උමතු සකි
කතෘ
තක්ෂිලා පැතුම්


මඳ අඳුරක් සමඟ ගත දැවටුනු සීතල සුළඟ ගෙන ආවේ පාලු මූසල හැඟීමකි..

නිවස වෙත දිවෙන අතුරු මාර්ගයේ ඇසුනේ විසල් ගස් වල කොළ ගැටෙන හඬත් ඈත බල්ලෙකුගේ උඩුබිරුමකුත් පමණි.

“මූටත් දැන්ම බුරන්න ඕන උනානෙ මෝඩ බල්ලා”

සිත යටින් බැන බැනම මා පියවර අතර පරතරය වැඩි කරමින් වේගයෙන් පා තැබුවේ ඉක්මනින් මේ පාලු මාවතේ කෙලවරට යාමටයි.. මෙතෙක් සිත පැවති චකිතය බියකට පෙරළමින් මා තිගැස්සී පසුපස බැලුවේ කිසියම් හඬක් ඇසුන බවට මොලයෙන් දැනුම් දෙන විටය..

‘අඩි සද්දයක් නේද ඇහුනෙ..’

සිතින්ම කියාගනිමින් යලි හැරී තවත් වේගයෙන් දිව ආවේ කුමක් හෝ මූසළ හැඟීමක් සිත වෙලාගන්නට වූ බැවිනි.. ගස් වලට මුවා වෙමින් කිසිවෙකු මා පසුපස පැමිනෙන්නේ යැයි දිගින් දිගටම දැනුනු හැඟීමක් මා වඩ වඩාත් බියට පත් කරන්නට විය..

ඒ සමගම බියෙන් සලිතව සිටි මා, හදවත නැවතෙන තරම් තිගැස්සී ගියේ මගේම ජංගම දුරකථනයේ ඇමතුමක හඬෙනි.. හිටිවනම නැවතී පපුවට අත තබාගෙන වේගයෙන් හුස්මක් ගත්තේ සිතින් මටම තරවටු කරගනිමිනි.

‘පපුවෙ අමාරු කාරයෙක් උනානම් මෙතනම මැරිලා..’

යලි පසුපස බලා ඇමතුමට සම්බන්ද වූ මා මුවඟට පැමිණි නොසරුප් වදන් එකින් එක පිට කරමින් බනින්නට වූයේ මාගෙ ඉතා හිතවත් මිතුරියටයි..

“මොනාද බූරුවො කරන්නෙ.. අර මම කිව්ව අපේ ගෙවල් ගාව පාලු පාරෙ යන ගමන් හිටියෙ.. කෝල් එකට ගැස්සිලා ගියා”

එහා පසින් ඇසුනේ ඇගේ සුපුරුදු හීන් හිකි හිකියයි.

“ඔච්චර බය වෙන්නෙ මොකටද පාරෙ කවුරුත් නැද්ද”

“කවුරුත් නැත්තම් බය වෙන්නෙ නෑ.. මට නිකම් හිතුනා කවුරුහරි පස්සෙන් එනවා කියලා..”

මා පැවසුවේ යලි හැරී බලමිනි. ඒ වන විට මා මාර්ගයේ කෙළවර තෙක්ම පැමින තිබූ බැවින් සිතට බියක් නොදැනුනෙන් මම සුපුරුදු සැහැල්ලුවෙන් ඇය හා දොඩමලු වුනෙමි.

නෙතුලි නිම්නාදි.. ඇය මට මුහුනුපොතෙන් හමුවූ අපූරු මිතුරියකි. වසර දෙකක් පුරා ඇගේ සුන්දර සයිබර් නවකතා කියවීම මාගේ දිනචර්යාවේ කොටසක් බවට පත්වී තිබුණි.

මාද ඇය මෙන්ම ලියන්නියක වූ බැවින් කුඩා වර්ණනාවකින් ඇරඹි මිතුදම අද වන විට සයිබර් අවකාශයෙන් පිටතට පැමිණ තිබුණි. සමාජ මාධ්ය තුළ තම පෞද්ගලිකත්වය ප්‍රසිද්ද කිරීමට බියවන බැවින් ඇගේ චායාරූප දෙක තුනකට වඩා මේ වනතුරු මාද දැක නැත.

කෙසේ නමුත් පෞද්ගලිකත්වය අපේ මිතුරුදමට කිසිසේත්ම බාදාවක් වූයේ නැති බැවින් ඒ පිළිබඳව ගැටලු පැනනැංගේද නැත.

“ගෙදර ආවනම් වොශ් එකක් දාගෙන ගෲප් එකට එනවකො”

ඇය පවසන්නේ සයිබර් අවකාශයෙන්ම හමුවූ තවත් මිතුරියන් කිහිප දෙනෙක් සමඟ එකතු වී සාදාගත් වට්සැප් මිතුරු හවුල පිළිබඳවයි..

“එන්නම් එන්නම්.. අම්මගෙන් බැනුම් අහගන්න වෙන්නෙ දැන්ම ඕකට ඇවිත් කොට කොට හිටියොත්..ටිකක් ඉන්න”

සිනාසෙමින් දුරකථනය පසෙක තබා මා ගේට්ටුව විවර කරගෙන මිදුලට පිවිසියේ මා දැක උඩ පනිමින් දිව එන ටොමියාව වැලඳගැනීමට සූදානමෙනි.

අම්මා සමඟ රැකියාවේ අද දින පුවත් පැවසීමෙන් අනතුරුව කා බී සූදානම් වන විටම පැය දෙක තුනක් නොදැනීම ගෙවී ගොස් තිබුණි.

රාත්‍රියේ යහනට පැමිණ මා සූදානම් වූයේ මිතුරියන්ගේ කෙටි පනිවුඩ කන්ද මුල සිට කියවීමටයි. ඒ සමඟම යලි ඇමතුමක් පැමිණියේ නෙතුලිගෙනි.

“ඒ බං.. හංසි.. මාර සීන් එකනෙ..”

“මොකක්ද..ඇයි නිකම් බය වෙලා වගේ”

“අර මදුභාෂිණී අක්කා. නවකතා ලියන්නෙ..”

“ආ ඔව් අර උඹ එක්ක පහුගිය කාලෙ වලි දාගත්ත එක්කෙනා නේද”

“ඔව්.. එයා මැරිලනෙ බං”

අප්පටසිරි.. ඒ මොනා වෙලාද”

“දන්නෙ නෑ.. මර්ඩර් කේස් එකක් කියලා කියන්නෙ.. මාත් එක්ක හෙන ෆිට් වෙලත් හිටියනෙ කාලයක්..”

“ඒක තමා.. මම නම් කතා කරලා නෑ එයා එක්ක. ඒ උනාට අවුල් එහෙම දෙයක් උනා කිව්වම”

“ඒකනෙ.. මම ඉන්නෙ බෙලිහුල් ඔයනෙ.. නැත්තම් මලගෙදර හරි යනවා මම. මොනා වුනත් පව් වැඩේ”

“ඒකනෙ..”

“හරි හරි.. එනවකො ගෲප් එකට.. මම ඔයාට කියන්න ගත්තෙ මම ඉතින් ඕන දෙයක් මුලින් කියන්නෙ උඹටනෙ”

සිනාසෙමින් පවසා ඇය ඇමතුම විසන්ධි කල සැනින්ම මා පෙර පනිවුඩ කියවීම පසෙකලා සමූහයේ ප්‍රධාන මාතෘකාව වූ මධුභාෂිණීගේ මරණය පිලිබඳ අනුමාන කිරීම් සමඟ එක් වුනෙමි.

“එයත් ඉන්නෙ බොරලැස්ගමුවෙලු”

එක් මිතුරියක් පවසා තිබුනේ මා වෙසෙන්නේත් බොරලැස්ගමුවේ බැවිනි..

“හැබැයි එයා නැටුවා වැඩී.. නෙතුලිටම කොච්චර සද්ද දැම්මද.. ඕක වෙන්න තිබුන එකක් වෙන්නැති”

නිරෝධා පැවසූ වදනත් සමඟම මා හට සිහි වූයේ සවස පාලු මාවතේ සිදුවීමයි.

“එහෙම කියන්නෙපා බං මට මොනා කිව්වත් එහෙම අවුලක් තිබුනෙ නෑ”

නෙතුලි සැනින් පැවසුවේ මිය ගිය අයෙකුට එවන් වදන් පැවසීම නොහොබිනා බව කෙලින් පැවසීමට නොහැකි නිසා බව වැටහුනෙන් මා කිසිවක් නොපවසා නිහඬ වුනෙමි.

“හරි හරි.. ඕක ඇති දැන්.. අහන්නකො.. අද එක්කෙනෙක් බය වුනානෙ මං නිසා”

නෙතුලිගේ උසුලු විසුලු වලට පරුෂ වදනින් මා පිලිතුරු දුන්නේ ඇයගේ ඇමතුමෙන් මරනාසන්න වූ අයුරු සිහි කරගනිමිනි.

*********

කාලය ගත වී යත්ම අපගේ මිතුරු හවුලේ සිටි සමාධි නම් තරුණිය මා හා වඩ වඩා හිතවත් වූයේ අප දෙදෙනාටම පොදු වූ විනෝදාංශ තිබූ බැවිනි.

“හංසි.. අද මං හෙනට බය උනා ඕයි අපේ බෝඩිම වටේ කවුරුහරි ඇවිදිනවා වගේ දැනුනා”

සමාධි දිනක් පැවසුවේ මා හටද පෙර අත්දැකීමක් සිහි කර දෙමිනි.

“කවුරුත් හිටියෙ නැද්ද”

“නෑ බං.. එහා ගෙදර ඇන්ටි කෑමක් දෙන්න ආවා එවෙලෙම.. එතකොටම කවුරුහරි දුවනවා වගේ ඇහුනා..”

“ඒ බයයිනෙ ඔහොම ඉන්න. ගෙන්නගන්නවත් කවුරුත් නැද්ද”

“නැහැනෙ.. හෙට මම ගමේ යනවා කොහොමත්. ආයිත් සති දෙකකින් එන්නෙ”

“එහෙනම් කමක් නෑ. කෝකටත් බලපං හොරෙක්ද දන්නෑ”

“හොරෙක් ඉතින් ඇවිත් මගේ හොරකම් කරන්න තියෙන්නෙ අහවල් එකක් තමා”

මහ සිනාවකට පසු අපි යලිත් එදිනෙදා සුපුරුදු ඕපාදූප කියවන්නට පටන් ගතිමු.

රැකියාවේ කාර්යබහුලත්වයත් සමඟ පාසල් කල මිතුරු මිතුරියක් කෙමෙන් ඈත් වී යන විට මා හට ඉතිරි වූයේ මුහුනු පොතේ හමු වූ මිතුරියන් පමණි. නොදන්නා අයවලුන් සමඟ කිසිඳු කතාබහකට නොයන මා සමඟ නවකතාකාරිනියන් වූ මොවුන් වඩ වඩා හිතවත් වූයේ එදා පටන්ම මාගෙ විවෘත ගති පැවතුම් නිසාවෙන් බව ඔවුන් නිතර නිතර පැවසුවෝය.

අප අතරින් දුර බැහැර වාසය කරන අයෙකුට සිටියේ නෙතුලි පමණි. අනෙක් සියල්ලන් සිටියේ හෝරාවකට නොවැඩි දුරිනි.

නිවසේ හා රැකියාවේ අධික පීඩනය පිට කිරීමට ආරම්භ කළ නවකතා ලිවීම කාලයත් සමඟ මා සිතුවාටත් වඩා ප්‍රසිද්ධ චරිතයක් කර තිබුණි.

“නෙතුලි දැන් වැඩිය කතා කරන්නෙ නෑ නේද”

දිනක් මා සමාධිගෙන් විමසුවේ ඇය හා නෙතුලි සුලු අමනාපකමක් ඇති කරගෙන සිටි බැවිනි.

“අනේ ඒකිට පිස්සු.. අර නිරෝධාත් ඊට හපං.. මම රන්ඩු කරේ නෑනෙ බං… නෙතුලි වැරදී එතන. මට එයාගෙ පැත්ත අරං කතා කරන්න බෑනෙ එයාගෙ වැරැද්ද වෙලා”

සමාධි ඔය පවසන්නේ මෑතක නෙතුලි වෙනත් ලියන්නියක හා ඇතිකරගත් ගැටුමක් පිලිබඳවයි. නෙතුලි කිසිසේත්ම තම වරද පිලිනොගත් අතර නිරෝධා නෙතුලිට උල්පන්දම් දෙමින් තව තවත් අවුලවන්නට විය.

අවසන සිදු වූයේ සමාධි හා නෙතුලි විරසක වීමයි..

“අනික බං.. එයා නෙතුලි කිව්වට එයාගෙ නම ඒක නෙමෙයි කියලා ඇදිලා ආවා ඔය වලියෙදි.. බෙලිහුල් ඔය ඉන්නවා කිව්වට අපි දන්නවද.. වීඩියෝ කෝල් එකක් ගන්නවත් එන්නෙ නෑනෙ මග අරිනවනෙ”

එවර සමාධි පැවසූවේ මා කිසිදින නොදුටු සත්යයකි.

“ඔව් ඉතින්.. ඒත් අපිට එයාගෙ පෞද්ගලික දේවල් වැඩක් නෑනෙ.. ඔන්නොහේ ඉමු”

ප්‍රශ්නය එතකින් නිමා වූ බව සිතුවත් දින ගෙවෙත්ම මට වැටහුනේ නෙතුලි මෙන්ම නිරෝධාද පන්න පන්නා පලිගැනීමට ඉමහත් කැමැත්තක් දක්වන බවයි..

ඉවසීමේ අන්තයට පැමිණ සිටි සමාධි ඔවුන් හට ප්‍රකෝපකාරී ලෙස බැනවැදී සමූහයෙන්ද ඉවත් වූයේ මා සමඟ පමනක් සම්බන්දතාවය පවත්වා ගනිමිනි. වසර දෙකක කාලය තුල නෙතුලිගේ නොදුටු ද්වේශසහගත පැතිකඩ මා දුටුවේද ඒ සිදුවීමෙනි. පෙර මෙන් සිතට එකඟව කතා කිරීමට නොහැකි බැවින් නොදැනෙන ලෙස ඇයව හා නිරෝධාව මඟහැරීමට මම පෙළඹුනෙමි.

“හංසි.. නිරෝධා මගෙන් ඇහුවනෙ ගමේ ගිහින් ආවද කියලා”

දිනක් සමාධි පැවසුවේ නයාට අඳුකොල මෙන් සිටි නිරෝධාගෙ හදිසි මිතුරු ලීලාව පිළිබඳ ඇති වූ වික්ෂිපතභාවයෙනි.

“එක පාරට.. වෙන මුකුත් ඇහුවද”

“ඔව්.. නිකම් නෙතුලි ගැන එයා තේරුම් අරං ඉන්නෙ වගේ කතා කරේ”

“අනේ.. ඔය ගෑනි කොටවනවා.. ගනන් ගන්නෙපා.. කතාවට යන්නෙපා”

“ඒක තමා.. පිස්සු ගෑනු”

එදින රාත්‍රියේ යහනට වී නවකතාවක් කියවමින් සිටි මගේ අවධානය බිඳුනේ දුරකථනයට පැමිණි කෙටි පණිවුඩයක හඬිනි.

“හංසි.. ඔයා අපි එක්ක තරහද හලෝ”

නිරෝධා.. මේ ගෑනි මොකාටද එන්න හදන්නෙ..

“මම මොකටද ඔයාලා එක්ක තරහ වෙන්නෙ”

“නෑ ඉතින් නෙතුලිත් කිව්වා ඔයා දැන් වැඩිය කතා කරන්නෙ නෑ කියලා..”

“අනේ එහෙම එකක් නෑ ඒයි..මට වැඩ වැඩී මේ දවස් වල”

“එහෙනම් කමක් නෑ.. ඔෆිස් එකේ වැඩද”

“ඔව් ඒයි.. මට දංකොටුවෙ යන්න වෙලා මේ ටිකේ උදේ හවස. ඒකයි”

අල්ලෙ පැලවෙන බොරුවක් කියා මඟහැරි මම යලිත් පොතට අවධානය දුන්නත් විනාඩියකට වඩා එසේ සිටීමට හැකි වූයේ නැත.

“හංසි.. අදත් කවුරුහරි ඉන්නවා”

එසැනින් සමාධිට ඇමතුමක් ගත් මා පැවසූවේ ලඟපාත අසල්වැසියෙකුට වහාම අමතන ලෙසයි.

එදින සිට දිනපතා සමාධිගේ පැමිණිලි වලට කන්දීමට මට සිදුවූයේ කිසිවෙකු තමා පසුපස පැමිනෙන බවට ඇය තුල වූ අසාමාන්ය බිය නිසාවෙනි.

එවන් සමයක එක් උදෑසනක මා නිවසින් පිටවී මාර්ගයට පිවිසුනේ මාගේ නෑදෑ සොයුරියක හා දුරකථන සංවාදයක යෙදෙමිනි..

“ආහ්”

ඉදිරියෙන් පැමිණි කාන්තාවක් තදින් උරහිසේ ගැටීමත් සමඟ මාතින් විසිවූ දුරකථනය නැවතුනේ මාර්ගයේ කෙලවරකය.

“අනේ සොරි.. ඉන්න මම අහුලලා දෙන්න”

“එපා එපා මම ගන්නම්..”

වහාම ඉදිරිපත් වූ මා දුරථනය අහුලාගත්තේ මැය එය ගෙන දුවාවිදැයි සැකයක් මතු වූ බැවිනි..

දෙවන දශකයේ අග භාගයේ පෙනුමක් තිබුණු ඇයගෙ දෙනෙත් තියුණු හා ගුප්ත ස්වභාවයක් දැරීය. ඇය සමාව ඉල්ලූ නමුදු දෙතොලඟ වූයේ අමුතු මදහසකි.

ඇගේ දෑස් වල වූයේ මුවෙකු හඹා යන කොටියෙකුගේ බඳු බැල්මකි.

‘මටත් පිස්සු.. ඒත් ගෑනි මාව දඩයම් කරන්න වගේ බලං හිටියෙ..”

ඇයට මදහසින් සංග්‍රහ කර ඉක්මන් ගමනින් එතැනින් ඉවත් වී වංගුවෙන් හැරී පැමිණි මා හදිසියේ ඇති වූ හැඟීමකින් යලි හැරී බලද්දි දුටු දසුනින් දෙකකුල් පවා ගල් වී අඩියක් වත් ඔසවාගනු නොහැකිව එලෙසම බලා සිටියෙමි.

අර කාන්තාව වංගුව කෙලවරට වී ඇගේ කුරිරු බැල්මෙන් මා දෙසම බලා සිටී.. මුහුණේ චලන වඩාත් පැහැදිලි නොවූවත් ඒ බැල්ම කලින් මා දුටු කුරිරු ගුප්ත බැල්මම බව නම් විශ්වාසය.

මා හැරී බලාසිටින බව නොදුටුවාක් මෙන් තවත් තත්පර ගණනක් එසේ බලා සිටි ඇය හැරී ගියේ තවත් කාන්තාවක් මාවත කෙලවරෙන් මතු වූ පසුවය.

“කවුද පුතේ ඒ.. මහ අමුතු මූනක් තිබ්බෙ”

පැමිණි කාන්තාව විමසුවේ කිසිවෙකු නොමැති මාවත කෙලවර දෙස යලි හැරී බලමිනි.

“අනේ මංදා ආන්ටි, පිස්සු ගෑනියෙක් වගේ.. නිකම්ම බලාගෙන හිටියා”

“කෝකටත් පරිස්සමෙන්.. තනියම යන්න එන්න එපා මේ පාරෙ. අනිත් පැත්තෙන් එන්න”

මාද සිතුවේ සවස එන විට නිවස වෙත දිවෙන වෙනත් මඟක් භාවිතා කිරීමටයි.

එදින දහවල මා රැකියාවේ සිටින අතරතුර දිගින් දිගටම දුරකථන ඇමතුම් පැමිණියේ සමාධිගෙනි. මේ වන විට මා රැකියාවෙන් ඉවත් වීමට සූදානම්ව සිටි බැවින් ඉතිරි වූ රාජකාරි සමඟ ඇමතුමකට සම්බන්ධ වීමට ඉස්පාසුවක් නොවීය.

මිතුරියන්ගෙන් තරමක් ඈත් වී සිටි බැවින් කිසිවෙකුටත් ඒ පිළිබඳ පැවසීමටවත් ඉඩක් ලැබුනේද නැත.

රාජගිරියේ ආයතනයකට බැඳීමට ලැබුන අවස්තාව නිසාවෙන් මෙයින් ඉවත් වී නිවෙසද මාරු කිරීමට අපි සූදානම්ව සිටියෙමු. කුලී පදනමට ජීවත් වූ නිවස බාර දීමටද තිබුනේ මසකට නොවැඩි කාලයකි. මගෙ කාර්යබහුලත්වය හේතුවෙන් මවත් පියාත් රාජගිරිය අවටින් නව නිවසක් බලා අත්තිකාරම් මුදල්ද ගෙවා තිබුණි.

මාගේ අරමුණ වූයේ වෙනත් රටක රැකියාවකට යාමයි. ඒ සඳහා සියල්ල සූදානම්ව තිබූ නමුත් සුලු පමාවක් හේතුවෙන් මා එතෙක් රැකියාව කිරීමට නව ආයතනයට බැඳීමට තීරණය කළෙමි.

වැඩ නිමවා සවස එන අතර සමාධිට මා ඇමතුම් ගත්තද ඇගේ දුරකථනය දිගින් දිගටම විසන්ධි කර තිබුනේ මා තුලද නොසන්සුන් හැඟීමක් ඇති කරවමිනි.

‘කරදරයක්වත්ද.. කවුද පස්සෙන් එනවත් කිව්වා..’

ඒ සමඟම මගේ නෙත ගැටුනේ සමාධිගෙන් පැමිණ තිබූ සාමාන්ය කෙටි පණිවුඩයකි.

‘N’

‘අකුරක් විතරනෙ තියෙන්නෙ..මෙයා කවදාවත් නෝමල් මැසේජ් එවන්නෙ නෑනෙ.. වට්සැප් විතරනෙ මැසේජ් කරන්නෙ.. වැරදිලාද’

නමුත් යලි යලිත් දැනෙන අඳුරු හැඟීම විසින් පොළඹවනු ලැබූ මා දිගින් දිගටම ඇමතුම් ගත්තද කිසිඳු ප්‍රතිචාරයක් නොවීය.

පසුදින උදෑසන මා අවදි වූයේ දුරකථනයේ හඬෙනි. අඩනින්දෙන්ම ඇමතුමට සම්බන්ද වී කනේ තියාගත්තේ අංකය හෝ නොබලමිනි..

“කවුරු”

එහා පසින් ඇසුණ හඬින් පියවි සිහියට පැමිණි මා ඇඳ මත හිඳගත්තෙ කුමක් හෝ නපුරක් හදවත කොනිති ගහන අතරතුරදීය.

“අපි පොලීසියෙන් කතා කරන්නෙ.. ඔයාද හංසි කියන්නෙ”

“ඔව් සර්.. මොකක්ද වෙලා තියෙන්නෙ”

“මිස් දන්නවද සමාධි කියලා කෙනෙක්ව”

“ඔව් සර්.. මගෙ යාලුවෙක්”

“එයා ඊයෙ දවල් නැති වෙලා. මිනීමැරුමක්. අපිට කට උත්තරයක් ගන්න ඕන මිස්ගෙන් මොකද ඔයාගෙ නම්බර් එකට අන්තිමට එක දිගටම කෝල්ස් ගිහින් තියනවා. ඔයාගෙනුත් ඇවිත් තියනවා. “

මිනීමැරුමක් යන වචනයෙන් පසුව ඉතිරිය මට ඇසුනේ සිහිනයෙන් මෙනි. දෙයියනේ.. සමාධිට හතුරො නෑ..

මැසේජ් එක.. එයා මට මොනාහරි කියන්න හැදුවා.. මොන ගිනි ගෙඩියක්ද මේ.. එයා මටම කියන්න හැදුවෙ මම මොනාහරි දන්න නිසා වෙන්න බැරිද.. ඒත් මම මොනාද දන්නෙ..

‘N’… නිරෝධා.. නෙතුලි… ඔච්චරයිනෙ අපි දෙන්නම දන්න මිනිස්සුන්ට ඉන්නෙ. නෙතුලි මටත් වඩා බාලයි. නිරෝධා.. මෙයා අපි ගැන සෑහෙන්න හෙව්වත් එක්ක..

ඇමතුම නිමා වූ විගසම මුහුනු පොතේ නිරෝධාගේ ගිණුමට ගොස් චායාරූප පවා එකින් එක බැලූ මා ඇය පැවසූ ඇගේ ගම වන හෝමාගම සිටින මිතුරෙකු හා සම්බන්ද වුනෙමි.

“මචං.. මට ලොකුම ලොකු උදව්වක් ඕන..”

“කියපං බං”

“මම කෙල්ලෙක් ගැන කියන්නම්. මෙයා ඇත්තටම ඔය කියන තැන ඉන්නවද කියලා බලාගන්න ඕන. “

“හම්මට.. ලව් කේස් එකක්ද”

“නෑ මෝඩයො.. මම පස්සෙ විස්තරේ කියන්නම්කො”

මිතුරාට නිරෝධා පැවසූ පරිදි නිවෙස අවට වටපිටාව හා මාර්ග විස්තර කළ පසුව මා කාර්යාලයට ඇමතුමක් ගත්තේ අද දින මා හට පැමිණීමට නොහැකි බවයි. හෙට රැකියාවේ අවසන් දිනය බැවින් හෙටම පැමිණීමට අවසරද ලබාගතිමි.

නෙතුලි.. නිකමට අහල බලන්න ඕන. නෙතුලි පැවසූ විස්තර අනුව ඒ ගමෙහි සිටින මිතුරෙකුට පවසා ඇගේ චායාරූපයක්ද යැවූ මා කල්පනා කරන්නට වූයේ සිදුවූ සිදුවීම පිලිබඳවයි. ඒ හාම මතකයට නැගුනේ නිවෙස අසළදී මා දෙස බලා සිටි කාන්තාවයි.

“නෑ නෑ ඒ ගෑනි මේ පිස්සු එක්කෙනෙක්. අපි අඳුරන්නෙවත් නෑ..”

මා පසුපස යමෙකු එන බවට මට මෑතක සිට යලිත් දැනුන හැඟීම මා වඩ වඩාත් බියට පත් කරන්නට විය.

ඒ සමඟම ඇමතුමක් පැමිණියේ නෙතුලිගෙනි.

“හෙලෝ”

“කියන්න නෙතුලි”

“සමාධි නැති වෙලාද හලෝ.. “

“කවුද කිව්වෙ”

“පොලීසියෙන් කෝල් කරා. මට කෝල් ඇවිත් තියනවා කියලා”

“ඔව් අනේ.. මාර වැඩේ.. මට හිතාගන්නවත් බෑ..”

“ඒකනෙ.. මොනා වුනත් හරි හොඳයි එයා”

“ම්ම්.. ඔයා තාම බෙලිහුල් ඔයද ඉන්නෙ “

“ඔව් බං.. ගෙදර ඉන්නෙ”

“ආ මගෙ අක්කා කෙනෙක් එහේ ඉන්නවා.. ඔයා කිව්ව කිට්ටුවමයි. එයා කෑමක් හදලා.. ඔයාට ගෙනත් දෙන්න ඇහුවෙ”

“අප්පා.. කලින් කියන්නෙපැයි. මම මේ දැන් ගමනක් යන්න හදන්නෙ..”

“කමක් නෑ ඇවිත් කාපං.. ගෙදර අය ඉන්නවනෙ”

“නෑ නෑ එයාලත් යනවා”

“අපරාදේ.. කමක් නෑ එහෙනම් මම වෙන දවසක ගෙන්නලා දෙන්නම්”

විසන්ධි වූ ඇමතුම දෙස මා බලා සිටියේ මදින් මද ඔඩුදුවන අවිශ්වාසය සමඟිනි.

පසුපස හඹා විත් මරාදමන්න තරම් හතුරෙක් සමාධිට නොසිටි බව විශ්වාසය. ඇයත් මා මෙන්ම විවෘත චරිතයකි.

නෙතුලි මීට පෙර අවස්තා කීපයකම මුණගැසීමට ඇසූ විට ඒවා මඟ හැරියේ කුමක් හෝ හදිසි අවශ්යතාවයක් පැන නැඟුන බව පවසමිනි.

මඳින් මඳ ඇය පැවසූ සිද්ධීන් වල පරස්පර ස්වභාවය මා හට වැටහී යන්නට විය..

‘ඇයි දෙයියනේ කලින් අපිට නිකමටවත් මේව තේරුනේ නැත්තෙ.. ඒ තරම් වචන වලින් රවට්ටලා කතා කරලා තියෙන්නෙ’

සිතිවිල්ලේ උන් මා තිගැස්සී පියවි සිහියට පැමිනියේ හෝමාගම මිතුරාගෙන් ලැබුන ඇමතුමෙනි.

“ඉන්නවා බං.. බබෙක් එහෙමත් ඉන්නවා නේද එයාට”

“ඔව් ඔව්.”

“ඉන්නවා. එහෙම අවුල් චරිතයක් නෙමෙයි. පොඩ්ඩක් වලි කෙක්කක්. ඊට එහා ලොකු අවුලක් නෑ”

එහෙනම් මේ තරම් අපේ පස්සෙන් පන්නන්නෙ කවුද..

සිතා බලන විට වැටහී යන්නේ නෙතුලි ගැන සෙවීමට කිසිඳු මඟක් ඈ ඉතිරි කර නොමැති බවයි.

‘අපි මෝඩයො වගේ ඩේලි රූටින් එකම ඌට කිව්වා.. ඒත් ඇත්තටම බැලුවම අපි දන්නෑ එයා කවුද කියලා.. ෆොටෝස් දෙක තුනයි තියෙන්නෙ. නම බොරු එකක්. විස්තර හොයාගන්න බෑ. වොයිස් එක විතරයි දන්නෙ..”

ඒ සමඟම මා සිහිකරන්නට වූයේ එදා මුණගැසුනු අමුතු කාන්තාවගේ කටහඬයි..

“සොරි සොරි.. ඉන්න මම ඇහිඳලා දෙන්නම්”

මතකයේ පතුලටම හාරගෙන ගොස් සිහි කරන විට මා හිරිවැටී ගියේ දුරකථනය හරහා පැමිණෙන නෙතුලිගේ කිංකිණි හඬ මඳක් ගොරහැඬි කලේ නම් ඒ කාන්තාවගේ හඬ නොවේදැයි පැමිණි සිතුවිල්ල විසිනි.

මොන කරුමෙකටද මේ අතගහලා තියෙන්නෙ..

********

ඩුබායි නගරය දෙස බලාගෙන තේ කෝප්පය තොලගාමින් මා ගෙවුනු අතීතය සිහි කලෙමි.

නෙතුලි පිලිබඳව පොලිසියට දුන් කට උත්තරය ඔස්සේ පොලිසිය ඇගේ විස්තර සෙවූවද අල්වාගත නොහැකි විය. පොලිසියේ අනුදැනුම මත සැක නොසිතෙන පරිදි පෙර මිතුරු ලීලාවෙන්ම ඇය හා කතා කිරීම මා හට දැනුනේ අපායකට ඇද දැමුවාක් මෙනි.

රැකියාවෙන් නැවතුනු බවට කිසිඳු හෝඩුවාවක් නොදී සිටි මා නිවසින් පිටවී පොලිස් ආරක්ශාව මැද දිනක් පිටත ගත කලේ මාපියන්ට නිවසේ බඩු ඉවත් කිරීමට ඉඩ සලසා දෙමිනි.

කිසිවෙකු මා දෙස බලා සිටින හැඟීම ඒ සෑම විටම දැනුනද පොලිසියට හෝ මා පැවසූ රූපයට ගැලපෙන කාන්තාවක් හෝ මා දෙස බලා සිටින අයෙක් සොයාගත නොහැකි විය.

රැකියාවෙන්ද ඉවත්ව නිවසද මාරු කළ පසු අහේතුකව හඹා එන මිනීමරුවාගෙන් විරාමයක් ගැනීමට හැකි වූයේ ඒ කිසිවක් ඇයට පවසා නොතිබූ බැවිනි. නමුත් ඒ කවර කලකටද කියා නොදන්නා බැවින් විදේශ රැකියාවට අවස්තාව ලැබුන සැනින් මා මෙරටට පැමිණියේ සියලු මතකයක් කටුගා දමමිනි.

මෙහි පැමිණ ටික දිනකින් පොලීසියෙන් මා අමතා පැවසුවේ නෙතුලි යැයි මා හඳුන්වන තැනැත්තිය භාවිතා කළ දුරකථනය සොයාගත හැකි වූ බවයි. එහි මාද, සමාධිද ඇතුලුව බොහෝ තරුණියන්ගේ චායාරූප එකතුවක් තිබූ බවද අසන්නට ලැබුණි.

ඇය වෙනත් නමකින් යලි මුහුණු පොතේ කතාන්දර ලියනවාදැයි මා නොදනිමි. ඇගේ කතාන්දර වල පරිදි සුන්දර වදන් වලින් තවත් කී දෙනෙකුගේ පෞද්ගලික ජීවිතය හාරා දැනගන්නවාදැයි මා නොදනිමි. ඒ සිදුවීමෙන් පසු සමාජ ජාලා වලින් මම සම්පූර්ණයෙන්ම ඉවත් වූයෙමි. මා දුටු කාන්තාව ඇයමදැයි විශ්වාසයක්ද නොමැත. නමුත් ඒ කුරිරු දෑස.. දෑස් පියවෙන සෑම

මොහොතකම මා හට සිහිවන්නේ ඇගේ කුරිරු දෑසයි. ඒ දෙනෙත් සිහි කරවන්නේ සම්පූර්ණ මනෝ ව්යාධික මිනීමරුවෙකුගේ මුහුණකි.

ඒ හාම මා තිගැස්සී ගියේ තිස්වෙනි මහලේ බැම්ම මත තබා තිබූ මාගේ දුරකථනයේ හඬෙනි.

ඒ රාජගිරියේ මා බැඳුනු කාර්යාලයේ මිතුරෙකි.

“මචං.. අද කෙල්ලෙක් උඹව හොයාගෙන ආවා.. අපි දන්නෑනෙ උඹ ඩුබායි කිව්වට කොහෙද කියලවත්.. පට්ට ලස්සනයි.. ඒ උනාට ඇස් දෙක නම් හෙන අමුතුයි. අමුතුයි කියන්නෙ අනේ මංදා.. සීතල වෙලා යනවා”

එසේනම් ඈ තවමත් මා පසුපස.. ඇය මනෝව්යාධිකයෙක් බව තහවුරු වූවද මෙසේ හඹා ඒමට හේතුවක් තිබුනේ නැත.

ඇයව නොසලකා හැරීමද.. ඇයව තනි කිරීම පිලිබඳ ඈ වෛරයෙන් පසුවන්නේද..මෙතනින් ඉවත් වී කිසිවෙකු නොදන්නා රටකට හෝ පලාතකට යා යුතුය. කුමක් හෝ වාසනාවකට මෙවන් රටකට ඒමට හැකි වූවා මිස තවමත් ලංකාවේ සිටියානම් මගේ ඉරණම මේ වන විට විසඳී තිබෙන්නට පුලුවන.

තේ කෝප්පය බැම්ම මතින් තබා මා හැඟීමකින් තොරව විසල්ව පෙනෙන ඩුබායි නගරය දෙස බලා සිටියෙමි.

මේ පෙනෙන දුර මනෝව්යාධිකයින් කීයක් නම් ඇද්ද.. වෙනස් හැඳුනුමකින් පෙනී සිටිමින් එකිනෙකාගේ දත්ත කීයක් නම් එකතු කරනවා ඇද්ද.. මා මෙන්ම මිතුරු වී කී දෙනෙක් නම් අභිරහස් ලෙස මරුදකින්නට ඇද්ද..

එතරම් දුර සිතිය යුතු නොවේ.. නෙතුලිද තවම කොහේ හෝ සිටින බව විශ්වාසය. මේ මොහොතේද කවුරුන් හෝ ඇයට තම ජීවිතය හෙලිදරව් කරනවා වන්නට ඇත…

~නිම නොවන අවසානයක් ~

 

කතෘ – තක්ෂිලා පැතුම්

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...