්මා ඉස්සරහදීම නංගිව ඇදගෙන ගිහින් තිබුණා…. එයා ආපහු ආවේ නෑ… එදා ඉඳන් සමහරුන්ව දකිද්දි අම්මා බය වෙනවා ”

ඈ සමහරුන් යන්න වඩාත් බර කොට කීවේ ඊට චෝදනාත්මක ස්වරයක් එක් කරමිනි. ඊට ඈ පෙළඹවූයේ සමස්ත රජයේ හමුදාවම කෙරෙහි ඇගේ හිතේ තිබූ කහටයි. තමා ඇසූ දුටු හා අත්දැකි නොයෙකුත් අමිහිරි සිද්ධීන් පිළිබඳ රූප රාමු පෙළක් කුමාරසිංහගේ මනස හරහා ඇදී ගියේය. ඒ හරහා සමස්තය වෙතටම පැටවුණු යම් වරදකාරී හැඟීමක් ඔහුගේ හිත් කොනක මතු විය. තවත් දුම්රිය පළවල් කීපයක් පසුවන තුරු ඔවුහු නිහඬවම ගමන් ගත්හ.

හමුදා නිලධාරීන් කෙරෙහි තමා තුළ ඇත්තේ කෙබඳු හැඟීමක් දැයි අවබෝධයක් තරුණියට නොවීය.

“ දැන් මේ කොහෙද යන්නේ? ” අවසන දී කුමාරසිංහ නිහැඬියාව බින්දේය. ඔහුගේ සමීප ස්වරය තව දුරටත් ඈට නිහඬව සිටීමට ඉඩ නොදුන්නේය.

“ ඉන්ටර්වීව් එකකට, ගාමන්ට් එකක. පාස් උනොත් හෙට ඉඳන් වැඩට ඉන්න පුළුවන්. ”

“ එතකොට දරුවා? ”

“ අම්ම ළඟ බෝඩිමේ තියල යන්න පුළුවනි. එයා බලා ගනියි. ”

“ අම්මට පුළුවන්ද තනියෙන්? ”

“ පුළුවන්. ඔහොම සැරින් සැරේ බය උනාට එයාට හොඳට කල්පනාව තියෙනවා. අනිත් එක…. ඒ ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ. රස්සාවක් නොකර දරුවාගේ වියදම් ටිකවත් බලන්නේ කොහොමද මං….” ඕ අසරණය.

දුක් කඳුළු මැදින් නොනවතින ජීවන අරගලයක යෙදී හිඳින ඈත්, තමාත් එකම දම්වැලක පුරුක් නොවේදැයි ඔහුට මොහොතකට සිතිණි. ඒ මොහොතේදී ඒ දම්වැලේම තවත් පුරුක් රාශියක් ජීවන බරින්  තෙරපුණු  හිස් ඇතිව ඒ දුම්රියේම තුන්වන පන්තියේ මැදිරි තුළට ගාල් වී ඔවුන් හා ගමන් කරමින් හුන්නෝය.

තවත් පැයක පමණ ගමනකින් පසු යාල් දේවිය කොටුව දුම්රිය ස්ථානයට ළඟා වූවාය. මගීහු යුහුසුළුව තම ගමන් මලු ඔසවාගෙන දොරවල් වෙතට ළං වූහ. ගැඹුරු හුස්මක් ගත්  කුමාරසිංහ අවසන් වතාවට පිච්ච මල් සුවඳ මුසු වාතයෙන් ළය පුරවා ගත්තේය. තරුණිය දරුවාත්, මවත් සමඟ ඔහුට සමු දී දොර වෙතට ළං වූවාය. මොකද්දෝ අමුතුම හැඟීමකින් වෙලා ගන්නා ලදුව කුමාරසිංහ තවත් මොහොතක් ආසනය මතම හුන්නේය. ඔහුට කුමක්දෝ අභ්‍යන්තරික හිස් බවක් දැනෙන්නට වීය. හේ අඳුරු පැහැ කණ්ණාඩි යුගලය ගැලවීය. දෙතුන් වරක් ඇසි පිය ගසා අවට බැලීය. කණ්ණාඩි තුළින් දුටු ලෝකයට වඩා ඔහුට දැන් මේ පෙනෙන ලෝකය ප්‍රිය වීය. ඒ වන විටත් තරුණිය, මව හා දරුවා දුම්රියෙන් බැස ගොස් සිටියහ. වහා නැගිටගත් ඔහු ගමන් මල්ලද රැගෙන දුම්රියේ දොර වෙතට ළං විය. පෝලිම් ගැසී පිටතට ඇදෙන සෙනඟ පිටුපසින් ඔහුද එක් වීය.

කොටුව දුම්රිය ස්ථානයේ පිටතින් ගමන් මලු බිම තබා ගත් තරුණිය ඇගේ මව හා දරුවාද සමඟ යන අතක් නොදැන විපිලිසරව හුන්නාය. ඕ මේ කොළඹට පා තැබූ ප්‍රථම වතාවය. මහරගම ඇඟලුම් කම්හලක සේවය කරන ඇගේ යෙහෙළිය පුළුවන්කමක් ලැබුනහොත් ඔවුන් කැටුව යාමට පැමිණෙන බවට පොරොන්දු වී තිබුණාය. එහෙත් ඇගෙන් දුරකථන පණිවිඩයක්වත් නැත. ඇඟලුම් කම්හලක් තුළ මිතුරියට වරු නිවාඩුවක් හෝ ලබා ගැනීමට තිබූ අපහසුව ඈ දැන උන්නේද නැත.

වික්ෂිප්තව බලා සිටිනා අතරතුර සෙනඟ අතරින් මතු වූ හුරු පුරුදු මුහුණ ඈට සැනසිලිදායක හැඟීමක් දනවන්නට සමත් වූයේය. කුමාරසිංහ සෙමින් ඔවුන් වෙතට ළං වීය. අත් වාරුවට හුරු වූයේ වී නමුදු ඔහුගේ ගමන් විලාසය තවමත් සාඩම්බර වීය. පෙරට වඩා සන්සුන් වීය.

“ පාර නොදැන යද්දී අතරමං වෙන්න පුළුවන් ” ඔහු කීවේ තිදෙනාම දෙසම බලමිනි.

“ අපි හැමෝම අතරමං වෙලා තමයි අයියේ…. යන්න හරි හමං පාරක්ං හැදිලා නෑ අපේ ජීවිතවලට ” ඈ එසේ  කීවා නොව, කියවුණාය.

කුමාරසිංහ මඳක් ඇගේ මුහුණ දෙස බලා හුන්නේය. දිගු හුස්මක් ගත්තේය.

“ යමු, මං පාර පෙන්නන්නම් ”

ඔහු ඉස්සර විය. තරුණිය දරුවා හා මවත් සමඟ නිහඬවම ඔහු පසුපසින්  ගමන් ගත්තාය.

  

කතෘ – සමීර සඳරුවන්

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...