අළුත් ටීචර්…
කතෘ
සංජීවනී ජයසුන්දර


කොන්ක්‍රීට් වනාන්තරය පසුවී බෙහෝ වේලාවකි. හිතට දැනෙනන්නා වූ හැඟීම වචනයෙන් විස්තර කිරීමට නොහැක. දූවිලි පිරුණු නගරය හැරදා නිල්ල පිරුණු ගමට මදින් මද ඇතුළුවත්ම නාස් පුඩු සිසාරා ගතට දැනෙන සිසිල හද සනසයි. කිසිම දිනක හිත නොවිඳි මිහිරක් නැතහොත් සැනසීමක් හිතට ගලා එනු දැනෙයි. නිවසින් දුරස් වී යන ගමනක තැවුලක් හෝ නිවසේ සියළු දෙනාගේම අකමැත්ත මත ගත් තනි තීරණය පිළිබඳ පසුතැවිල්ලක් පෙනෙන තෙක් මානයක නොවේ. නගරයෙන් ගොඩවූ මීපාගම සීටීබී බස් රථය මේ මොහොතේ රබර් වතු, දිය කඳුරු, කඳු වැටි පසු කරමින් ඇදී යයි. අවට සිරි නැරඹීම රිසි සේ කර ගැනීමට ඉඩ නොදෙන්නේ තැනින් තැන පාර දෙපස සිට නැමී පාරට හිමිකම් කියමින් වැනෙන මාන පඳුරු යාය නිසාවෙනි. එහෙව් මාන පඳුරු නොවෙන්නට පරිසර සිරියෙන් උන්හිටි තැන් අමතකව ගිය මට මගේ කඳ බසය තුලට ඇද ගැනීම අමතකව යනු ඇත.

විමසා දැනගත් පරිදි මේ බස් රථය නවතනුයේද මට බැසීමට අවැසි වනුයේද මීපාගම හන්දියේම බැවින් මට බහින තැන පසු වේ යැයි කිසිඳු බයක් වීමට කරුණක් නොතිබීමත් සැහැල්ලුවෙන් සිරිනැරඹීමට ලැබුණු වෙස් වලාගත් ආශිර්වාදයකි. දැනටමත් නිවාඩු දිනයක නාන්නට සිරි නරඹන්නට පැමිණිමට තැන් කිහිපයක්ම හිතේ සටහන් කරගතිමි. කොහොමටත් කවුරුත් කියන පරිද්දෙන් හිතුවක්කාර චරිතයක් වූ, අම්මාගේ හැඳින්වීමට අනුව දෙයක් හිතුවොත් නිමා කර මිසක නතර නොවන චරිතයක් වූ, මගේ වැටහීමට අනුව හිතට ආ දෙයක් ඉටු කරගන්නා තුරු නින්ද නොයන අපූරු ජීවියෙක් වූ මට මේ පෙනෙන සුන්දරත්වය මගේ ජීවිතයේ වෙනස්ම ඉමක් දකිනු නොඅනුමාන බව දැනේ.

” නංගි.. මෙතන තමයි මීපාගම හන්දිය, මෙතනින් අපි හරවනවා.. නංගිට කොහේටද යන්න ඕනි? ආයෙත් අදම යනව නම් දවල් 2.30 ට බස් එකක් ආපහු තියනවා. ඒක තමයි ටවුමට යන අන්තිම බස් එක.”

 බුලත් විට කෑමෙන් කහට පැහැ ගැන්වූ  දසන් පෙන්වා බොහෝ ලෙන්ගතු සිනාවක් රඳවමින් පවසන්නේ කොන්දොස්තර මහතා ය.

” නංගි කොහෙද මේ යන්නේ..නෑ ගෙදරකවත් ආවද? ” ඒ බසය නැවැත්වීමෙන් අනතුරුව එන්ජින් පෙට්ටිය අසල ඇති පොල්ලෙන් මෙපිටට පනින අතරතුර ඒ විමසන රියදුරු මහතාය.

” නෑ අයියෙ මං ආවෙ මීපාගම ඉස්කෝලෙට අලුතින් පත්වීම අරන්..හෙට තමයි වැඩ භාරගන්න තියන්නෙ. “

“දුර නිසයි නවතින්න තැනක් හොයාගන්න ඕනි නිසයි අදම ආවා. “

” අප්පටසිරි කිව්වලු. පුංචියට හිටියට මිස් කෙනෙක්..තුෂාර අයියේ..”

” අනේ සමාවෙන්න ඕනි මිස්.. බස් එකේ පුංචි එකෙක් වගේ ආපු විදිහ දැක්කම මං හිතුවෙම කැම්පස් යන වයසෙ කෙනෙක් කියලා. අපි දන්නෙ නෑනෙ. “

හපොයි විලි ලැජ්ජාවෙ සන්තොසෙ බෑ කිව්වලු.

” අනේ.. ඒ්කට මොනා වෙනවද අයියෙ..මොකෝ මේ පට්ටම් බෙල්ලෙ ගහන් ඉන්නවද? මාත් සාමාන්‍ය මනුස්ස දුවක්.”

අම්මා මේ වදන් ඇහෙන ළඟ පාතක උන්නා නම් අනිවාර්යයෙන්ම බැනුමක් අහනවා සිකුරු ය. ඇයගේ කටේ ඇත්තේම “අපේ චූටි දූට ඉතින් අඳුරන්න ඕනි නෑනෙ..පඹයෙක් හරි කමක් නෑ අහන් ඉන්නවා වගේ හිතුනොත් කට කැඩෙනකල් කියවයි.” යන්න ය.

” අනේ ඇති යන්තම් මේ ඉස්කෝලෙට කවුරු හරි ගුරුවරයෙක් ආවා. ඒත් ඉතිං මිස් එන්ඩ ඇත්තෙත් බලෙත් දුෂ්කර සේවෙට දාපු නිසා මයෙ හිතේ.”

“එහෙම කී දෙනෙක් ඇවිත් ආ පයින්ම ගියාද මිස්. මේ පැති ඉතිං දුෂ්කරයි නෙ. කවුරුත් බලන්නෙ යන්ඩම තමයි ඉතිං. “

කවුරු ගියද නොරැඳුනද මට නම් මේ කර්කශ බවින් මිදී යාමට උවමනාවක් නැත. ගෙවී ගිය කටුක අතීතය අමතක කරන්නට මා විසින් තෝරා ගත් මාවතේ ඇවිද යාමට ඉටා ගතිමි.

” නෑ අයියෙ මං ඉල්ලලාමයි මේ වගේ ඉස්කෝලයක් හොයන් ආවෙ. මට යන්න හදිසියක් නෑ. දෙයක් කරන්න හිතාගෙන තමයි මං ආවෙත්. “

” හා හා සුමිත් මල්ලි ඔය මිස්ට දැන් යන්න දීපන්. ඒ මිස් උඹලා අපි වගේ නෙමෙයි.. දේවකාරියක් වගේ රාජකාරියකට ඇවිත් තියන්නෙ.”

” මිස් ඔහොමම මේ පල්ලම පහුවෙලා හම්බ වෙන හන්දියෙන් වම් අත පැත්තෙ තියන කඩේ ළඟින් අයින දිගේ තියන පාර දිගේ ගියාම හම්බවෙන සුුුුුුුුුුදු පාට තීන්ත ගාපු ගෙදරට යන්න. ලොකු සර්ගේ ගේ එතන. වරදින්න දෙයක් නෑ මිස්. “

මේ ගමේ ගතියයි. නගරයේ තාප්පයෙන් එපිට ලෝකය තුල කුමක් සිදුවුවත් නොමවිමසන හදිසියේ මගක දුටුවත් නොහඳුනන නැතහොත් නොහඳුනන සේ හැර යන මිනිසුන් අතර තවමත් සුහදතාවය ලෙන්ගතුබව හඳුනන මේ සොඳුරු මිනිසුන් හඳුනා ගැනීමම මා ලද භාග්‍යයක් සේ හැඟේ.

“අනේ ගොඩක් ස්තුතියි අයියෙ ඔයාලට. රාජකාරිය වෙනස් කියලා උසස් පහත් භේදයක් නෑ ඔයාලත් දේවකාරියක් තමයි කරන්නෙ. මේ ගමේ මිනිස්සුන්ට ඔයාලා කරන සේවයත් කොච්චර වටිනවද? .. “

“හරි මිස් එහෙනම් පරිස්සමින් යන්න. ඕනිම වෙලාවක උදව්වක් හෙම ඕනි උනොත් කියන්න මිස්. අපි වැඩිය ඉගනගන නැති උනාට ගුරුවරයෙක්ගෙ වටිනාකම දන්නවා නේද තුෂාර අයියේ?”

” ආ මිස්ට ඔය බෑග් දෙක උස්සගෙන පයින් යන්න අමාරු වෙයි. පොඩ්ඩක් ඉන්ඩකො මිස්. මං ටක් ගාලා අපේ ගුණේ අයියගෙ ත්‍රීවිල් එක සෙට් කරල දෙන්නම් මිස්ට යන්ඩ”

” ගුණේ අයියේ.. මේං මේ චූටි මිස් අපේ ඉස්කෝලෙට ඇවිත් තියන්නෙ අළුතින්. අපේ මිස්ව ලොකු සර්ගෙ ගෙදරට ඇරලපන්කො බන්. මිස්ට මේ බෑග් උසස්ගෙන යන්ඩ අමාරුයි ඒකයි. හරි එහෙනම් මිස්ව ගුණේ අයියා පරිස්සමට ගිහින් ඇරලයි. “

මේ ලෙන්ගතුකම් හරිම විරල ය.

 ” හරි එහෙනම් මං යන්නම් අයිය‍ෙ.. “

බෑග් දෙකද පටවාගෙන ත්‍රීවිලයට නැගීමි. කිලෝමීටරයක් පමණ ගිය තැන හමුවූ කඩය අසලින් වූ පටු මාවතේ මීටර් තුන්සීයක් පමණ ගිය තැන සුදු පිරියම් කරන ලද විදුහල්පතිතුමාගේ නිවස හමු විය. ගුණේ අයියා ගියේ මගේ බෑග් දෙකද ගේ තුලටම ගෙනත් දී විදුහල්පතිතුමාට මා පිළිබඳ හඳුන්වා දීමෙන්ද අනතුරුව ය. ලබා දුන් මුදල්ද ප්‍රතික්‍ෂේප කරමින් ඔහු ගියේ ගමේ මිනිසුන්ගේ අව්‍යාජ බව තව තවත් මට පසක් කරමිනි.

මැදිවියේ වූ විදුහල්පතිතුමාගේ මුහුණ නම් පින් පාට ය. කාලාන්තරයක් තිස්සේ දන්නා හඳුනන ගතියක් දුටු වනම ඇති වූ බවක් දැණිනි.

” හිරුණි වසුන්දරා අත්තනායක..මිස්ගේ පළවෙනි පත්වීම නේද මේ එහෙනම්?”

” කොහෙද මිස්ගෙ ගම හෙම..කොළඹ පැත්තෙ වෙන්ඩ ඇති නේද? “

” ඔව් සර් මේ මගේ පළවෙනි පත්වීම. මං කොට්ටාවෙ සර්.

“දන්න කියන කාලෙ ඉඳන් ආසාව තිබ්බෙ ටීචිං කරන්න. ඒ අතරෙත් හීනයක් තිබ්බා මේ වගේ පැත්තකට එන්න. ඒකමයි ඉල්ලගෙනම මෙහෙට ආවෙ. “

“ගම නම් හරිම ලස්සනයි. “

” මට නවතින්න තැනක් හොයාගන්න පුළුවන් වෙයි නේද සර්? ඉස්කෝලෙ ක්වාටස් නම් නැතුව ඇති නෙ නේද? “

විදුහල්පතිතුමා බලාගත්වනම මා දෙස බලා සිටියි. ” හපොයි සර් කියන්න ඕනි ඒවත් මං කිව්වද මන්දා.. විනාසයි”

” මං මේ කල්පනා කලේ මොකද්ද කරන්නෙ කියලා. මිස් හිතන තරම් නම් මෙහෙ සුන්දර නෑ ඉතිං. දුෂ්කර ගමක්. දුප්පත් දරුවො එක්ක තමයි අපිට වැඩ කරන්න තියන්නෙ.”

“අපේ ගෙදරත් ඒ හැටි ඉඩ පහසුකමක් නෑනෙ. ක්වාටස් එකක් නම් තියනවා ඒත් වල් වැදිලා තියන්නෙ පාවිච්චි නොකර ඉඳලා. අනික කොහොමටත් මිස්ව තනියෙන් ඒකෙ තියන්න බෑනෙ. ම්…ම්..බලමුකො. “

” ආහ් කුමාරි මේ අපේ ඉස්කෝලෙට හෙට ඉඳන් අලුතින් පත්වීම් අරන් ආපු මිස්.”

“මේ අපිට බැරි වෙයිද මේ මිස්ට ඔයාලගෙ මහගෙදර නවතින්න කතා කර ගන්න. අහල බලමුද ඔයාගේ පොඩි මල්ලිගෙන්”

” ගන්න මිස් මේ අපේ වත්තෙ වැලේ පැෂන් වලින් හදපු බීම. රස්නෙ නිසා තේ හදන්නෙ නැතුව මෙහෙම හැදුවෙ. “

” නෑ කුලේ අහන්න දෙයක් නෑ.. නාමලී දුවත් සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්න ඉන්න එකේ එයාලා කොහොමත් කැමති වෙයි  මිස් කෙනෙක් එහෙ නවත්තගන්න. අනික කාමර දෙකක්ම හිස්ව තියෙනවනේ.”

 “මං මෙහෙමම මිස්ව එක්කන් යන්නම් එහෙට. අපරාදෙ අපිට ඉඩ නෑනෙ ඉතිං නැත්නම් අපිට පාලුවටත් එක්ක මිස්ව අපේ ගෙදර තියාගන්න තිබුණා. “

” මොකද්ද මේ නම කිව්වෙ හිරුණි නේද?”

“මොනාද මිස් උගන්නන විෂය? හැබැයි ඉතිං මෙහෙ නම් එක විෂයක් කියලා නෑ විෂයන් දෙක තුනකටම ගුරුවරු අඩුයි”

” මගෙ සබ්ජෙක්ට් එක නම් සිංහල සර්. ඒ උනාට මට ඉංග්‍රීසි, ගණිතය වගේ ඕනි එකක් පුළුවන් සර්. “

” ෂා.. මෙහෙම පුළුවන් කියපු මිස් කෙනෙක් මෙහෙට ආවමයිද කොහෙද?”

”  අපි එහෙනම් විස්තර හෙට කතා කරමු. මිස් දැන් අපේ නෝනත් එක්ක අරෙහෙට යන්න. කෑම බීම ගැන කරදර වෙන්ඩ අවශ්‍ය නෑ. මුදල් ගැන කතා කරන්න යන්න එපා. එ්ක එයාලට මදිකමක් වගේ දැනේවි. “

” එහෙනම් හෙට උදේ ඉස්කොලෙට එන්නකෝ මිස්.”

 “ආ.. මේ අහන්නත් බැරි උනා. අහන එක හොඳද කියලා අහන්නෙ නැතුව හිටියෙ. මිස්ව කොළඹ ඉඳලා මෙච්චර දුර බැහැරට තනියම එව්වද දෙමව්පියො?”

” අනේ නෑ සර්, ගෙදර අය හැමෝම විරුද්ධයි මං මෙච්චර දුරකට පත්වීම් ඉල්ලලා ගත්ත එකට. ඒකයි මේ  තනි මතේට කර ගත්ත දේ නිසා මං තනියම ආවෙ. ටික දවසක් යද්දි ඕක හරි යයි. හරි එහෙනම් බොහොම ස්තුතියි සර්..මං හෙට උදේ ඉස්කෝලෙට එන්නම්. “

තාර නොදැමූ දුඹුරු පැහැ බොරළු පාර මතින් මීටර් පන්සියයක් පමණ ඇවිද ආ තැන හිත වසඟ කරවාගන්නා වටපිටාවක මගේ නවාතැන පිහිටා තිබුණි. ඉඩමට ඇතුල් වූ තැන පටන් නිවස මිදුල තෙක් දිවෙන බොරළු පාර අතුගා පිරිසිදු කර තිබේ. පාර දෙපස විවිධ මල් වර්ග, ගස් වර්ග බහුල ය. ඉතා උවමනාවෙන් නඩත්තු කරන්නා වූ වටපිටාවක් බවට පැහැදිලි වීමට සාක්ෂි එමට ය. අතරමග නැවතී හති අරින්නටත් චිත්‍රපට ජවනිකා වල මෙන් ගස් වටේ නටන්නටත් ඉමහත් ආශාවක් උපන්නද හෙට පටන් ගුරුවරියකය යන සිතුවිල්ල තුලින් ඒ ආශාව මැඩලීය.

සමරසිංහ මහතාගේ නිවැසියන් සියල්ලගේම ඉතා උණුසුම් පිළිගැනීම් මැද මා තවත් උද්දාමයට පත්වීමි. සියල්ලටම වැඩියෙන් සිත ගත්තේ නාමලී වැනි හුරුබුහුටි මිතුරියක් ලැබීම ය. මගේ සිසුවියක් වුවද මගේ සිතුවිලි හා සසැඳෙන ගතිගුණ ඇති දැරියක් බව කතා බහ කර ස්වල්ප වේලාවකින් වටහා ගතිමි.

” නාමලී ඉතින් කොහොමද ඉස්කොලෙ වැඩ අල්ලගෙන යනවද? මොනාද අමාරු විෂයන් හෙම තියේද? “

” අනේ ටීච මට හිතෙන්නෙම නෑනෙ පාඩම් කරන්න, අම්මලා නම් බනිනවා එතකොට මට කරන ටිකත් එපා වෙනවා. “

” ඉගෙන ගන්න එක එච්චර අමාරු නෑ නාමලී. මං කියලා දෙන්නම්කො පාඩම් කරන ලේසි ක්‍රම.”

“අපෝ මටත් බැරිම දේ එක තැනක ඉඳන් පාඩම් කරන එක. ඒ වුණාට මං එකසෑම් ගොඩ දාගත්තා හැම එකක්ම.”

“හැබැයි ඔයාගෙ මට උදව් ඕනි හොඳද? මේ ගමේ ලස්සන ලස්සන තැන් ගැන මට කියන්න ඕනි හොඳේ. “

“මේ..ඒක නෙමෙයි මං ඔයාට මලී කියන්නද නැත්නම් නම දිග වැඩී වගේ.”

” ඔයාගෙ ඕනි දෙයක් මට කියන්න හොඳද ඉස්කෝලෙ විතරයි මං ඔයාගෙ ටීච ගෙදරදි මං ඔයාගෙ අක්කා කියලා හිතන්නකො “

කෙල්ල දෑස් ලොකු කර බලන් ඉන්නේ විමතියෙනි. වරින් වර ඇගේ දෑස් දිලිසෙනු පෙනේ.

” අනේ… ශෝක් ටීචර්.. එහෙනම් අද ඉදන්ම අපි පාඩම් කරමු. මෙහේ ඉතින් උනන්දු කරන්න කියලත් කවුරුත් නෑ ටීච. ටීච කිව්වම මටත් ආස හිතුනා හොඳට විභාගෙ කරගන ටීච වගේ චූටි ටීච කෙනෙක් වෙන්න.”

“ගොඩක් තියේ ලස්සන තැන් බලන්න නම්. අපි යන් බලන්න”

“මට අක්කෙකුත් නැති නිසා ටීච ආපු එක නම් ගොඩක්ම හොඳයි ටීච. මට පාලුත් නෑ දන්නෙ නැති දෙයක් අහගන්නත් පුළුවන් මට. අපේ උන් ඉරිසියා කරයි ටීච අපේ ගෙදර ඉන්නවා කිව්වමත්.”

“අපි අද පහළ ලිඳෙන් නාමු ටීච. හෙට ඉස්කොලෙ ඇරිලා ඇලට ගිහින් නාමු. “

අපරාදෙ කියන්න බෑ මලී මං වගේම කතා පෙට්ටියක්. මේ යන විදිහට නම් මට ගෙවල් දොරවලුත් අමතකම වෙයි වගේ.

*****************************

මං උදෙන්ම මලී එක්ක ඉස්කොලෙට යන්නට පිටත් වුණා. ගස් අතරින් රන්වන් හිරු රැස් එබෙන හිමිදිරිය මේ දිව්‍ය ලෝකයට යන මාර්ගයක්දැයි හිතෙන තරමට මගේ හිත පැහැර ගැනීමට සමත්. සිරි නැරඹීමට වඩා පාසලට යාම වැදගත් බැවින් පය ඉක්මන් කර පාසල් යාමට හිත හදා ගන්නට සිදුවීම නම් හරිම ශෝචනීය සිදුවීමක්. පුංචි උන් එහෙන් මෙහෙන් ඇවිත් එබෙන්නෙ හරියට මං මැජික් එකක් වගේ. උන්ට හරි කුතුහලයක්. ඒත් උදේ රැස්වීමෙන් පස්සෙ ඒ කුතුහලය දුරු වෙන්න ඇති.

” ළමයි හැමෝම අහගන්න..අද ඉදන් අපේ පාසලට පත් වෙලා ආපු අලුත් ගුරුතුමිය තමයි මේ. මිස් ඇවිත් තියන්නේ සිංහල විෂය උගන්වන්න උනත් අපේ පාසලේ ඉංග්‍රීසි සහ ගණිතය විෂයට ගුරුතුමෙක් නැති නිසා මිස් කැමති උනා ඔයාලට ඒ විෂයන් උගන්වන්න. ඔයාලට ගොඩක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ ගුරුතුමියගෙන්. ඔයාලා මෙතෙක් කල් දැකපු අපේ ගුරු මණ්ඩලයේ මැදි වියේ අපි වගේ වයසක ගුරුවරු අතරට ඔයාලට ගැලපෙන බොහොම තරුණ ගුරුතුමියක් ඇවිත් තියන්නෙ අපි හැමෝගෙම වාසනාවට. අනිත් විශේෂම හේතුව තමයි…මේ ටීච ටිකක් වැඩිපුර කාලයක් අපිත් එක්ක ඉන්න බලාගෙන ආපු එක. “

ඒක කිවුවා විතරයි ළමයි හැමෝම මහ හයියෙන් අත්පුඩි ගහලා තමන්ගෙ සතුට පල කලා. මං සර්ගෙන් පොඩ්ඩක් අවසර ඉල්ලන් පුංචි උන්ව අමතන්න හිතුවා.

” සුභ උදෑසනක් දරුවනේ. අද ඉදන් මාත් ඔයාලා එක්කම ඉන්නවා. මං හිරුණි වසුන්දරා. ලොකු සර් කියපු විදිහට ඔයාලා ගොඩක් දුෂ්කරතා මැද ඉඳගෙන මේ ඉස්කොලෙට එන්නෙ කියලත් සෑහෙන කාලෙකින් ඔයාලට උගන්වන්න හරියට ගුරුවරු හිටියෙ නෑ කියලත් මට තේරුණා. ඉතිං අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු. මං හිතනවා නෑ බෑ කිය කිය ඉන්නවට වඩා තියන සීමිත සම්පත් වලින් වැඩක් ගන්න උත්සාහ කලොත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. අපි හැමෝම ටිකක් වැඩිපුර මහන්සි වෙමු. හොඳට ඉගනගෙන මේ පාසලේ ගුරුවරයෙක් විදිහටම ඇවිත් ගමට රටට සේවයක් කරන්න හිතා ගමු අපි. “

ඉතිං මං මගේ මිෂන් එක පටන් ගත්තා. හිතුවට වඩා පුංචි උන් මාත් එක්ක එකතු වෙන්න කැමති වුණා. සමහරවිට මං එයාලගෙ සහෝදරියෙක් වගේ හිතුනද දන්නෙත් නෑ. මට ෆ්‍රී පීරියඩ් එකක් තිබුණෙම නෑ. ස්ටාෆ් රූම් එකේ හිටියොත් ළමයි ඇවිත් බලෙන් හරි මාව එකකන් යන්නෙ එයාලට මාව හිතට අල්ලපු නිසා තමයි කියලා මං සතුටු වුණා. කාලය ගෙවුණෙ විදුලි වේගයෙන් පාසලේ වගේම දරුවන්ගේ වෙනස්කම් රැසක් කරමින්.

ඔය අතරෙ මට අපූරු අදහසක් මතු වුණේ හදිසියෙන්. උදේ රැස්වීමෙදි මගෙ අදහස මං ඉදිරිපත් කලේ සාර්ථක කරගන්න පුළුවන්ද කියලා අදහසක් ගන්න.

” ළමයි…අද මං චූටි දෙයක් ඔයාලගෙන් අහන්න හිතුවා. කෝ බලන්න පොත් කියවන්න ආස අය අත් උස්සන්න බලන්න. “

එහෙන් මෙහෙන් මග ඇරෙන අතක් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම අත් උස්සගන.

” හරි එහෙනම් දැනටමත් පොත් කියවන අය අත උස්සන්න බලන්න. “

එතකොට නම් ඉස්සුනේ අත් පහක් විතර. අනෙක් මූණු මැලවිලා තිබ්බා.

” අනේ ටීච, මේ ළමයින්ගෙ ගෙවල් වලට පත්තරයක්වත් ගේන්නෙ නෑ. කුලී වැඩ කරලා ජීවත් වෙන මිනිස්සුන්ට ළමයින්ට පොත් ගෙනත් දෙන එකෙ ලොකු වැදගත්කමක් පේන්නෙ නෑ. ඒක ඉතිං මේ ළමයින්ගෙ වැරැද්ද නෙමෙයි. ” ඒ ලොකු සර්..

” හරි ළමයි..කිසිම දෙයක් හිතන්නෙපා. ඔයාලා කියවන්න ආසයි කියන්නෙ එච්චරයි මට ඕනි. අපි එකතු වෙලා ඉස්කෝලෙට පුස්තකාලයක් හදමු. එතකොට රසවත් වගේම වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ඔයාලට පුළුවන් වෙයි. “

මට දැණුනෙ නිකං පියාඹනවා වගේ හැඟීමක්. අලුතින් දෙයක් පටන් ගන්නවා කියන්නෙ මට පිස්සුවක් වගේ දෙයක්. එදා හවසම මං මුහුණු පොතේ මේ කියවුමක ඇරඹුම ගැන පෝස්ට් එකක් හදලා දැම්මෙ මගෙ යාළුවො ඔක්කොම ටැග් කරලමයි. මොකද මං විශ්වාස කලා මේකෙන් දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. සෑහෙන ප්‍රතිචාරයක් ලැබුණා ඒකෙන්. ඒ සතිය ඇතුලතම පාසල් සංවර්ධන සමිතියක් තියලා ගමේ තව වැදගත් කීපදෙනෙක්ටත් ආරාධනා කරලා අපි අපේ අදහස එයාලට කිවුවා. වැඩිපුර ඉගෙනගන නැතත් දරුවන්ට හොඳක් වෙන එක ගැන ගොඩක් සතුටින් එයාලා කැමැත්ත පල කලා. පුළුවන් තරමකට ශ්‍රමයෙන් දායක වෙන්න හැමෝම කැමති වුණා. පාසලට අල්ලපු වත්ත අයිතිකාර එදිරිවීර මහත්තයා එයාගෙ ඉඩමෙන් කොටසක් පුස්තකාලෙ හදන වැඩේට පරිත්‍යාග කලා. ගමේ අයගෙ ශ්‍රමයෙනුයි පුළුවන් තරමට එකතු වුණු මුදලුයි දාලා අපි පුස්තකාලයයි කියවීම් ශාඛාවයි ගොඩනගාගන්න කතා කර ගත්තා. පුස්තකාලෙකට ඇති තරමට පොත් මුහුණු පොතෙන් ලැබෙන නිසා පොත් ගැන ප්‍රශ්නයක් නෑ.

ඒත් සිකුරාදා උදේක ලැබුණු කෝල් එකෙන් හැමදේම වෙනස් වුණා.

” හෙලෝ මේ හිරුණි වසුන්දරා මිස්ද? “

” ඔව්..මං තමයි. කවුද මේ…? “

” මිස් අපි කොළඹ නැගෙනහිර සිංහ සමාජයෙන් කතා කරන්නෙ. අපි මිස්ගෙ පෝස්ට් එකක් දැක්කා ෆේස්

බුක් එකේ. මිස්ගෙ ඉස්කෝලෙ විස්තර දැකලා අපි තීරණය කලා අපේ සිංහ සමාජයෙන් මිස්ලගෙ පුස්තකාලයට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන්න. අපි කැමතියි ලබන සතියෙ දවසක මිස්ලගෙ ඉස්කෝලෙට එන්න ඒ මුදලත් අරන්”

දෙයියනේ මට අදහන්නත් බෑ. මං ඒ මිනිස්සුන්ට කොහොම උත්තර දුන්නද මන්දා. මං ගුරුවරියක් කියලා මට මෙහොතකට අමතක උනාද කියලත් ශුවර් නෑ. මං සාරියත් උස්සගන ඔෆිස් එකට දුවනවා පොඩි උන් කට ඇරගෙන බලන් හිටපු හැටි මට පස්සෙයි මතක් වුණේ.

” සර්…සර්.. ලොකු සර්… අපේ වැඩේ හරි ගියා …. “

” මොකද හිරුණි මිස්..මොන වැඩේද මේ? “

සර්ට මං විස්තරේ කියද්දි සර්ටත් අදහන්න බෑ වගේ. මේ තරම් දෙයක් කවදාවත් මේ පාසලට ලැබිලා තිබුණෙම නැති නිසා. මාව නිකන් පාවෙනවා වගේ දැනුනෙ දැන් ඉතිං ඕනිවටත් වඩා අපිට දේවල් තියනවා. ළමයිනුත් හිටියෙ පුදුම සතුටකින්.

*****************************

ලැබුණ මුදල් වලින් අපි හිතුවටත් වඩා ලස්සනට පුස්තකාලෙ හැදුවා. තට්ටු දෙකට ගොඩනැගිල්ල ලොකුවට හදලා උඩ තට්ටුවේ ලොකුම ලොකු කියවීම් ශාලාවක්, අධ්‍යයන කාමරයක් වගේම රැස්වීම් ශාලාවකුත් හැදුවා. ගෙදර පාඩම් කරන්න අපහසු ළමයින්ට මෙතන ඇවිත් පාඩම් කරන්න පුළුවන් නිසා ඒක තවත් වටිනවා කියලා දැණුනා. පුස්තකාලෙට අවශ්‍ය ලී බඩු උපකරණ ගන්න කිසිම අපහසුවක් වුණේ නැහැ. එදිනෙදා කුලී වැඩ කරන මිනිස්සු පවා දිවා රෑ නොබලා ඇවිත් මහන්සි වුණේ හිතාගන්නත් බැරි තරමට. මාත් අත ඇරියෙ නෑ එයාලත් එක්ක හරි හරියට වැඩ කලා. මං නිසාම මගෙ පුංචි උන් කවුරුත් ගෙදර නොගිහින් මේ වැඩ වලට උදව් කලා හැමදාම හවසට.

මාසයක් යනකොට අපේ අපේක්ෂාවන් මල්ඵල ගැන්විලා. මුහුණු පොතෙන් පරිත්‍යාග විදිහට ලැබුණු පොත් සැරින් සැරේට ටවුන් එකේ ඉඳන් ඉස්කොලෙට අරන් එන්න බස් එකේ තුෂාරයි සම්පතුයි හුඟක් උදව් කලා. අඩු පාඩු පොත් පත් මං දානවා කියලා හිතන් හිටියෙ. පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට සිංහ සමාජයේ සාමාජිකයන්ටයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාටයි විශේෂයෙන් ආරාධනා කලා. ලොකු සර්ගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම මගේ පවුලෙ අයටයිත් ආරාධනා කලා.

එළඹුණු සුභ මොහොතින් පුස්තකාලෙ විවෘත වුණා. හැමෝගෙම ඇස්වල සතුටු කඳුලු. මගෙත් ඇස්වල සතුටු කඳුලු, ඒ මගේ අදහස සාර්ථක උනා වගේම මං ගත්ත තීරණය ගැන ආඩම්බර වෙන අම්ම්ගෙයි අප්පච්චිගෙයි කාටත් හොරෙන් ඇස්පිය ගහ ගහ කඳුලු හංගන මගෙ එකම අයියණ්ඩිගෙයි ආදරේ දැකලා.

උත්සවය මෙහෙයවුයේ මං දවල් රෑ නොබලා පුරුදු කරපු මගෙ දරුවො.

” අද දවසේ මේ අවස්ථාව දැක්කම මට පුදුම සතුටක් දැණුනේ. අපේ අධ්‍යාපන අමාත්‍යංශයේ කිසිම උදව්වකින් තොරව මේ වගේ දෙයක් අති විශිෂ්ඨ ආකාරයට සංවිධනය කිරීම පිළිබඳව විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට මං ස්තුතිවන්ත වෙන්න කැමතියි. විශේෂයෙන්ම විදුහල්පතිතුමා මට කිව්වෙ මේ කර්තව්‍ය වෙනුවෙන් මූලික වෙලා කටයුතු කලේ මේ හිරුණි මිස් කියලා. කතා කරපු හැම ළමයෙක්ම මට කිව්වෙ අපේ හිරුණි මිස් තමයි මේ හැමදේම කලේ අපි වෙනුවෙන් කියලා. ඇත්තටම හිරුණි මිස් වගේ අය තමයි ඉපදුන රටට වගේම හදපු වඩපු දෙමව්පියන්ට ණය නැති දරුවො.. ” ඒ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා.

” මේ සතුටුදායක අවස්ථාවෙ තවත් දෙයක් කියන්නත් තියනවා. මේ පොඩි කාල සීමාවට හිරුණි මිස් ඉස්කොලෙටයි මේ දරුවොන්ටයි කරලා තියන දේවල් දැකලා වල්ගම්පල ජාතික පාසලෙන් ඉල්ලීමක් කරලා තියනවා ඔයාලගෙ හිරුණි මිස්ව ඒ පාසලට ලබා දෙන්න කියලා. මේ හිරුණි මිස් ඒකට කැමති නම් මට පුළුවන් මේ පාසලට ගණිතය සහ ඉංග්‍රිසි විෂයන් දෙක උගන්වන ගුරුවරු දෙන්නෙක් ඒ වෙනුවට ලබා දෙන්න. තීරණය ඔබතුමියට භාරයි.  “

මුළු උත්සව සභාවම මීයට පිම්බාක් මෙන් විය. මට සවන් අදහාගත නොහැක. මගේ තීරණය තෙක් සියල්ලන්ම බලා හිඳී. මගේ යුතුකම මේ දරුවන් වෙනුවෙන් ඉටු කලෙමි.

” ගොඩක් ස්තුතියි අධ්‍යක්ෂ තුමනි මේ පැසසුම් වලට. මං ඇත්තටම මගෙ අම්මා අප්පච්චිවත් අත් ඇරලා මෙහෙට ආපු එකේ අපේක්ෂාව දැන් ඉටු වෙලා කියලා මං හිතනවා. ලොකු සර්ටත් ඒ වගේම මගෙ දරුවන්ටත් ගොඩක් ස්තුතියි හැම අවස්ථාවකම ලබා දුන් සහයෝගය වෙනුවෙන්. ඇත්තටම මං මේ පාසලට ආවෙ සිංහල උගන්වන ගුරුවරියක් වශයෙන්. ඒත් මං ඉගැන්නුවෙ ගණිතයයි ඉංග්‍රීසියි ඒකත් ගොඩක් වෙලාවට හවසට සති අන්තෙ අමතර පන්ති කරන්න වුණා මට. මහන්සියක් නම් දැනුනෙම නෑ මේ අහිංසක හිනා මූණු දැකලා. හැබැයි දරුවනේ මං මගෙ වගකීම ඉෂ්ට කලා. මට හිතෙනවා මං තනියෙන් බදාගන ඉන්නවට වඩා ඔයාලට ඒ විෂයන් දෙකට ගුරුවරු දෙන්නෙක්ම මේ සර් දෙන්නම් කියපු පොරොන්දුව පැත්තට හැරෙන්න..එහෙම හොඳයි නේද ලොකු සර්”

මද මද කසු කුසු අතරින් වේදිකාවට නැගුනේ නඳුන් ය. නවය වසරේ සිසුවෙක් වන දඟම දඟ කිසිම දිනෙක වේදිකාවට නැගීමට මැළි වූ නඳුන්ගේ ආගමනයත් පුදුමයකි.

” සභාවේ සියළු දෙනාගෙන්ම අවසරයි..මුලින්ම සමාව ඉල්ලනවා මෙහෙම එක පාරටම කතා කරන්න ආපු එක ගැන. මම නඳුන් බුද්ධික. ඉගෙනගන්නෙ නමය වසරෙ. මං මෙතනට ආවෙ ලොකු ඉල්ලීමක් කරන්න. මං හිතනවා මේක තමයි අපේ ඉස්කෝලෙ හැම ළමයෙක්ගෙම ඉල්ලීම. අපි මේ ඉස්කොලෙට නිකන් ආවා ගියා මිසක් ඉගන ගන්න ආසාවකින් විභාග පාස් වෙන්න බලාපොරොත්තුවකින් ඉගන ගත්ත ළමයි නෙමෙයි. ඒත් හිරුණි මිස් තමයි අපිව වෙනස් කලේ. අපි හැමෝටම මිස් අම්මා කෙනෙක් වගේ අක්කා කෙනෙක් වගේ හැමදේම කියලා දුන්නේ. අපිත් එක්ක වැඩ කලා, සෙල්ලම් කලා, කඳු නැග්ගා, ඒ අතරෙම අපිට දැනෙන විදිහට හිත් වලට දේවල් දැනෙන්න දුන්නා. දැන් අපි හැමෝටම බලාපොරොත්තුවක් තියනවා. කුලී වැඩ කරන්න නෙමේ හොඳට ඉගනගෙන හිරුණි මිස් වගේ ගමට රටට සේවයක් කරන්න. ඉතිං මෙච්චර දෙයක් කරපු අපේ මිස්ව අපිට නැති කරන්න එපා සර්. අපේ මිස් අපිට ඉංග්‍රීසිත් ඉගැන්නුවා ගණනුත් ඉගැන්නුවා.. ඒ ඔක්කොටම වඩා ජීවිතෙත් ඉගැන්නුවා. අපිට හිරුණි මිස් නැතුව නම් වෙන ගුරුවරු කවුරුත් එපා. මිස්ගෙනුත් ඉල්ලන්නෙ අපිව දාලා යන්නෙපා මිස් කියලා “

නඳුන් වේදිකාවෙන් බැසගියේ කන් පැලෙන තරමේ අත්පොලසන් නාදයත් සමගය. මගේ දරුවන්ගේ ආදරය මා ඇතුළු සියල්ලන්ම හඬවන්නට සමත් විය.

ඒ සමගම නැගී සිටියේ විදුහල්පතිතුමන් ය.

” අධ්‍යාපන අධ්‍යක්ෂ තුමනි ඇත්තටම අපේ විදුහලට ඉතිහාසයේ කවරදාකවත් ලබා ගන්නට බැරි වුණු ජයග්‍රහණයන් රාශියක පරම හිමිකාරිය මේ හිරුණි මිස්. මුලින්ම දැකපු දවසෙ නම් මං හිතුවෙත් නෑ මෙච්චර පුංචි ගෑනු ළමයෙකුට මෙච්චර හරියක් කරන්න පුළුවන්ද කියලා. ඒත් මේ දරුවො එක හඬින් කියද්දි මම මෙතන නිහඬව හිටියොත් ඒක ලොකු අඩුවක් වෙනවා. අසාධාරණයක් වෙනවා. ඇත්තටම හිරුණි මිස් අපිට..මේ මුලු ගමටම..රටටම මහා අනර්ඝ සම්පතක්. හැමෝම ඇඇවිත් දාලා ගිය මීපාගම ඉස්කෝලේ ආයෙත් හුස්ම ගන්නෙ මිස් නිසා ..ඒ නිසා අපේ මිස් අපි ළඟම දිගටම හිටියාවෙ සර්. ඔබතුමා මගෙ ඉල්ලිමට ඉඩ දෙයි කියලා මං විශ්වාස කරනවා.”

” බොහොම සතුටුයි මේ ගුරු තරුව ගැන. මේ අදහස් දැක්කම මට දැණුනා කාටත් අමාරු ඇති හිරුණි මිස්ව වෙන කාටවත් දෙන්න කියලා. අපි එහෙනම් හැම ඉස්කෝලෙකම ගුරුවරුන්ටයි දරුවන්ටයි  කියමු මීපාගම ඉස්කෝලෙට ඇවිත් ජීවිතේ විඳින්නයි ජීවිතේ දිනන්නයි ඉගනගන්න කියලා ..”

” එහෙනම් ඔන්න ඔයාලගෙ ටීචර් ඔයාලටම බාරයි”

එසැණින් වේදිකාව මතට පැමිණ මා වට කරගන කෑ ගසන මගේම දරුවන්ගෙන් නැගෙන  ප්‍රීතිඝෝෂාව මගේ ජීවිතයේම ජය හඬ බව හදවතට දැණිනි…

 

කතෘ -සංජීවනී ජයසුන්දර

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...