අතීතාවතරණය
කතෘ
දුලක්ශි තුඩුගල


” දැන්වත් මේ විකාර නවත්තලා පවුල ගැන හිතුවා නම් මොකද “

කිසිත් නොකියම වාහනයට නැග්ගත් හිත තවමත් අතීතයටම දුවයි.අතීතය ගැලවුමක් නැති නවාතැනක් මෙන් දැනේ.වැරදීම් උරුම මට පමණක්දැයි හැඟුනත් මුව ගොළු වූවෙකු සේ හිඳීම අගනා වග සිතිණි.

” මැඩම් තවම මේ වගේ දුර ගමනක් යන්න හොඳ ද?”  නැත. එයට පිලිතුරක් මා සතුව නැත. කුඩා කල සිටම පැවති අතීතය හෑරීමේ උණ සියල්ල අභිබවා නැගී ආ කල “අතීතය”  වර්තමානයත් අනාගතයත් පණක්ම කරගන්නට සිදුවිණි.

“මුරණ්ඩුකම ලොකුයි ඔක්කෝටම වඩා..ගෑණු කරන වැඩ ද ඕවා”

රිදෙන්නට තැනක්ද නොමැත. මා ප්‍රිය කරන එකම තැන අතීතය පමණි. එහෙත් දැන් ??? මෙතෙක් මා දුටු සියල්ල අඳුරකට දමා වසා දමන්නට මා සූදානම් නැත. සිතේ හටගත් නොසන්සුන් බව මෙතෙකැයි කිව නොහැක. මෙතෙක් මා ජීවත් කරවූ අතීතය… එය කෙසේ හැරයම්ද නොදනිමි.

“එක්කො මේ වැඩ නවත්තන්න..නැත්නම් කරුණාකරලා ගියොත් හොඳයි දීගේ නවත්තලා”

ගැහැණු අපිට හිමි පවුල් කුටුම්භය පමණමදැයි අසන්නට නොහැකි වුනත් නොගැලපෙන ඉසව්වක නතර වීමේ විපාකය දැඩිව අත්විඳිමින් සිටිමි.

“උගත් දැරිවියක් නේද මේ..ගත්තු තීරණය ගැන ආයෙත් හිතුවොත් නරකද” ඒ එවකට මා ලද අවසන් අනතුරු ඇඟවීම විය. සියල්ල සිදු විය. හොඳට හෝ නරකකට හෝ සියල්ල සිදුවිය. මා එකක් තෝරාගත යුතුව ඇත. ඔව්..එකක්.. අතීතය සමඟ අනාගතය…නැතිනම් කුටුම්භය….

වසර නවයක පමණ අපමණ වෙහෙසකින් ද නිදි නැති රාත්රින් දහස් ගණනකින්ද පසු ලැබුණු අවසාන ප්‍රතිඵලය මා පුරාවිද්‍යා  මහාචාර්යවරියක ලෙස සේවයේ නියුතු කරවීම ය. සතුටක් ලෙස සමරන්නට කිසිත් එහි නොවූයේ උපතේ සිට ගැහැණියක වීමේ අවනඩුවට මුහුණ දීමට සිදු වූ නිසාමය.

“ගෑණියෙක් වුනාම දරුවෙක් ඉන්න එපැයි.. කසාද බැඳලත් අවුරුදු කීයක්ද”

කනට හුරු ගෙරවුම් රැවුම් අවසන යන්තම්වත් සහනයක් හිමිවුනා නම් ඒ වෘත්තියෙන්ම පමණි.  නින්දා කරන කිසිවෙකුට පිලිතුරු බැඳීමටවත් නිදහසක් ඔහුට හා මට නොතිබෙන බව අන් අයට නොහැඟෙන්නේ මන්දැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගතිමි. සීමාවාසික පුහුණුව අවසන ඈත දුශ්කර රෝහලකට පත් වී ගිය ඔහුටත් යට වී මියෙන තරම් පර්යේශණ පත්‍රිකා තොගයක සිරවුණු මටත් සිතීමට දහසකුත් එකක් ගැටළු ඇති වග කිසිවෙකු නොදැන සිටි නමුදු දරුවෙකුගේ සිහිනය කල් දමන්නට සිදුවීම නිරායාසයෙන් ම විය..

” ඇති යන්තම් ..දැන්වත් ගෙදරට වෙලා ළමයා පරිස්සම් කරන් ඉන්නවා නම් ඇති…” මාස ගණනකට පසු නව අවලාදයකි..

මෙතෙක් උපයාගත් සියල්ල නොහික්මුනු ආත්මාර්තකාමී අදහස් වෙනුවෙන් අත්හළ නොහැක..මා පුතු දෑස් සිහිවී නෙතු තෙත් වුවද…යලිත් පුතු හා දිනෙක අතීතයට පැමිණෙන වග පමණක් සිහිතබා ගතිමි. තවමත් ඉදිවෙන නිවසේ ඉතිරි අත්තිකාරම් මුදල ගෙවු පසු බැංකු පොතෙහි ඉල්ක්කම් හතක ශේෂයක් ඉතිරි වන්නට නම් තවත් වසරක්වත් මා මෙය කල යුතුය.අතීතය අත්හල තැනක මා හට අනාගතයක් නොමැති වග මා හොඳින්ම දනිමි. පුතු හා යලි දිනෙක මෙහි පැමිණෙන වගට සපත කරමින්…

 

“පුතේ…අම්මට සමා වෙන්න…” දිගු හුස්මකට පසු පය ඉක්මන් කර ඉදිරියට ගියෙමි.

 

අන්ධකාරය අතරින් ඈතින් විටෙන් විට නෙත ගැටෙන අග්නි එළි රූස්ස තුරු මුදුන් එකිනෙක ගැටෙන ශබ්දය හා සමාන්තරව සිතට ඇතුලු කරන්නේ කියන්නට නොතේරෙන හැඟීමකි. ලෙන් පියස්ස අගින් වෑහෙන දිය බිංඳු පිහිටි බිම අතුගා ලෙනෙන් ඈතට දිවෙන හඬ විටෙක හිතට බිය මුසු හැඟීමක් ගෙනදෙන්නාක් මෙන් දැනේ. ඈතින් පේන පින්නගල මානය හරහා ඇස් ඉදිරියේ පෙනෙන කදු ගැටිය සිසාරා ඔවුන් ඇවිද ගිය හැටි මැවී පෙනෙද්දි දැනෙන චින්තන දහරාව මෙතෙකැයි කිව නොහැක. කුසට පැමිණි ප්‍රාණී ජීවය නිසාවෙන් සියල්ලෝම තුටින් සිටි හැටි ද මෙලසම හිතේ කොණකින් මැවේ. තැනෙකින් ගල් පතුරැ දෙකක් එකිනෙක ගැටෙන හඬ ද, තවත් දෙසකින් රාත්‍රි භෝජන උදෙසා සතෙකු ලුහු බදින ඝෝෂාවද විටෙන් විට ඇසෙයි…..

   ජීවිතය යදින සිව්පාවකුගේ කෑ ගැසීම අන්දකාරයේ බිය තවත් තීව්‍ර කරන්නාක් සේ දැනේ. බලංගොඩ මානවයන්ගේ නෑ හිතවතුන් කිහිප දෙනෙකුන් ලෙන දෙසට එන පිය සටහන් හඬ දැන් දැන් ඇසේ.. යාතිකා??? ඔව්…යාතිකා වන් යමක් කියනු ඇසෙන්නේ ඉදිරියේ ඇති කදු වැටියේ කාන්තා හඬකිනි….

පොඩි එකෙකුගේ හැඬිල්ලක් ඇසේ… හිත දිව ගියේ කුසෙන් එන්නටත් පෙර හැර ගිය කුඩා පුතු වෙතය… පුතුත් මෙලෙසම හඬන්නට ඇත… සියල්ල සිදු වන්නට ගතවුනු තත්පර ගණන ගැන තවමත් ඇත්තේ මෙතෙකැයි කිව නොහැකි අවිනිශ්චිත බවකි…

ලෙන පාමුල කුමක්දෝ සාකච්ඡාවකි… ලෙන මැද පිහිටි ගල් පතුරක වාඩි වී සිටි මගේ දෑත ලෙන් බිත්තියට ගියේ නිරායාසයෙනි.. සියල්ල දරාගෙන උපේක්ශාවෙන් කඳුවැටිය දෙස නෙත් යොමා සිටින  කලු ගල් ලෙන මහා කතාන්දරයක සුලමුල කාලයේ වැලි තලාවෙන් පාංශු ස්තරයන්ගෙන් වැසුනු අඩි සියයක් යට පිහිටි අතීතයේ සිට මා තෙක් දිව ආ හැටි නෙත අද්දර චිත්රපටයක් සේ මැවුනි….හාරා ගොඩ දමා ඇති පස් තට්ටුවක මතුපිටින් ආදි නෑදෑයෙකුගේ අතින් නිමවුනු ගල් පතුරක සේයාවක් ඈතින් නෙත ගැටේ….

හෝමෝ සේපියන් මානවයාගේ දැක්ම…සංක්‍රාන්තිය ….පුරාවිදු බිම් පතල මත එකින් එක දිග හැරෙයි..යමෙකු ඈතින් මා දෙස බලා සිටිනවාක් මෙන් දැනේ…ඒ ඔහුද….තමන්ගේ අඩවිය තුල වාඩිගෙන සිටින නාන්නාදුනන මානවයා කවුරුන්ද…..ඔහු සිත තුල පැන නගිනවා වන්නට ඇත….දිවි ගෙවුනු හුස්ම..අතැර ගිය හුස්ම….වසර දස දහසකට පසු අපේ නෙත ගැටෙන කල…ඔහුට එය දැනෙන්නට ඇත…. එනයින්… වකුටු කර වල දමා නිදිගත් සොහොන් බිමෙන්…ඔහු නැගිට වත්මනට එන්නට ඇත… එදා අණසක දැරු අඩවිය තුල ආගන්තුක පිය සටහන් ඇසෙන වාරයක් පාසා….ඔහු…ඇය හා ඔහුගේ පොඩි උන් සමග…..අතීතය ගොඩ ගන්නට හාරන අප දෙස…ලෙන අභියස හිඳ බලා සිටිනවා ඇත……කඳුලක් උපන්නේ හැර ගිය පුතු උදෙසාද මෙබිම මත දිවි ගෙවා හුස්ම අත්හල ඔවුන් උදෙසාදැයි නිනව්වක් නැත…

” මැඩම්, හැම සාම්පල් එකක්ම අරන් ඉවරයි..අපි ගිහින් මේකේ රිපෝර්ට් එකක් හදලා මැඩම්ට සබ්මිට් කරන්නම්”

පියවි සිහියට එන්නට වෙලාවක් ගත විය…ඒ මා යටතේ ඉගෙන ගන්නා සිසුවියක ය.

“මැඩම්, අතීතේ තියෙන්නේ අපිට නතර වෙන්න නෙමෙයි කියලා මැඩම්ම නේද අපිටත් කිව්වේ..අතීතේ තියෙන්නේ ගිහින් බලලා එන්න..”

“හ්ම්…” මම කිසිත් නොපැවසුවෙමි…ලොකු සුසුමක් අවසන එකම එක් වරක් පමණක් ආපසු හැරී ලෙන දෙස බලා මාස ගණනකට පෙර මෙහි ගල් පඩියකට පැටලි වැටීමෙන් මට අහිමිව ගිය මිහිමත වටිනාම සම්පත එක් වරක් පමණක් සිහිකර අනාගතය වෙත පියමං කලෙමි.

 

කතෘ –දුලක්ශි තුඩුගල

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...