#අත්තම්මා
කතෘ
නිපුනි නිමේෂා ප්‍රේමතිස්ස


පොද ගහන සීතල රෑට වගේම, හොදට පායන මහ රෑටත් ඉහ අද්දරට වෙලා රැළි වැටුනු ඇගිළි තුඩු කෙස් අස්සෙන් යවා ඔළුව අතගානවා අද වගේ මතකයි.

සමහර වෙලාවට උළුවස්සෙ හේත්තු වෙලා කවි පදයක් නැත්තන් ගාථාවක් මුමුණන ගමන් ඉදිකඩෙන් එහා ඔහේ බලන් ඉන්නවා හරියට කවුරු හරි එනකන් වගේ.

අනෝරා වැස්සෙත්, ගිණි ගහන අවුවෙත් වෙනසක් නැතුව වෙලේ ළිදට ගිහින් හැමදාම නානවා. දෙයියන්ගෙ පිහිටෙන් ඉහෙන් බහින ලෙඩකුත් නෑ.

 හිනාවෙන්න ගත්තම අල්ලපු ගමටත් එක්ක හිනාවෙනවා කැකිරි පැලෙන්ඩ. ඒ හිනාව මතක් වෙද්දි මගේ මූණටත් හිනාවක් එනවා මටත් නොදැනීම.

☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

අත්තම්මා,,,❤️❤️❤️

සංසාර ගමනේ පිං පලදුන් කාලයක, මගේ ලගින් හිටිය ආදරණීය හෙවනැල්ලයි ඇය.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

                         ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

“හා හා මට මේ පොල් ගෙඩි වගේ මල් තියන රෙදි එපා…😡😡”

වයසට ගියාට මොකද හරි හැඩකාරි. 😁 අතට අහුවෙන රෙද්දක් පටලගන්නවා වෙනුවට හෙව්වෙම පොඩි පොඩි මල් වැටුන ලස්සන චීත්ත. කොයි චීත්තෙටත් ඇන්දෙ තනි සුදු හැට්ටෙ. තෙල් ගාලා, රොද තියලා, පොඩි පුවක් ගෙඩියක් වගේ කොණ්ඩ ගුලියක් බදිනවා. ඒ කොණ්ඩ ගස් දෙකෙන් කොහොම ඒක බදිනවාද මන්දා අප්පා…

“අත්තම්මේ…”

“ඇයි මයෙ අම්මා..”

“අත්තම්මගෙ කෙල්ල කාලෙ නම මොකද්ද? “

කට එහෙම ඇද කරලා මගෙ දිහා බලන අත්තම්මා සුපුරුදු පරිදි නම කියන්ඩ කට හදනවා ඔන්න.

” අක්කර වික්කර වීර සුමක්කර, ජයගත් හේරත් මුදියන්සේලාගේ…..කමලක සොදිනා..විමලක දේවී…දේව දිවාකර පුබ්බා…ත්ත යන මල් එතනා “

ඒක කියන්නෙත් හරි තාලෙට. කවියක් වගේ..

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

නම කියලා ඉවර වෙනකන් මම දත කට පූට්ටු කරන් ඉන්නෙ හරි අමාරුවෙන්. නම කියලා ඉවර වෙන්ඩ කලින් මගෙ හිනාව එළියට පනී කියන සැකේට. 😂😂 කියලා ඉවර කරනවත් එක්කම බඩ අල්ලගෙන හිනාවෙන මන් දිහා අත්තම්මා ආඩම්බරෙන් බලලා හිනාවෙනවා.

අත්තම්මගේ නම උනේ මල් එතනා. ඒ උනාට මම නම අහන හැම වෙලාවකම ඇය කීවෙ ඔන්න ඔය පතරංග නම. ගොඩක් පුංචි කාලෙ මම ඒ කතාව විශ්වාස කලාට ටිකක් ලොකු වෙනකොට අත්තම්මගෙ හිනාව මට කීවෙ ඒක විහිළුවක් කියලා. මමත් ඒක ආය ආය අහන්ඩ ආසාවට නිතරම අහනවා නම මොකද්ද කියලා. දැන් මටත් ඒක හොදට කට පාඩම්. 😅

” අත්තම්මේ…..අත්තම්මේ….

           අත්තම්මේ……”

දවසේ වැඩි හරියක් මගේ කටින් කියවෙන වචනයක් තමයි ඔය. දවල්ට ඉතින් අත්තම්මව අල්ලන්ඩනම් වෙල් ගානෙ කැළෑ ගානෙ දුවන්ඩ ඕන. වයසට ගියාට තාම හයි හත්තිය හොදට තියනවා.

හැන්දෑ වෙනකොට ඔන්න කොහේ හරි ඉදන් අත පිරෙන්ඩ පලා වර්ග හොයන් ගෙදරට එනවා. අත්තම්මගෙ අතින් හදන හීනියට ලියන කවලන් මැල්ලුමයි වැව් මාළු ව්‍යංජනේටයි ගහන්ඩ තරු පහේ හෝටලේකවත් කෑම වේලක් මටනම් නැති තරම්.

හැන්දෑවෙනකොට නාගෙන කරගෙන මල් වට්ටියක් ලෑස්තිකරන් බුදුන් වදින අත්තම්මා පැය බාගයක් විතර වැදගෙන මොනවා කියෝනවද මටනම් තේරුනේම නෑ.

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

” ගෑණු දරුවෙක් උනාම කෙස් ගස් ටික ඉනෙන් පාතටවත් තියෙන්ඩ ඕනෑ. එක එක විකාර කොරන්ඩ නෙමෙයි මේක තියෙන්නෙ. කොණ්ඩෙ කියන්නෙ කෙල්ලක්ට ආභරණයක්”

හැන්දෑවට මගේ ඔළුවෙ තෙල් ගාලා පීරන ගමන් කියන කතා අහන් ඉන්ඩත් වෙනවා ඉතින්. ඊට හපන් පුරාජේරුව දොඩවන්ඩ ගියාම.

” ඒකටත් එක්ක ඒ කාලෙ අපේ කොණ්ඩා. උඹලෑ මේ තුත්තිරි ගස් වගේ ඈ…බලන්ඩ එපැයි කිතුල් රෑන් වගේ. බේන් මෙහෙම (අත් දෙකෙන් පෙන්නනගමන් ) එක මිටට ගන්ඩ බෑ කෙස් ගස් එළියට පයිනවා. “

ඕවා බලන්ඩ ඉතින් අපි හිටියා ඈ..මම හිතින් කියාගන්නවා. 😁

පුරාජේරුව ඉවර වෙද්දි මම ලෙඩ කපුටෙක් වගේ…😒😒 තෙල් නාවලම ගන්ඩ දෙයක් නෑ…

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

පෝය අටටම සිල් ගන්න අත්තම්මා පහුවදාට ගෙදර එන්නෙ සිල් දානෙට දෙන දෙයක් මටත් ඉතිරු කරගෙන. ගෙදර කොච්චර කන්ඩ දේවල් තිබුනත් අත්තම්මා ගෙනත් දෙන ටොපියක් පවා මම කෑවෙ හරි පෙරේතකමෙන්.

අත්තගෙ පෙන්ෂන් පඩිය ආවම එදාට ඉතින් මට අවුරුදු වගේ…ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දීලා තව අතටත් කීයක් හරි දෙනවා. ඒක ඉතින් යන්නෙත් අම්මා අතට 😒😒

” මයෙ අම්මා ලොකු උනාම අම්මා ඕවා ඉතිරි කරලා තියලා දෙයි “

 අත්තම්මා කීවෙ එහෙමයි.

🌹🌹🌹🌹🌹🌹🌹🌹

                           🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

මම ලොකු ළමයෙක් උන දවසෙ ඉදන් ඇහේ තියන් මාව බලාගත්තෙ මගෙ අත්තම්මා. නාවන කරන චාරිත්‍ර ඉදන් සේරම ඇගේ අතින් කරලා අම්මටත් උපදෙස් දුන්නා මතකයි.

” ඉර බහින වෙලාවට ගෑණු දැරිවියෝ වැලි පාගන් නෑ. මෙහෙ වරෙන් ගෙට “

ඔන්න එතනින් පස්සෙ අත්තම්මගෙ  දැඩි නීති සංග්‍රහය ක්‍රියාත්මක වෙන්ඩ ගත්තා.

” ලමිස්සියක් උනාම ඉසකේ කඩා දාගෙන ඉන් නෑ. ඕක ගැටගහගනින් “

” ඔය අත පය ලගට අරන් වාඩි උනානම් නරකද කුමාරිහාමි. ඕවා තියෙන්නෙ එහෙ මෙහෙ විසි කොරලා ඉදගන්ඩ නෙමේ..”

” හොදටම වැඩී දහංගලේ..ලමිස්සියක් නේද දැන්..”

” මොකද්ද බොල ඔය ඇදුම, ඇදපන් ඇග වැහෙන්ඩ සන්වර ගවුමක්”

” බැහැපිය ගහෙන් මම පොල් පිත්තක් අරන් එන්ඩ කලින්.  අම්මපා යසයි ලමිස්සියක් හැදෙනවා “

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

අනේ දෙවියනේ අපරාදෙ ලමිස්සියක් උනේ හිතුන වාර අනන්තයි. 😂 අම්මත් අත්තම්මට එකතු උනාම මම ඉතින් ඉදලා හමාරයි.

පොඩ්ඩක් විතර කට සැර උනාට, අත්තම්මා මට තරවටු කලේ මගේම හොදට කියලා මම දැනගෙන උන්නා.

හැමවෙලේම හොද දේවල් කියා දීපු අත්තම්මා,, ශක්තිමත් ගැහැණියක් විදියට සමාජෙට යන්න උගන්වපු මගේ අත්තම්මා දවසක් හිටි හැටියෙම පපුව රිදෙනවා කියලා ඇදට බර උනා මතකයි.

” මේ පොඩි පපුවෙ ඇම්මක් මයෙ අම්මා..බය වෙන්ඩ දෙයක් නෑ. ඔය බෙහෙත් තෙල් එක අරන් ටිකක් ගාපන්කෝ…එතකොට ඇරිලා යයි “

හැට්ටකටු පන්නලා රැලි වැටුන නිරුවත් පපුවේ එල්ලා වැටුන පියයුරු මැදින් මම බේත් තෙල් ටික ගානකොට අත්තම්මගෙ හීන් කෙදිරියක් එනවා මට යන්තමට ඇහුනා. ටික වෙලාවකින් ටික ටික සීතල උන පපුව තවත් තෙල් ගාලා අතුල්ලනකොට අත්තම්මා ඇස් දෙය පියාගෙනම උන්නා. “නින්ද ගියා” එදා මගෙ පුංචි හිතට හිතුනෙ එහෙමයි. තෙල් බෝතලේ වහලා තියලා කාමරෙන් එළියට ආව මට ටික වෙලාවක් යද්දි ලොකු සද්දයක් ආවා.

” අම්මේ…..අනේ…මගේ අම්මේ….”

අත්තම්මගෙ කාමරේ ලගට අඩියට දෙකට මම යද්දි, දැක්ක දෙයින් මම ගල් උනා. අම්මා අත්තම්මගෙ ඇද ලග වාඩි වෙලා අත්තම්මව බදාගෙන අඩනවා.

මගෙ කකුල් වෙව්ලන්ඩ ගත්තා. අත් පණ නැති වේගෙන ආවා. ඇස් වලින් කදුළු සට සට ගාලා වැටෙන්ඩ ගත්තා. ඒත් එක අඩියක්වත් ඉස්සරහටවත් පස්සටවත් ගන්න මට ශක්තියක් නෑ…මාව හිර වෙලා වගේ මට දැනුනා.

 අහල පහල අය දුවගෙන එද්දි මාවත් තල්ලු වෙලා එහාට මෙහාට උනාට මම තවමත් ඉන්නක් ගැහුවා වගේ දොරකඩ ලග හිටගෙන. අම්මා මගේ ලගට ඇවිත් අඩාගෙන මට බර වෙද්දිම මට මතකයි මුළු පරිසරයම කළුවර උනා..

මට සිහිය එනකොට තාත්තත් ඇවිදින් ඇඩූ කදුළින් එහෙට මෙහෙට දුවනවා මම දැක්කා.

ඇත්තටම මොකද උනේ?? එතකොට අත්තම්මා මාව දාලා යන්නම ගියාද? මගේ හිත තෝන්තු වෙලා. කෑ ගහලා අඩන්ඩ හදනවා ඒත් මට කෑ ගහගන්ඩ බෑ. මට මොනවදෝ වෙලා වගේ මට දැනෙනවා. අත්තම්මගෙ පපුවෙ ගාපු බෙගෙත් තෙල් වල සුවද තාම මගේ අතේ එහෙම්මයි. මම එක පාරක් අත ඉඹිනකොටම හිර වෙලා තිබ්බ ඇඩුම හයියෙන් එලියට පැන්නා..

” අත්තම්මේ…..” 😭😭😭

💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧💧

පෝයට සිල් රෙද්ද ඇන්දම ඒ තිබුන දිස්නෙ දැනටත් එහෙම්මයි. තෙල් ගාලා පිලිවෙලට පීරන කොණ්ඩෙ අද වෙන අය ඇවිත් ලස්සනට පීරලා තියලා ගිහින්. මූණෙ ඇදුන සිරියාව තාමත් එහෙම්මයි. ඒත් කෝ ඒ හිනාව? කෝ ඒ කතාව? 😰

” ඇයි අත්තම්මෙ ඔයා මෙහෙම ඉන්නෙ? ඇයි ඔයාගෙ සුදු අම්මට කතා කරන් නැත්තෙ? “

අත්තම්මා දිහා බලාගෙන මට හෙමීට මිමිණෙනවා.

” දැන් කවුද මගෙ ඔළුවෙ තෙල් නාවන්නෙ? කවුද මට ගහන්ඩ පොල් පිති හොයන්නෙ? කවුද පෝයට සිල් දානෙට දෙන දේවල් මටත් එක්ක ඉතිරි කරන් මට ගෙනත් දෙන්නෙ? 😭😭 මගෙ අත්තම්මෙ,,,ඇයි මෙහෙම යන්න ගියේ…”

මගේ මුළු ලෝකෙම අදුරු වෙලා ගියා වගෙ හරි මූසල හැගීමකින් මාව රිදවද්දි ඒ නිසල දේහය කිසි ගානක් නැතිව කාන්තියෙන් බැබලුනා.

” මයෙ අම්මා ඇයි මෙ අඩන්නෙ ? “

හීනියට වගේ මට එහෙම ඇහෙනවා අත්තම්මේ. අදටත් මම අඩනව. ඒත් ඔයා මේ වෙනකන් මගෙන් එහෙම ඇහුවෙ නෑ මගෙ අත්තම්මෙ.

වෙල් දෙණිවල, කැලෑ ගානෙ පලා හොයපු නුඹව තවත් මම ඒ තැන්වල හොයනවා. මිදුලේ හතර කොනේ, ගෙයි අස්සක් මුල්ලක් නෑර අදටත් ඔයාගෙ රූපෙ කොහේ හරි ඇති කියලා ඇස් හොයනවා. ඔයාගෙ සුවද පිරුණ ඒ කාමරේ ඔයාගෙ ලස්සන චීත්ත ඉඹ ඉඹ ඒ උණුසුම ඒ සුවද මම විදිනවා. තාමත් බෙහෙත් තෙල් වල සුවද හීනියට දැනෙනවා.

දැන් දැන් ඒ සුවදත් නැති වී ගෙන යනවා අත්තම්මෙ. මට පුළුවන්නම් මම ඔයාගෙ සුවදවත් නතර කර ගන්නවා.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

                            😓😓😓😓😓😓😓😓😓😓

උදේ නැගිටිනකොට, රෑට නිදාගන්නකොට තාමත් ඔය උණුහුම මම හොයනවා අත්තම්මෙ. මේ සංසාරෙ ආය කවමදාවත් ඔය සෙනෙහස මට උරුම නෑ කියලා දැනෙනකොට හිර කරන් ඉන්න කදුළු ආය ආයම අනවසරෙන්ම තාමත් නුඹේ නමින් කඩන් වැටෙනවා අත්තම්මෙ.

පුබ්බාත්ත යන මල් එතනෝ,,,😓❤️

තේරෙන් නෑ…මට නුඹට නිවන් පතන්නද, ආයෙත් නුඹව ඉල්ලන්නද ???

නෑ නුඹ නිවන් දකින්න ඕන පිංවන්ත ගැහැණියක්. ඉතින් ආය කිසිම සසරක මුණ නොගැසුනාට කමක් නෑ අත්තම්මේ…නුඹ නිවන්ම ගොස් ඒ නිවනින්ම සැනසේවා….🙏

~ නිමි ~

ඔයාගෙ අත්තම්මා තාමත් ඔයා එක්ක ඉන්නවානම් සතුටු වෙන්න. ඔයා හරි වාසනාවන්තයි. ❤️ එයාව ආදරෙන් බලාගන්න. 🙏

 

කතෘ -නිපුනි නිමේෂා ප්‍රේමතිස්ස

  

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Next Up...