ඇයත් ගැහැනියක්!
කතෘ
මදූෂා ලක්මාලි


“මේ ගෑනි අපෙ වැයික්කියට ආවත් හරි, එදා ඉඳන් හෙනහුරා බැල්ම දාගෙන. අතපාලා ගත්තු තුට්ටු දෙකවත් නෑ දැන් එකෙක්වත් දෙන්නෙ.මේකෙ හිටපු සීලවන්ත පපුව උණු වෙන මහත්තුරුන්ගෙ හදවත් දැන් ගල් වෙලා. මේ ගෑනි එද්දි ගෙනාපු කාලකන්නි කම වැයික්කයිටම වසංගතයක් වගෙ බෝ කොරෝලා තූ. .ඔක්කොමත් හරි ,කිහිලි ගන්නගෙන ඉන්න පොඩි එකාගෙ අඳෝනාව තමා මෙලෝ බල්ලෙකුට ඉවසන් ඉන්න බැරි.පලයව්කො ඔය කුක්කුත් ඇන්නගෙන ආපු දිහාකටම” පාන්දර කන අස්සේ එක් ගැහැනියක් මොර දුන් හඬින් ගැස්සී අවදි වුන  කලු නෝනාට ඉබේම බැලුනේ පොඩි එකා තුරුල්ලේ හොවාගෙන ඉකි බිඳින සුදවා දෙසය. ඈ මේ හිඟන මඩමට එක්වූ දා ඉඳන් යාබද සියලු සගයින්ගෙන් ලැබුවේ ගැරහුම්මය. ඇගේ දෛවය එය වන්නට ඇති.නුමුත්, අන් එවුන් හා එක්ව ඈට ගරහන්නට තම හිත යා නොදෙයි. අලුතින් තම පෙදෙසට ආවා උනත් , හිඟා යාමේ තරඟයට තවත් එක් තරගකාරියක් එක් වුන සෙයින් ඈව නොදැක තමන්ටත් අන්ත ලෙස ,පැංචෙකුද සමග අසරන වුන වයසට නුහුරු තරමින් දුක් ගැහැට විඳි දුවණියක් ලෙසම ඈ ගැන සිතා දුක් වන්නට වුනු කලු නෝනා ඇයට තම පැදුරු කඩමාල්ලේ ඉඩ සලසා දුන්නේ අන් සගයින්ගේ ගර්ජනා මද්‍යයේය. වෙන එකෙකු ඒදේ කරානම් මෙලහකටත් වැයික්කියෙන් පන්නා හමාරය. තමන් මේ හිඟන මඩමට ආරම්භය දුන් ගැහැනියයි.ඉදින් කවරෙකුවත් තමාට ඉහලින් නොයයි එය දන්න ඈ තම හඬ අවදි කලේ, තවත් සුදු කෙල්ලගේ ඉකි බිඳුම් දරාගත නොවුනු තැන්හිදීය.

 

” බොල සුමනෝ, උබට මං තවත් කියන්නෑ වහගන් බොගෙ ඔය හැකර කට අම්මපා මුන්ගෙ හිතක් පපුවක් උණූ වෙන්නැති හැටි , උබ අයම ඔය කටින් මේ කෙලීටයි පැංචටයි එක වචනයක් කියන් බලන්න කඩනව බොගෙ ඔය ඇන්ද අයෙ බත් ඇටයක් දිහා නොබලන්න “

 

 “අනේ .. අනේ .. ඉලව් උණු විල්ල මං කියන්නෑ ඉතිම් …මොන දෙයියන්ට කියන්නද මෙව්වා..උබම සම්මාදන් උනානෙ අක්කෙ මේකිගෙ කාලකන්නි කමට ” තවත් මොන මොනාදෝ මුමුණමින් කේන්තියෙන් අනෙක් උන් සමඟ මහ කාණුව අද්දරින් පාරට වැටුනු සුමනා  දවසේ ගතමනාවක් සොයාගන්නට සිත් පෙරදැරිව ගමනේ යෙදුනාය.

 

“උබ ඕවා කනකට ගන්න එපා බං , මං දන්නවා උබට වරදින්නෑ කෙල්ලෙ තවත්.දෙයියො මේවා බලාන ඉන්නෙ ඒක මට ඉර හද වගේ විස්වාසයි ”  ඇගේ හිස අතගා නැගී සිටි කලු නෝනා මහ කාණුව ඉහත්තාවේ උත්කුටියෙන් හිඳගෙන අහස දෙස බලා යදින්නට වූවාය.

 

කඳුළු කැට පිසාදමා පොඩි එකාව තවත් තුරුල්ලට තද කරගනිමින් සුදූ සිතුවේ තමාට මේ සිදුවුනේ කුමක්ද යන්නය.තම මවත් සමඟින් සෑම උදයේම ගමේ මුල්තැනගෙ දෙරට ගියේ එහි අත් උදව්වටය . අවුරුදු ගානක සේවයකින් එහි සියලු දෙනාගේ විශ්වාසය හා සෙනෙහස දිනා සිටි මවගේ පසුපස වැටී තමනුත් එහි ගියේ මවගේ පෙරැත්තටමය. දිනක් මහ නම්බුකාර වල්ව්කරුගේ ගේ පුතාගේ රාක්ෂ දෑතට අසු වී දැලක සිරවූ මාලුවෙකු දඟලන්නාක් මෙන් ගැ⁣ලවෙන්නට වෙර දරා අවසන මරණය දැක උත්සහය අතැර දැල මත වැතිරෙන මාලුවා මෙන්ම නිසොල්මන්ව සිටියේ මුලු ලොවම තම දෙපා මුල කඩා වැටෙද්දීය. ඉන් හටගත් දරු ගැබට අයිතිවාසිකම් පෙන්වා දෙන්නට ගොස් ගමේම ගල් ප්රහාරයන්ට මැදිව ගමෙන් එලවා දැමූ තමා අවසන නොදන්නා උන් මැද තනිව සියදවි නසාගන්නට තැත් කලද නැවත අවදි වුනේ නොදන්නා තැනක රෝහල් ඇඳක් මතයි.තම දෑතට ආ සිඟිත්තාගේ සිනාහඬින් පිබිදුනු තමා කෙසේ හෝ බිළින්දා වෙනුවෙන් ජීවත් විය යුතුයැයි අදිටන් කරගත් දා සිහි වී හැඬුම් එන්නට වුනෙන්,

 

“මයෙ අම්මා , මගෙ රන් කඳ උබ නාඩා ඉදහන් මැනික ,නොන්ක්කා හරි බං අපිට මීට වඩා වෙන්න දෙයක් නෑ හිඟන තැනටම වැටුනට පස්සෙ තව අහවල් දෙයක් වෙන්නද පොඩි එකෝ අපිට හරියනවා දවසක මං දන්නවා උබ අම්මව බලා ගනීවී උබ හොඳට ඉගෙනගනින් මගෙ කොල්ලො මං උබව කෝමහරි ඉස්කොලෙකට දාගන්නවා එතනින් එහාට හොඳට ඉගෙන ගනින් මයෙ දෙයියා මේ අම්මව බලා ගන්න හොඳට ඉගෙන ගනින් ම⁣ට වැරදුනාට මගෙ කොල්ලට වරදින්නැ ” පැංචාගේ මුහුණ ඉබිමින් හුරතල් කර කී ඈ දහසකුත් බලාපොරොත්තු හිතේ රුවා පොඩි එකාගේ අනාගතය වෙනුවෙන් කීයක් හෝ සොයාගන්නට සිතා පාරට බැස්සාය.

 

වලාකුළු බැම්මට හේත්තු වී සිටි රකුසු පෙනුමැති නාකි මිනිසා දැක අසාමන්‍ය බියක්  දැනුනු ඈ වහ වහා පොඩි එකා ඇදගෙන ඉදිරිය බලා ගමන් ගන්නට යෙදුනාය. සුදු දිග රැවුල තැනිත් තැන ගැට ගැසී පහලට එල්ලෙමින් විය. රැවුලට උඩින් වැටුනේ ….ඇට මාලයකි. මඩ පැහැ තියුනු ඇස් තමා වෙතම යොමා තම පස්සෙන් ඇදෙන මේ මිනිසා මොනවාදෝ කියවමින් තමාට නවතින්නැයි හඬ ගසයි. පෙනෙන මානෙක කවුරුන් හෝ නැති හෙයින් ගැහෙන හදවතින් යුතුව නොනැවතී ගමන් කරන්නට වූයේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ පසු කනමැදිරි එලියට වුවද නිරාවරණය වන්නට යාම අනුවණ කමක් බැවිනි. නමුත් මේ මිනිසාගෙ හඬගෑම නවතින්නේ නැත දෙවරක් සිතා නතර වූ ඇයි සිතට ධෛර්යය ගෙන තම හඬ අවදි කරන්නට වූවාය.

 “කවුද තමුන්? ඇයි මේ ? ලඟට එන්න එපා….”

 

“දියණිය සංසුන් වන්න .මා අතීතය වර්තමානය අනාගතය යන තුන් දොරම හොඳින් දකින්නෙක්.ඔබේ දරුවාගේ වත දුටු පමණින් මාගේ සිත් පැහැදුනා. ඔ⁣හුගේ අනාගතය ඒකාන්යෙන්ම ආශ්චර්යයක්ම වනු නොඅනුමාන යි.”

 

ඒ වදන් වලින් නිවුනු ඈ අදහාගන්නට බැරිව ඔහුගේ දෑස් දෙස මුව අයා බාල සිටියාය. නැවත පියවි සිහි ලත් ඈ යුහුසුළුව ඔහු වෙත දිව ගොස් ප්රශ්න කරන්නට වූවාය.” කියන්න , කියන්න, ඇයි තවත් බලන් ඉන්නෙ කියන්න මොකක්ද ආශ්චර්යය? මගෙ දරුවගෙ අනාගතය කොහොමද කියන්න .”

 

“සන්සුන් වන්න දැරිය කියන්නම් ඉවසන්න නමුත් මේ වචන වලට වටිනාකමක් දීම ඔබෙ වගකීමක් “

“හරි හරි මට තේරෙනවා “කී ඈ චීත්තයේ ගැටය ඉවත් කර එහි රුවා තිබූ කාසි කිහිපය ගෙන ඔහු අතේ තබා ආසාවෙන් බලා සිටියාය

 

” දැරිය , බලාපොරොත්තු නැති කරගන්න එපා නුදුරු දිනකදිම පොහොසත් කාන්තාවත් තම කාරයේ නැගී ඔබ දෙදෙන දැක නවතිනව ඈ ඔබෙන් දෙයක් ඉල්ලාවි එවිට නොපැකිලී එය ලබාදෙන්න ඈ ඔබෙන් මේ දරුවා ඉල්ලාවි දරුකමට හදාගනීවි හොඳින් උගන්නාවී මේ පිංවන්ත දරුවා දිනක ඇගේ උදව්වෙන් ලොවම බබලවන පුද්ගලයෙක් වනවා සත්තයි”

 

“ඔබ තුමාට පිං “ඔහුගෙ දෙපා මුල වැටී පිං දුන් ඈ දිදුලන දෑසින් යුතුව ඔහුගෙන් සමුගෙන දරැවා මැනිකක් සේ හොවාගෙන බස් නැවතුම්පල වෙත ඇදෙන්නට වූවාය .

 

“මං කිව්වෙමගෙ රත්තරනෙ උබට හරියනවා මගෙ වස්තුවෙ මේ අම්මා උබට නැති වුනාට කමක් නෑ උබ තැනකට යන්න ඕන එච්චරයි ” දරුවාගේ හිස සිඹ නුග ගසේ සෙවනක ඔහු හිඳවා බනිස් පලුවක් අතට දී ” ඕම ඉඳින් පැංචො, අම්මා ඉක්මනටම එන්නම් කීයක් හරි හොයන්. කොහෙවත් යන්නෙ නෑ… ඔතනම ඉන්න ඕනා ” කියා පිටව ගියාය. සැමදිනකම බස් නැවතුම්පල තුලට හිඟමනේ යාමට මත්තෙන් දරුවා මෙහි තබා යන්නේ ඔහු තමා අන් අයගෙන් අයදිනවා ඔහු විසින් දකිනු ලදුව කෙදිනක හෝ ඉන් ඔහුට අනර්ථයක් වනු ඇතැයි සැකියෙනි කුඩා දරුවාව නවාතැන්පලේ තනිව දමා ඒමටද ඈට සිත් නොදේ එහි ඉන්නා අනෙක් වුන් දරුවා කෙරේ තරහින් සිටින බැවින් එයද නොකල හැකි බැවිනි.

 

කෙසේ හෝ කවි කියමින් දන්නගේ සිත් සානුකම්පිතව බර කරමින් තම දරුවා වෙනුවෙන් කාසි හා කොල කිහිපයක් ලබා ගත් ඈ නැවත එන්නට සැරසුනද කඩා වැටුනු මහ වරුසාව නිසා පමා වන්නට වූයේ මදක් වැස්ස අඩු වන තෙක් හිද යාම නුවනට හුරු බැවිනි දින ගානක සිට පවතින සෙම්ප්‍රතිශ්‍යාව දරුනු අතට හැරී නැගිටගන්නට බැරි වුවහොත් එයින්ද පීඩා විදින්නෙ පුංචි එකාය.බෙහෙතක් කරන්නට ද අතේ යහමින් මුදල් නැත. දරුවා ගැන බිය වන්නට දෙයක් නැත.ඔහු දන්නා දා පටන්ම නුග සෙවනේ දවල් වරුව ගත කරයි මහ වැසි වසින දාට අසල තේ කඩය තුලට ඔහුව ගන්නට තරම් එහි හිදින වයසක අම්මා කාරුණික ය. එහෙයින් මේ වරුසාවට නොතෙමී පුලුවන් තරම් ලෙඩ අඩු කරගැනීමට දැන් තමා වගබලාගතයුතුය.එසේ සිතමින් මද වේලාවක් බස් නැවතුම්පලේ සෙවනකට මුවා වී සිටි ඈ වැස්ස පහ වී ගිය විට නැවත මගට බට ඈ නුග සෙවන වෙත ගියේ තම දරුවා ගැන සාස්තරකරු කී දේ නැවත නැවත ආවර්ජනය කරමිනි. එය මතකයට නැගෙන වාරයක් පාසා ඇගේ ඇස් බලාපොරොත්තු සහගතව දි⁣ලිසෙන්නට වන්නේය. එය සහසුද්දෙන්ම සඵල වන අනාවැකියක්ම වන බවට ඇගේ සිත ඇයට නිතර නිතර පැවසුවේය.කොහොමත් කොලුවා වාසනාවන්තය.සිනාවෙන විට කම්මුල දෙපැත්තම වල ගැසෙන්නෙ වාසනාව උපතින් අරන් ආ නිසාය.මේ ඈ තදින්ම විශ්වාස කල දෙයකි.එය ඇගෙ සිතෙහි බලාපො⁣රොත්තුවක් රඳවා ගන්නට හේතුවක් විය ඊටත් ඉහලින් දැන් සිතේ මතු වෙන්නේ උදයේ අත්දකින්නට වුන සිදුවීමයි අනාවැකියක වේශයෙන් අසන්නට ලැබුනේ කොලුවාගේ දෛවය ගලා යන ආකාරයම බව ඈට විශ්වාසය. නොබෝ දිනකින්ම එකිව් පොහොසත් ලඳ ඔවුන් දෙදෙන වෙනුවෙන් පැමිණෙනු ඇත. ඇගේ අහිංසක පැතුම් එදිනට මල් ඵල ගැන්වෙනු ඇත.තමා වැදූ කොලුවා තමන්ගේ සෙවනින් හැරයාම දුකට කාරණවක් බව සැබෑය.නුමුත්, ඒ දුක තමා මැරෙනතෙක් දරා ඔහුගේ සැප වෙනුවෙන් ඉවසමින් සතුටු වන්නෙමියි ඈ තමාටම අදිටන් කරගත්තාය.

 

නුග සෙවණ වෙත මෙලෙස සිතිවිලි ලෝක⁣යේ ගිල්වී ගමන් කල ඈ තම දරුවා එහි නොවන බව දුටුවෙන් අසල කඩය වෙත ගොස් ඔහු හට අඬ ගෑවාය. ඉන් පිටතට ආ වයසක කාන්තාව පැවසුවේ පැංචා වරෂාවට ප්රථම නුග සෙවනේ හිඳිනු දුටුවද ඉන් පසු ඔහු එහි නොදුටු බවයි. මේ බව ඇසූ වහාම අපමණ බියට පත් ඈ නගරය පුරා දුවමින් දරුවා සොයන්නට විය.  “අනේ මගෙ දරුවෝ… කොහෙට ගියාද… අනේ දෙවියනේ මගෙ පුංචි එකා.. මහත්තයා මෙන්න මේ තරම්  උස කොලු පැංචෙක් දැක්කද.. ඔ..ඔව් අර මහ නුගේ ලග හිටියෙ අනේ…මිනිහෝ ඒ මගෙ දරුවා… අනේ මගෙ දරුවා.. “

 

පිස්සියක මෙන් කෑ ගසමින් ලමයා ගිය තැනක් සිතා ගත නොහී නගරය පුරා දුවන්නට වූ ඈ මොහොතකින් , ඔහු තම නවාතැන්පලටවත් ගියා දෝ යි සිහිවී එදෙසට දුවන්නට විය. එහි ගොස් “පැංචෝ” යි කෑ ගසමින් ඔහු සොයන්නට විය. එවිට දුටුවේ පැදුරු කඩමාල්ලක ගුලි වී නිදන තම දරුවාය. පැන්න ගමන් දරුවා ඔසවා ගෙන ⁣ඉබගෙන ඉබගෙන ගිය ඈ සියලු දෙවියන්ට පිං දෙන්නට වූයේ දාරක පෙම මහමෙරක තරමින් උතුරා ගලන්නට වූ නිසාය. ඒත් සමගම හටගත් කේන්තිය සමග දරුවාගෙ පිටට දෙකක් ගසමින් මවාගත් මුහුනකින් යුතුව ,

” ඈ බං මොකද මේ අම්මට ගිනි දීලා මේම හිතුවක්කාරකමට වැඩ කරන්නෙ? මං ආදරෙන් ඔලුව අතගාලා කියල ගියෙ නුගේ ලගටම වෙලා ඉදපන් කියල නේද … වැස්ස බව ඇත්ත, ඉතින් උබට තිබ්බනෙ අර අත්තම්ම ලගට වෙලා ඉන්න උබ දන්නැද්ද රත්තරනෙ මේ අම්මගෙ පපුව ගිනි ගන්න බව , ඇයි උබ මේ මහ වැස්සෙ මෙතනට ආවෙ”

 

අම්මාගේ පපුවට තුරුලු වී ඉකි බිඳින කුඩු දරුවා ඉකි ගසමින් පවසන්නට විය” අම්මා.. ලොකු කාර් එකක් ඇවිත් මං ලග නතර කරලා, ඒකෙන් බැහැපු මාමෙක් මාව වඩාගෙන එක්කන් යන්න හැදුවා …අම්මා ඇයි ඔයා මං ලග හිටියෙ නැත්තෙ ..මං බය උනා මං එයාව තල්ලු කරලා දිව්වා මේ බලන්න අම්මා මං ගොඩක් තෙමුනා .. අකුනුත් ගැහුවා .. මං බය වුනා අම්මා .. අම්මා මට බයයි .. ” ඈව බදාගෙන ඉකි ගසන්නට වූ ඔහු තව තවත් තම මවගෙ ඇකයේ ගුලි වූයේය.

 

” අනේ මගෙ රත්තරන් පුතේ .. ” කිසිවක් කියා ගත නොහී ගොලුවි ගිය ඈ හද කම්පා කරමින් නැගි ස්නේහයෙන් ඔහුව තුරුල් කරගෙන හඬන්නට වූවාය. සාස්තරකරු කී දෑ ඇගෙ දෙසවනේ නැවත නැවත දෝංකාර දෙන්නට විය. උඩුයටිකුරුව සිදුවන දෑ සිතට මහත් භීතියක් ගෙන දෙයි. කලයුතුව ඇත්තේ දෙවියන් යැදීම පමනි.සිතිවිලි ගඟක අතරමංව පොඩි එකාගේ හිස සිඹ සිතට ධෛර්යය ගත්තාය.

 

***********

 

පසුදින අලුයම පොඩි පුතුද කැටුව නුගේ අසලට ගියේ සිතේ දෙගිඩියාවෙන්ය. පුතුව බස් නැවතුම තුලට ගෙනයාමද නොකලමනාය. අනවශ්‍ය බියක් සිත දැරීම සිදු නොකල යුතු වේ. ඇතැම්විට පෙර දින සිදුවීමෙන් මවා පෑවේ අනාවැකිය සඵල වීමේ ඉඟියක් ද? පුතුට කරදරයක් වුනොත්? නොදන්නා මිනිසෙකු අතට පුතු හසුවනු දැක දැක බලා සිටින්නේ ⁣කෙසේද ? තමා මවකි. පසු ගිය අවුරුදු කිහිපය පුරාවට වෙහෙස වී කාසි සෙව්වේ තම පුතා වෙනුවෙනි. දවසේ වේල් අපමන මග හැර ඉතිරි ⁣කලේ ඔහුගේ දිනක හෝ සැප වෙනුවෙනි. නමුත් , මේ සිදුවෙන්නට යන දෙයින් පුතුට ඊට වඩා දශමයක හෝ යහපතක් වේ නම් තමා අකමැත්තෙන් වුව ඊට පක්ෂව කටයුතු කල යුතු වෙයි.

 

දහසකුත් වරක් තම පුතුගෙ හිස සිඹ බනිස් පලුවක් ඔහු අත රුවා ” මගෙ මැනික , අම්මා පරක්කු නොවි එනවා , හෙන ගගහා වැස්සත් එන්නම් මැනික ඉක්මනටම .. අපිට බඩට මොනාහරි කන්න කාසි එපැයි මගෙ රත්තරනෙ” කියමින් නැවත වරක් ඔහුගෙ හිස සිඹ බස් නැවතුම තුලට ඇදුනාය. බස් රියක් තුලට ගොඩ නැගුනු ඈ කඳුලු පැන දිලිසෙන දෑසින් යුතුව කවියෙන් දවස ඇරඹුවාය. කිසිදිනක පුතුගේ දුක කියා නොයැද්දාය. එය තම පුතුට කරන නින්දාවක් ලෙසම ඈ සැලකුවාය. සිතට තුටු වන තරමින් කාසි සොයාගත් ඈ දහවලට බත් පැකටි එකක් මිලදීගෙන වහ වහා පුතු දෙසට ඇදුනාය. ” පොඩි එකා කුරුලු පැටවුන් එක්ක සෙල්ලමේ වැටිල ඇති. ඕකා ඉතිම් දැන් කවද ඉදන් ඔතන ඉන්නවද, කපුටොත් දන්නවා කොල්ලගෙ වග කියන්න ඒ තරම් උන් කොල්ලට හීලැයි.” සිහින් සිනාවක් මුවග ඇදුනි. මහ සෙනගක් වට වී සිටිනු දැක මදකට නැවතී ඉබේම මෙන් එදෙසට ඇදුනු ඈ අසල සිටියෙකුගෙන් ඇසුවේ ” නෝන මහත්තයා, කට්ටිය පොරබදන්නෙ ඇයි මෙච්චර” පිලිකුල් සහගත බැල්මක් ඒ වෙනුවෙන් ඈ හට පිලිතුරු ලෙස ලැබිනි. ඒත් සමගම හඩ අවදි වුනි. ” අහකට වෙනවා. චී …. ඇති යන්තම් මේම හරි මේකෙ කාලකන්නි ටික වඳ වෙලා යනවනම්.” බයාදු බැල්මක් හෙලා ඈ මිනිසුන් අතරින් එබී බැලුවාය.

 

“අනේ හත් දෙයියනේ , මගෙ පැංචගෙ වයසෙ පොඩිඑකෙක් නේද මයෙ අම්මේ කවුරු කරපු අපරාදයක්ද මේ.. මොකෙක්හරි තිරිසනෙක් යට කරගෙන ගිහිල්ලා යකෝ පූස් පැටව් ද බලු පැටව් ද මේම ලේ විලක් මැද්දෙ දමල ඇරල යන්න .මේ මනුස්ස පැටව් යකුනේ මනුස්ස පැටව්.අම්මපා මේ මිනිස්සුන්ගෙ හිත් වල ⁣අනුකම්පාව බිංඳුවක්වත් ගෑවිලා නැති හැටි. මට නම් මේවා බලාන ඉන්න බැ හත් දෙයියනේ මොන අම්මටද පුලුවන් මේ වගේ අපරාදයක් බලාන ඉන්න තමන්ගෙ දරුවගෙ මූන මතක් වෙවී. ” වහා හදට නැගුනු අපමන බියකින් පැංචා වෙත දිව යන්නට සැරසුනු ඈ දුටුවේ බනිස් පලුවක් අසල කානුවේ වැටි ඇති සැටිය………. මුලු ලොවම තමා වටා කැරකෙනවාක් සේ තමාට දැනුනි. ඇස් නිලංකාර වී යයි .පපුව පාරාගෙන නැගි එන වේදනාව ඉහමොලේ කරාම උඩු දුවමින් නහර අඩ පන ගන්වන්නට විය . ඉතා අමාරුවෙන් ඇස් පාදවාගෙන නැවත හැරුනු ඈ මිනිය අසලට සෙනග මැද්දෙන් ඇදුනි. “අනේ මගේ පන ඩිංග” මුවින් පිටවුනේ එපමනකි. තමාම නොදැනි පය ඉදිරියට ඇදෙයි. සිහි විකල් වූ සෙයකි. කොපමන දුරක් දැන් ඇවිද්දාදැයි නිච්චියක් නැත. වලාකුලු බැම්මට පිට දී උන්නේ අර නරුමයාය. වහා පැන රැවුලෙන් අල්ලා ඇදගත් ඈ” ආ බොල තිරිසනෝ.. තෝ මොනාද මගෙ දරුව ගැන කීවේ කාර් එකෙන් ඇවිත් අරන් යයි..  ඔව් උබ හරි අරන් ගියා අරන් ගියා… මගේ පන කෙන්ද මගෙන් ඈතට අරන් ගියා… උබව මම ඉතුරු කරන්නෙ නෑ…… මරනවා මරනවා… මරාගෙන මැරෙනවා..  ” පිස්සයක මෙන් කියවන්නට වූ ඈ රැවුල අත නොහැර ඔහුද ඇදගෙන දුවන්නට විනි. වැරෙන් ඇව බිමට තල්ලු කර ඔහු” මේ මොන ඉලව් ගෑනියෙක්ද , පලයන් මගෙ දෑහට නොපෙනි ” යි බැන අඩගසා ඈ වෙත කාරා කෙල ගසමින් “පල යන්න” යි බෙරිහන් තියන්න වූවේය. ඉන් එපිටට දිව යන්නට  වූ ඈ ක්ලාන්තයෙන් මෙන් බිම ඇද වැටුනාය……….

 

නුග ගස පුරා වසාගත් කපුටන් රෑනය. බස් නැවතුම සුපුරුද පරිදි සෙනග පුරවාගෙන හිඳී . වෙනදා පැවතෙන කලබලය අදද එසේමය. කලු නෝනා  මලානික මුහුනින් යුතුව සෙනග වැඩි බසයක් බලා එතුලට ගොඩ වූවාය. සියල්ල ජීවන ගමන අඩු වැඩියෙන් යුතුව වෙනදා පරිදිම ගෙවමින් සිටියි. වෙනසකට වූයේ කැළනි ගඟ අසබඩට ගසාගෙන විත් ගොඩගසා තිබූ හඳුනා නොගත් ගැහැණු මල සිරුර පිලිබද රාවය නගරයේ මිනිසුන්ගේ කටින් කටට යාම පමනි. එයද හෙට සියල්ලන්ටම අමතකව යනු ඇත.

 

 

කතෘ -මදූෂා ලක්මාලි

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...